මනුෂ නානායක්කාර යනු අරාබි රටවල බැලමෙහෙවර කරන්නට යන අසරණ ගැහැණුන්ගෙන් රුපියල් හැත්තෑ පන් දහස බැගින් ද, ඊශ්‍රයාලයට යන සෑම පුද්ගලයෙකුගෙන්ම රුපියල් අනූ දහස බැගින්ද එකතු කරගත් අන්ත දූෂිතයෙක් යැයි ද, මේ වසර දෙක හමාර තුළ ඔහු රාජපක්ෂ පවුලටත් වඩා වැඩි වත්කමක් උපයා ගත් බව ද සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ මනුෂ නානායක්කාර වැලිකඩ බන්ධනාගාරයට ගොස් එහි දඬුවම් විඳින සිරකරුවෙක් සමග සාකච්ඡා කර තමන්ව අපරාධයකට සම්බන්ධ කිරීමට අවශ්‍ය ප්‍රකාශයක් ලබා ගැනීමට සූදානම් බවට වූ කරුණු පාර්ලිමේන්තුවට හෙළි කරන අතරය. මේ සිද්ධිය සම්බන්ධව හෙට තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කරන බව ද මුජබර් රහුමාන් මන්ත්‍රීවරයා පැවසුවේය.
ඔහු කීවේ කුමන්ත්‍රණ කර තමන් බන්ධනාගාරයට යවන්නට පෙර 21න් පසු මේ අපරාධවලට මනුෂ නානායක්කාරට හිරේ විලංගුවේ වැටෙන්න සිදුවීම වළක්වා ගත නොහැකි වනු ඇති බවය.
පාර්ලිමේන්තුව අමතමින් මුජබර් රහුමාන් මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේය.
මනුෂ නානායක්කාර කියන්නේ අන්ත දූෂිත ඇමතිවරයෙක්. එයා මේ නොවැම්බර් මාසේ 21 වැනිදායින් පස්සේ රිමාන්ඩ් බන්ධනාගාරගත වෙනවා… මොකක් හින්දවත් නෙමෙයි, මේ රටේ අරාබි රටවල්වලට ගිහිල්ලා දුක් විඳලා අරාබි කාරයින්ට බැල හෙමෙවර කරලා හම්බ කරන කාන්තාවන්ව රට යවන්න එක් කාන්තාවකගෙන් රුපියල් හැත්තෑ පන් දාහක් ගත්ත දූෂිතයෙක්. ඊශ්‍රයාල යවන්න 90000ක් ගත්තා.
මේ අවුරුදු දෙක හමාර තුළ රාජපක්ෂ පවුලවත් හම්බ කළේ නෑ එයා හම්බ කරපු තරම්. අපි දන්නවා එයාට හැව්ලොක් සිටි එකේ එපාර්ට්ම්න්ට් තියනවා. කොළඹ රැජන වීදියේ රෙස්ටොරන්ට් තියනවා. තව ඉඩම් අරන් තියනවා. අපි මෙච්චරකල් මේවා දැනගෙන සද්ද නැතිව හිටියා. එයාට නම් 21 පස්සේ රිමාන්ඩ් වෙන්න වෙනවා මේ රටේ අහිසංක රට යවන කාන්තාවන්ගේ මුදල් ගසා කාපු එකට.
මනුෂ නානායක්කාර කියන්නේ ඒ වගේම තුප්පහි මනුස්සයෙක්.
මම ජනාධිපති තුමාටත් කියනවා විශේෂයෙන්ම ඔබතුමා 1994 ඉඳන් කොළඹ නගරය නියෝජනය කළ මන්ත්‍රීවරයෙක්. ඒක ඔබතුමා දන්නවා. ඔබතුමා එක්ක අපි එදා අවංකව ඔබතුමා වෙනුවෙන් වැඩ කරලා තියනවා. නමුත් එදා අපි සමගි ජන බලවේගය හදාගෙන එළියට ආවට පස්සේ අපි සමගි ජන බලවේගයෙ නායක තුමා එක්ක අවංකව වැඩ කරනවා. අපි ඉන්න පැත්තෙ හරියට හිට ගන්නවා.
මනුෂ නානායක්කාර කියන්නේ 2018 පොදු ජන පෙරමුණෙන් ඡන්දය ඉල්ලලා අර්බුදය මතු වුනාම අපේ පැත්තට ආවා. ආයේ අපේ පැත්තේ ඉඳගෙන තමුන්නාන්සෙලාගෙ පැත්තට ගියා. එහෙම නිරන්තර පක්ෂ මාරු කරන තමන්ගේ වාසිය වෙනුවෙන් ආත්මය උනත් පාවලා දෙන එහෙම මන්ත්‍රීවයෙක්.
අපි එහෙම නෑ, අපි ආත්මය පාවලා දෙන්නේ නෑ. ලජ්ජාව , බය ආත්ම ගෞරවය සියල්ල තියලා තමයි අපේ දෙමව්පියො අපි හදලා තියෙන්නේ. ඒ නිසා අපට අවාසි වුනත් ඒ අවාසි තීන්දු අරන් හරි හරි දේ කරනවා.
-mawratanews