ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වීමේ අවධානමක් ඇති බවට වූ ප්‍රවෘත්තිය පසුගිය සතියේ දී රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කලේ ය. එවැනි ප්‍රහාර සැලසුමක් සැබැවින්ම පැවතුනානම්, ප්‍රහාරය එල්ල කිරීමට නියමිතව තිබුණේ ඔක්තෝබර් 19 ත් 24 ත් අතර දිනයක සන්ඩේ ටයිම්ස් පුවත්පතේ දේශපාලන වාර්තාකරු පවසයි.
එම දින අතර කාලයේ දී යුදෙව් ජාතිකයන් සහභාගී වන ආගමික උත්සවයක් ප්‍රහාරකයන්ගේ සැලසුම විය හැකි බව අනාවරණය වී තිබුණි.
නමුත් පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ එවැනි ප්‍රහාරයක් ඇති වීම වළක්වා ගැනීමට සමත් ව තිබේ.
කෙසේ වෙතත්, බුද්ධි වාර්තා මත පදනම්ව ප්‍රහාර සැලසුමක් තිබුනානම් එය සැලසුම් කලේ කවුද, විදේශීය පාර්ශ්වයක මැදිහත්වීමක් පැවතුනාද, කොපමණ මුදලක් ඒ සදහා හුවමාරු වී ඇද්ද යන්න සහ පුහුණුවීම් කටයුතු සිදුවූව ඇත්තේ කෙසේද යන්න පිළිබදව විමර්ශන සිදු වෙමින් පවතින බව පුවත්පත වැඩිදුරටත් වාර්තා කරයි.
ප්‍රහාරකයන් මෙවැනි ප්‍රහාරයක් සැලසුම් කිරීමට හේතුව ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ සිදු කරන ම්ලේච්ඡ මිනිස් ඝාතනයයි.
සැලසුම් කළ ආකාරයේ ප්‍රහාරයෙක් සැබැවින්ම සිදු වූවා නම්, ඉන් වඩාත්ම පීඩාවට පත්වනු ඇත්තේ ආරුගම්බේ ප්‍රදේශය ආශ්‍රිතව ජීවත් වන මුස්ලිම් ප්‍රජාවයි.
ආරුගම්බේ සංචාරක කලාපයට ආසන්නම ගම්මානය වන්නේ පොතුවිල් ය.
පොතුවිල් පිහිටා ඇත්තේ ආරුගම්බේ සිට කිලෝමීටර් පහක් පමණ ඈතිනි.
පොතුවිල්හී ජීවත්වන ජනගහනයෙන් හරි අඩකට වඩා මුස්ලිම් ජාතිකයන් ය.
ප්‍රහාරයක් සිද්ධ වූවානම්, ප්‍රහාරය දියත් කළ මහමොළකරුවන් කෙටි කලකට හෝ සැගවෙනු ඇති අතර, ගොදුර බවට පත්වන්නේ මෙම අහිංසික මුස්ලිම් පුරවැසියන් ය.
දියත් වීමට නියමිතව පැවති ප්‍රහාරයට සම්බන්ධ යැයි සැක පුද්ගලයන් තිදෙනෙකු මේ වන විට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන් එක් අයෙකු කොළඹ පදිංචි ශ්‍රී ලාංකිකයෙකි. අනෙක් තැනැත්තා උත-ුරේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකු වන අතර තුන්වැන්නා මාලදිවයිනේ පදිංචි මාලදිවයින් ජාතිකයෙකි. මෙම මාලදිවයින් ජාතිකයාගේ මව ශ්‍රී ලාංකික කාන්තාවකි.
ආරුගම්බේ වෙත පැමිණෙන සංචාරකයන්ගෙන් අඩකට වඩා ඊශ්‍රායල ජාතිකයන් බව පැවසේ.
ඊශ්‍රායල ජාතිකයන් ඔවුන්ගේ ආගමික කටයුතු සදහා මුස්ලිම් දේවස්ථානයක් ආසන්නයේ ගොඩ නැගිල්ලක්ද ඉදිකර තිබෙන බව පැවසේ.
-සන්ඩේ ටයිම්ස්