අහුන්ගල්ල රියු හෝටලය තුළදී රුසියානු ජාතික කාන්තාවක් දූෂණය කළේ යැයි ලැබුණ පැමිණිල්ලකට අනුව අහුන්ගල්ල පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද සැකකරු 2024 නොවැම්බර් මස 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බළපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් සමන්ත ආබ්‍රේව් මහතා අද (17) දහවල් නියෝග කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් ඩී එන් ඒ වාර්තාවක් හා ඇගිලි සලකුණු වාර්තාවක් කැදවන ලෙසත් මී ලග නඩු දිනයේදී සැකකරු හදුනා ගැනීමේ පෙරෙට්ටුවක් සදහා යොමු කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා අහුන්ගල්ල පොලීසියට දැනුම් දුන්නේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ ඌරගස්මන්හන්දිය, මහ ඌරගහ පදිංචි ලියනගමගේ රවීන්ද්‍ර පුෂ්ප කුමාර (30) නැමැති අයයි.
අහුන්ගල්ල රියූ හෝටලයේ ලැගුම් ගෙන සිටි රුසියානු ජාතික අන්ගිලිනා කෘෂ්කී නැමැති 41 හැවිරිදි කාන්තාව අහුන්ගල්ල පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ. දූෂණයට ලක් වූ බව කියන රුසියානු ජාතික කාන්තාව සිද්ධිය වූ දිනයේම බළපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමටද අහුන්ගල්ල පොලීසිය කටයුතු කර තිබේ.
අහුන්ගල්ලේ සුප්‍රසිද්ධ රියූ හෝටලයට මෙම රුසියානු ජාතික කාන්තාව පසුගිය නොවැම්බර් 8 වැනි දින පැමිණ ලැගුම්ගෙන තිබුණ බවත් ඇයගේ උපන් දිනය යෙදී තිබුණ පසුගිය 12 දින රාත්‍රීයේ ඇය දූෂණයට ලක් ව තිබුණ බවත් පොලිස් පරීක්ෂණ වලදි තහවුරු වී තිබේ. රුසියාවේ බැංකු සේවිකාවක් වන අදාළ කාන්තාව 12 වන දින රාත්‍රීයේ සිය උපන් දිනය සමරමින් අධික ලෙස මත්පැන් පානය කර හෝටලයේ වෙන් කරගත් කාමරයේ රාත්‍රී නින්දට ගොස් තිබෙන බවත් පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි අහුන්ගල්ල පොලීසිය කියයි. එම අවස්ථාවේදී කාමරයට පැමිණි පුද්ගලයෙකු විසින් රුසියානු ජාතික කාන්තාව බලහත්කාරයෙන් දූෂණය කර ඇති බවද පැමිණිල්ලේ සදහන් වේ.
අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති සැකකරු අහුන්ගල්ල රියූ හෝටලයේම සේවකයෙකු බවද සදහන්.
මත්පැන් පානය කර සිටි අවස්ථාවේ රුසියානු ජාතික කාන්තාවගේ කැමැත්තෙන්ම මෙම සිද්ධිය සිදු වූවාද යන්න සම්බන්ධයෙන්ද පොලීසියේ අවධානය යොමු වි තිබෙ.
– ජයකාන්ත ලියනගේ