ප්‍රශ්න ගත E8 වීසා ක්‍රමය යොදා ගනිමින් රැකියා අවස්ථා රටට ලබා ගැනීම සදහා තමන් කටයුතු කළේ, ශ්‍රී ලංකාවේ සහ කොරියානු ජනරජයේ ක්‍රියාත්මක නීති තත්ත්වයන් ගලපා ගනිමින් නීත්‍යානුකූලව සහ විනිවිද භාවයකින් යුතුව බව හිටපු කම්කරු හා විදේශ රැකියා ඇමති මනුෂ නානායක්කාර වත්මන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමති විජිත හේරත් වෙත ලිපියක් යොමු කරමින් සදහන් කර ඇත.
තමන් කිසිදු විදේශ රැකියාවක් සදහා කිසිවෙකුගෙන් මුදල් ලබාගෙන නොමැති බවත් එවැනි තත්වයක් තුළ තමන් වෙත දිගින් දිගටම එල්ල කරනු ලබන චෝදනා තමාගේ දේශපාලන ජිවිතයට මෙන්ම පුද්ගලික ජීවිතයට අගතියක් බවත් ණය පහසුකම් යටතේ විදේශ රැකියා සදහා යොමු වීමට අවස්ථාව ලබාදුන් පුද්ගලයන්ගෙන් කිසියම් පාර්ශවයක් මුදල් ලබාගෙන ඇත්නම් එය බරපතල වරදක් බවද මනුෂ නානායක්කාර සදහන් කරයි.
ඩොලර් මිලියන 200ක තිබූ මාසික විදේශ ප්‍රේෂණ ඩොලර් මිලියන 500 දක්වා වැඩි කිරීමට දියත් කළ ක්‍රියාවලියේදී ද්වී පාර්ශවික ගිවිසුම් හරහා ශ්‍රමිකයින් කොරියානු රැකියා සදහා යොමු කිරීම වර්ධනය කරගැනීමට කොරියාවේ ඍතුමය රැකියා අවස්ථා විවෘත කරගැනීමට පියවර ගත් බවද මනුෂ නානායක්කාර එම ලිපියේ සදහන් කර ඇත.
ඔවුන් සම්බන්ධව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කළ යුතුව ඇති බවත් එවනි අවස්ථා වෙතොත් ඒ පිළිබඳව නිසි පරීක්ෂණයක් පවත්වා ජනතාවගෙන් මුදල් ලබාගත් බව කියන පුද්ගයින් හට තරාතිරම නොතකා නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද සදහන් කරයි.
කෙසේ වෙතත් ප්‍රශ්න ගත E8 වීසා ක්‍රමය යොදා ගනිමින් හිටපු කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර අයථා ලෙස මුදල් උපයා ඇතැයි සැක සහිත බවත් මිනිස් ජාවාරමක් ලෙස හැදින්විය හැකි ක්‍රමවේදයකට හිටපු මනූෂ නානායක්කාර මැදිහත්වීම ප්‍රශ්න ගත කරුණක් බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ සදහන් කරයි.