21 වැනිදා ඡන්දය ප්‍රකාෂ කිරීම අවසන් වීමෙන් අනතුරුව නිලධාරින් හා අනෙකුත් අවශ්‍යතා සම්පූර්ණ කර සවස 7ට පමණ ඡන්ද ගණන්කිරීමේ මධ්‍යස්ථානවල ගණන්කිරීම් කටයුතු ආරම්භ කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.
තැපැල් ඡන්ද ගණන්කිරීමේ කටයුතු ප.ව. 4.15ට පමණ ආරම්භ කිරීමට සැලසුම් කිරීමට සූදානම් කර ඇති අතර ගණන්කිරීම අවසානයේ අදාළ ප්‍රතිඵල ලැබුණු විගස ඒවා මාධ්‍යට ලබාදීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවත් හෙතෙම පැවසීය.
සභාපතිවරයා වැඩිදුරටත් පැවසූවේ පළමුව ගණන්කිරීම කරනු ලබන්නේ එක් එක් අපේක්ෂකයාට ලැබී ඇති ඡන්ද ප්‍රමාණය බවත් එම ගණනය කිරීමෙන් අනතුරුව ඡන්ද පෙට්ටිවල තිබෙන ඡන්ද ප්‍රමාණය ගණනය කිරීම සිදුවන බවත් ය.
එමෙන්ම මැතිවරණ මහලේකම් කාර්යාලය විසින් සමස්ත ප්‍රතිඵලය ගණනය කරනු ලබන අතර කිසියම් අපේක්ෂකයෙකුට වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 50කුත් එකක් ලැබී ඇතිනම් එම අවස්ථාවේදී ඡන්ද ගණන් කිරීමේ කටයුතු අවසන් වන බවත් ඔහු පැවසීය.
ඉන්පසු මැතිවරණ කොමිසම විසින් නිළ වශයෙන් ජනාධිපතිවරයා ප්‍රකාශයට පත්කරනා අතර යම් හෙයකින් කිසිඳු අපේක්ෂකයෙකුට 50%ක් ලබාගැනීමට නොහැකිව ඇතිනම් මනාප ගණන් කිරීමේ කටයුතු ආරම්භ කෙරෙනා බවත් එහිදී සිදුවන්නේ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් අපේක්ෂකයන් දෙදෙනා තරගයේ ඉතිරි කර අනෙකුත් අපේක්ෂකයන් 36 දෙනා තරගයෙන් ඉවත් කිරීම බවත් රත්නායක මහතා මාධ්‍ය දැනුවත් කලේය.