තමන් දරුවන් දිගින් දිගටම පලිගැනීම්වලට ලක් වූ බවත් දරුවන්ගෙන් පලිගනිමින් ම්ලේච්චත්වය ප්‍රදර්ශනය නොකරන ලෙසට ඉල්ලා සිටින බවත් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් රංගෙ බණ්ඩාර ඊයේ (30) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.
තමන්ව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුයෙන් ඉවත් කර ඇති බවට පලවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් මෙම මාධ්‍ය හමුව පැවති අතර එහිදී ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස් පහතින් පල වේ.
“මම දැක්කා, අරුණ, ලංකාදීප, දිවයින ආදී පුවත්පත්වලත් ඒ වගේම සමාජ මාධ්‍යයේත් කිහිපදෙනෙකුත්, මාව මහ ලේකම් ධුරයෙන් ඉවත් කරලා කියලා කියනවා. මම තවම මහාලේකම් ධුයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වීම කරලා නැහැ. ඒ වගේම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මාව මහ ලේකම් ධුරයෙන් ඉවත් කළා කියලා මේ දක්වා නිල දැනුම්දීමක් මට කරලත් නැහැ.
මාධ්‍ය තුළ මේ වනවිට මා, මහලේකම් ධුරයෙන් ඉවත් කළ බවත් මන්ත්‍රී ධුරයකට සහ මුදලකට විකිණී ඇති බවත් විවිධ චෝදනා ඇති බවත් ප්රවෘත්ති කිහිපදෙනෙකු විසින් පල කරලා තියෙනවා.
මට විරුද්ධව ඇති චෝදනා සියල්ල ඉදිරි සතිය තුළ ඉදිරිපත් කර අවසන් කරන ලෙස මෙම සුද්ධවන්තයින් සහ සුද්ධවන්තියන් සියලු දෙනාගෙන් මම ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. මන්දයත් මේ සියලු චෝදනාවලට නුදුරේදීම මම පිළිතුරු දීමට බලාපොරොත්තු වෙන නිසා.
මමත් මගේ පවුලේ උදවියත් දිගින් දිගටම දේශපාලන පලිගැනීම්වලට ලක් වූවන් ලෙස සිහිපත් කරන අතර වගකිවයුත්තන්ට මම සිහිපත් කරනවා දරුවන්ගෙන් පලිගනිමින් ම්ලේච්චත්වය ප්‍රදර්ශනය නොකරන ලෙසට. මම මේ මහ ලේකම් ධුයෙන් ඉවත් වුනත්, ඉවත් කළත් මම UNP කාරයෙක් කියන එක සඳහන් කරන අතරේ, නුදුරේදීම අපි හමුවේවා කියලා කියනවා.”