gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

දේශපාලකයින්ගේ ඥාති හිතවත්කම් මත තානාපති සේවයට යැවූ 16ක් වහාම ක්‍රියාත්මකවන පරිදි යළි කැඳවයි!

ඥාති හිතවත්කම් සහ දේශපාලන සබඳතා මත පසුගිය ආණ්ඩු සමයේදී විවිධ රටවලට තානාපති සේවාවන් සඳහා පත් කර යැවූ නිලධාරීන් 16 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි යළි කැඳවීමට තීරණය කර ඇතැයි දිනමිණ වාර්තා කරයි.

මේ වන විට ඔවුන්ට මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇති අතර ඒ අනුව එම නිලධාරීන් යළි මෙරටට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

අමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා වශයෙන් කටයුතු කළ වෛද්‍ය ලලිත් චන්ද්‍රදාස, චීනයේ ෂැංහයි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා වශයෙන් කටයුතු කළ අනුර ප්‍රනාන්දු, ඉන්දියාවේ චෙන්නායි හි නියෝජ්‍ය මහකොමසාරිස්වරයා වශයෙන් කටයුතු කළ ආචාර්ය ඩී. වෙන්කටේෂ්වරන් මෙලෙස මෙරටට කැඳවීමට නියමිත අය අතර වෙති. එමෙන්ම සවුදි අරාබියාවේ ජෙඩා හි කොන්සල් ජනරාල්වරයා වශයෙන් කටයුතු කළ එස්.එම්.ඒ.එෆ් මවුලානා ද යළි කැඳවන ලැයිස්තුවේ වෙයි.

ඊට අමතරව අමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කළ නිශාන් මනික් මුතුක්‍රිෂ්ණ සහ තෙවැනි ලේකම්වරයා වශයෙන් කටයුතු කළ තාරක දිසානායක ද කැඳවීමට පියවර ගෙන තිබෙන අතර එක්සත් රාජධානියේ ලන්ඩන් හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ තෙවැනි ලේකම්වරයා වශයෙන් කටයුතු කළ සෙනිය පුංචිනිලමේට ද යළි මෙරටට පැමිණෙන ලෙස දන්වා ඇත.

ප්‍රංශයේ පැරිස් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ තෙවැනි ලේකම්වරයා ලෙස කටයුතු කළ සහස්‍ර බණ්ඩාර ද ඉතාලියේ රෝම නුවර පිහිටි තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම්වරිය ලෙස සේවය කළ මෙල්කි චන්දිමා පෙරේරා ද ඔස්ට්‍රේලියාවේ කැන්බරා හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ තෙවැනි ලේකම්වරිය වශයෙන් සේවය කළ දීනුකා කාර්මලීන් ප්‍රනාන්දුපුල්ලේ ය ද යළි කැඳවීමට පියවර ගෙන තිබේ.

මේ අතර රුසියාවේ මොස්කව් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උපදේශක ලෙස සේවය කළ පණ්ඩුල ද සොයිසා, ඉන්දියාවේ නවදිල්ලි හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ඇමැති උපදේශක ලෙස සේවය කළ ආචාර්ය අන්වර් මොහොමඩ් හම්දානි, ලෙබනනයේ බීරූට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම් ලෙස සේවය කළ ප්‍රියංගිකා දිසානායක සහ තුර්කියේ අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම්වරිය ලෙස සේවය කළ යෂ්මින් හිල්මි මොහොමඩ් ද යළි කැඳවා ඇත.

ඊට අමතරව නෙදර්ලන්තයේ හේග්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උපදේශක ලෙස කටයුතු කළ අෂ්විනි හපන්ගම සහ ජර්මනියේ ස්ටොක්හෝම් හි ඇමැති උපදේශකවරයා වශයෙන් සේවය කළ ජනක රණතුංග ද යළි කැඳවීමට රජය තීරණය කර තිබේ.

මෙසේ ඥාති සහ දේශපාලන හිතවත්කම් මත තානාපති සේවාවන් හි නිරත තවත් පිරිසක් ඉදිරියේදී කැඳවීමට ද රජය සැලසුම් කර තිබේ. ( මහින්ද අලුත්ගෙදර – දිනමිණ)
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka