විදේශ සමාගම් දෙකකින් විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීමට පසුගිය ආණ්ඩුව ගත් තීරණය අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණයට ගොනුකර ඇති රිට් පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නම් කර තිබේ.
අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන මොහොමඩ් ලෆාර් සහ පී.කුමාරරත්නම් යන ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය විසින් මෝසමක් මගින් එපික් ලංකා පෞද්ගලික සමාගම ගොනුකළ අදාළ රිට් පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස රනිල් වික්‍රමසිංහ නම් කර ඇත.
නඩු විභාගයේදී වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති විදේශීය සමාගම් දෙක වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කියා සිටියේ විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර මිලියන 5ක් මිලදී ගැනීම වළක්වාලමින් අධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය හරහා තම සේවාදායකයන්ට බරපතල අගතියක් සිදුව ඇති බවයි.
පෙත්සම් විභාගය අවසන් වනතුරු අදාළ අතුරු තහනම් නියෝගය බල පැවැත්වෙන බව පෙන්වා දුන් නීතිඥවරු එම වාරණ නියෝගය ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
මේ අතර පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති මණ්ඩලයේ විරාන් කොරයා තර්ක කළේ අදාළ විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලිය අවිධිමත් ප්‍රසම්පාදන ක්‍රමයක් යටතේ සිදුකර ඇති බවයි.
තවද පෙත්සම් විභාගය කඩිනමින් අවසන් කර අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා ජනාධිපති නීතීඥවරයා නිකුත් කළ වාරණ නියෝගය ඉවත් කිරීමට විරෝධය පළකළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීම වළක්වාලමින් පනවා ඇති අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙසට කරන ලද ඉල්ලීමට අදාළ විරෝධතා ගොනුකරන ලෙස විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළේය.
පසුව එම වාරණ නියෝගය ඉවත් කළ යුතුද නැද්ද යන්න පිළිබඳ කරුණු සලකා බැලීම සඳහා නඩුව දෙසැම්බර් මස 09 වැනිදා යළි කැඳවීමටද නියෝග කෙරිණි.
සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර 750,000ක් සහ විද්‍යුත් ගමන් බලපත්‍ර මිලියන 5ක් විදේශීය සමාගම් දෙකකින් මිලදී ගැනීමට පසුගිය ආණ්ඩුව ගත් තීරණය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා Epic Lanka Private Limited විසින් මෙම පෙත්සම ගොනුකර තිබේ.