ඇණවුම් කරන ලද නව විදෙස් ගමන් බලපත්‍ර (පාස්පෝට්) තොගය පෙරේදා (19) රාත්‍රියේ මෙරටට ලැබුණු බවත් ඒ අනුව අද (21) සිට ඒවා බෙදාහැරීම සිදුකරන බවත් කැබිනට් අමාත්‍ය විජිත හේරත් පැවසීය.
මේ වනවිට ඇණවුම් කර ඇති විදෙස් ගමන් බලපත්‍ර 750,000 ඉදිරියේ දී අවසන් වීමත් සමඟ නැවතත් පාස්පෝට් අර්බුදයක් ඇති වීමට ඉඩ ඇති බැවින් සාමාන්‍ය පාස්පෝට් ලබාදීමට අවශ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියකට ගොස් ටෙන්ඩර් පටිපාටියක් අනුව තවත් පාස්පෝට් ප්‍රමාණයක් ගෙන්වීමට පසුගිය 11 වැනිදා පැවැති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බව ද අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේය.
මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක කටුනායක ඊයේ (20) පැවැති මැතිවරණ ප්‍රචාරක රැලියකට එක් වෙමින් පැවසුයේ, මේ වනවිට ලංකාවේ එකම විදෙස් ගමන් බලපත්‍රයක්වත් නැති තත්ත්වයක් උද්ගත වීමට නියමිතව තිබූ බවත්, අගක් මුලක් සොයා ගත නොහැකි සේ විදෙස් ගමන් බලපත්‍ර ප්‍රශ්නය පටලවා තිබූ බවත් එම ගැටලුව මේ වනවිට විසඳා ඇති බවත් ය.
මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් කරන හිටපු විෂයබාර අමාත්‍ය ටිරාන් අලස්ගේ මාධ්‍ය ඒකකය පවසන්නේ, අද දිනයේ සිට බෙදාහැරීමට කටයුතු කර ඇති විදෙස් ගමන් බලපත් ලංකාවට ලැබී ඇත්තේ, පසුගිය රජය විසින් ගනු ලැබූ තීරණයක් ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් ලෙස බවයි.
ඔක්තෝබර් 20 වැනිදා වනවිට විදෙස් ගමන් බලපත්‍ර තොගයක් දිවයිනට ගෙන ඒමට සියලු කටයුතු සැලසුම් කර ඇති බැවින්, එතෙක් අත්‍යවශ්‍යම පුද්ගලයන් පමණක් ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ටිරාන් අලස් සැප්තැම්බර් 09 දා පැවති මාධ්‍ය හමුවකදී ජනතාවගෙන් ඉල්ලා සිටිබව හිටපු ඇමතිවරයාගේ මාධ්‍ය ඒකකය කියා සිටියි.
විදෙස් ගමන් බලපත්‍ර හිස් පොත් ශේෂ වීම හා ආගමන විගමන දෙපාර්තමේන්තුව අවට උද්ගත වී තිබූ තත්වය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ දී පසුගිය සැප්තැම්බර් මස 9 වැනිදා පැවැති අතර එහිදී 'ඊ පාස්පෝර්ට්' ටෙන්ඩරය මිලදී ගත් සමාගමෙන් චීපය රහිත 'පාස්පෝට්' ප්‍රමාණයක් ලබන ඔක්තෝබර් 20 වැනිදාට පෙර ලැබෙන බවත් මේ අනුව සාමාන්‍ය පරිදි පාස්පෝර්ට් බෙදාහැරිය හැකි බවත් හිටපු ඇමතිවරයා එම මාධ්‍ය හමුවේදී පැවසු බවද හිටපු අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය පවසයි.
ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් 2003 වසරේ සිට වසර විස්සක කාලයක් හිස් විදෙස් ගමන් බලපත්‍ර පොත් මිලියන 11 ක් ලබාදී ඇති බවත් විද්‍යුත් පාස්පෝර්ට් නිකුත් කිරීමේ අවශ්‍යතාව මත දෙස් විදෙස් සමාගම් වලින් ඊ පාස්පෝර්ට් සඳහා ටෙන්ඩර් කැඳවූ බවත් හිටපු අමාත්‍ය වරයා එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශකර සිටියේය. ඒ අනුව ඉදිරිපත් වූ සමාගම් තුනකින් තෝරාගත් සමාගමකින් පාස්පෝර්ට් පොත් ලක්ෂ පහක ප්‍රමාණයක් එක් හිස් පොතක් ඇමරිකන් ඩොලර් 5.6 ක ලංසුවකට මිලදී ගැනීමට තීරණය කළ බවද ඔහු එම මාධ්‍ය හමුවේදී ඔහු පැවසිය.
එම සමාගමේ ඇණවුම නොවැම්බර් මාසයේ දී ලැබීමට තිබුණත් හිස් පාස්පෝර්ට් ශේෂ වීම මත ඉලෙක්ට්‍රෝනික චීපය නොමැති පාස්පෝර්ට් ප්‍රමාණයක් කඩිනමින් ලබාදෙන ලෙස ඉල්ලූ බවත් ටිරාන් අලස් එම මාධ්‍ය හමුවේදී පැවසිය.