බදුල්ල මයියංගනය මාර්ගයේ අඹගහඔය ප්‍රදේශයේදී සිදුවූ බස්රථ අනතුරින් තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුලත් කල කොතලාවල ආරක්ෂ විශ්ව විද්‍යාලයේ තුවාල ලැබූ සිසුන් අතරින් එක් සිසුවෙක් ඊයේ (3) දිනයේදී රෝහල් වාට්ටුවෙන් රැගෙන ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
රෝහලේ පහසුකම් ප්‍රමාණවත් නොමැති බවත් තමන් ප්‍රභූ පංතියේ අය වලුන් බවත් පවසමින් එම සිසුවාගේ දෙමාපියන් රෝහල් කාර්යය මණ්ඩලය බැන වැදී සිසුවා රෝහලෙන් රැගෙන ගොස් ඇති බවද වාර්තාවේ.
හදිසි අනතුරක් හේතුවෙන් රෝහල් ගත කළ පුද්ගලයෙකු අධිකරණ වෛද්‍යවරයාගේ අවසරයකින් තොරව රෝහලෙන් පිටනොවිය හැකි බවත් පෙන්වාදෙන රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මෙම සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කළ බව ලංකාසර කළ විමසුමකදී පැවසුවේය. කෙසේ නමුත් මෙම සිසුවාගේ දෙමාපියන් රෝහල් කාර්ය මන්ඩලයට පවසා ඇත්තේ තම දරුවාගෙන් කට උත්තරයක් ගැනීමට අවශ්‍ය නම් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට තම නිවසට පැමිණ එය සිදුකර ගන්නා ලෙසය යැයිද වෛද්‍ය රාජපක්ෂ කිය.
රිය අනතුරු සිදුවූ මොහොතේදී රෝහලට ඇතුළත් කළ සියලුම තුවාල කරුවන් මරණයට පත්වීමට ඉඩ නොදී ජිවිත බේරා ගත් බවත් දැඩිසත්කාර ඒකකයේ සිටි රෝගීන් 8 දෙනෙකු වෛද්‍ය අධික්ෂණය යටතේ වෙනත් විශේෂිත වාට්ටුවලට මාරුකර තුවාලකරුවන්ට ඉඩ ලබා දී මරණයෙන් ගලවා ගත් බවත් පෙන්වා දෙන වෛද්‍ය රාජපක්ෂ රෝහල් කාර්ය මණ්ඩලයේ කැපවීමට නරුම මිනිසුන්ගේ සැලකිම ඉතාමත් කණගාටුදායක බවද පවසා සිටියි.
-lankasara