එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිට පුනරුත්ථාපනය වූවන් විසින් පිහිටුවා ගන්නා ලද සුබ සාධක සංගමයේ ප්‍රධානියා එම සංවිධානයේ ලේකම්වරියගේ දාහතර හැවිරිදි පාසල් යන දියණිය කාලයක් තිස්සේ දූෂණය කොට මාස හයක ගැබිණියක් බවට පත් කොට තිබේ. මේ සම්බන්ධයෙන් දැරියගේ මව විසින් වවුනියාව පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයට හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා ආරක්ෂණ කාර්යාලයට ඊයේ 9 දා පැමිණිලි කොට ඇත.
දැරියගේ පවුලේ උදවිය වවුනියාවේ ඊච්චන්කුලම ප්‍රදේශයේ පදිංචිව සිටින අතර දැරිය පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත්වීමෙන් පසුව වවුනියාවේ ජනප්‍රිය පාසලකට ඇතුළත් කොට තිබේ.
එම පාසල හා නිවස අතර දුර වැඩිකම නිසා දැරියගේ පහසුව පිණිස ඇයව තම සංවිධානයේ ප්‍රධානියාගේ නිවසේ හිතවත් කමට නතර කොට ඇත්තේ ඇයට පාසල් යාම පහසු නිසාය.
ටික කලයකට පසුව සැකකරු විසින් දැරියව බලහත්කාරයෙන් දූෂණය කොට ඇති අතර කාලයක්ම ඔහු එම දැරිය සමග අඹුසැමියන් ලෙස හැසිරී ඇත්තේ මේ බව කිසිවෙකුට හෝ ප්‍රකාශ කළ හොත් ඇයව මරණ බවට තර්ජනය කරමිනි.
දැරියට හදිසියේ වැළදුණු උදරාබාධයක් නිසා ඇයට ප්‍රතිකාර ලබා ගැනීමට වවුනියාව මහ රෝහලට ගිය අවස්ථවේදී ඇය මාස හයක ගැබිණියක් බව හෙළි වී ඇත.
වෛද්‍ය උපදෙස් මත දැරියගේ මව මේ බව පොලීසියට පැමිණිලි කොට තිබේ.
පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්හ කොට ඇතත් සැකකරු මේ වන විට අධිකරණ නියෝගයක් මත බන්ධනාගාරගතව සිටින බව සනාථ වී ඇත.
ඔහු එල්.ටී.ටී.ඊ. සංවිධානයට යළි පණ දීම පිණිස ෆේස් බුක් සමාජ මාධ්‍ය ඔස්සේ පිටුවක් පවත්වා ගෙන යමින් එම සංවිධානය ගැන තොරතුරු ජනතාව අතර බෙදා හැරීමේ චෝදනාව මත පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහුව පසුගිය මාර්තු මාසයේ සිට බන්ධනාගාර ගත කොට තිබේ.
-දිනසේන රතුගමගේ
lankasara