ජනාධිපති රනිල් වික්රමසිංහට සහාය පළකරමින් රනිල්ට විතරයි පුළුවන් ශ්රී ලංකා යනුවෙන් සඳහන් ටී ෂර්ට් පැලඳ බදුල්ල බස් නැවතුම්පළ ඉදිරිපිට මැතිවරණ නීති උල්ලංඝනය කළ කාන්තාවන් හත් දෙනකු ඇතුළු 34 දෙනකු අත්අඩංගුවට ගත්තැයි උරණ වූ ප්රාථමික කර්මාන්ත රාජ්ය ඇමැති චාමර සම්පත් දසනායක බදුල්ල පොලිසියට කඩාවැදී පොලිස් නිලධාරීන්ට බැණ වැදී එම පිරිස නිදහස් කරගෙන ගොස් තිබේ.
මෙම සිදුවීම (05 වැනිදා) දහවල් බදුල්ල මූලස්ථාන පොලිසියේදී සිදුව ඇත.
පුළුවන් ශ්රී ලංකා තේමාව යටතේ රනිල් විතරයි යනුවෙන් සඳහන් ටී ෂර්ට් පැලඳ බදුල්ල බස් නැවතුම්පළ අසලදී මෙම පිරිස සිට ඇති අතර මැතිවරණ පැමිණිලි ඒකකයට ලද පැමිණිල්ලකට අනුව බදුල්ල පොලිසියේ නිලධාරින් එම පිරිස පොලිසියට රැගෙන විත් තිබේ.
මේ සම්බන්ධයෙන් ආරංචි වූ ප්රාථමික කර්මාන්ත රාජ්ය ඇමැති චාමර සම්පත් දසනායක නීතිය කාටත් එකට කරන ලෙස කියමින් මෙම පිරිස නිදහස් කරන ලෙසට පොලිසියට බැණ වැදී බලපෑම් කර ඇත්තේ බදුල්ල දිසාවේ ඉහළ පොලිස් නිලධාරින් නම් අවංකව කටයුතු කරන බවද සඳහන් කරමිනි.
කෙසේ වෙතත් රාජ්ය ඇමැතිවරයා බදුල්ල දිස්ත්රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයාද හමුවී සාකච්ඡා කර ඇති අතර පසුව සහකාර කොමසාරිස්වරයා එම පිරිස මුදාහරින ලෙස උපදෙස් දී ඇත.
මේ අනුව මැතිවරණ නීති කඩකළ පිරිස කිසිදු ක්රියාමාර්ගයක් නොගෙන නිදහස් කර ඇත.