රත්නපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු ,පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් එළඹෙන ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම සඳහා ඒකමතිකව තීරණය කර ඇති බව වාර්තාවේ.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද රත්තපුර ප්‍රදේශයේ හෝටලයක පැවැති රැස්වීමකින් අනතුරුව පක්ෂයේ මහජන නියෝජිතයින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තාවේ.
එම සාකච්ඡාව සඳහා රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් 8න් 4ක් පැමිණ සිටි බව වාර්තාවේ.
ඒ අතර චානක වක්කුකුඹුර, ප්රේමරාල් ජයසේකර, අකිල් එල්ලාවල සහ මුදිතා ප්‍රියශාන්ති මන්ත්රීවරියද ඇතුළත්.
එමෙන්ම එම සාකච්ඡාවෙන් අනතුරුව රත්නපුර දිස්ත්‍රික්කයේ පොහොට්ටු සංවිධායකවරු 8 දෙනාගෙන් 7 දෙනකුම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇති සහාය පළ කිරීමට එකඟ වී ඇති බව පැවසේ.
මේ අතර රාජ්‍ය අමාත්‍ය ඩී බී හේරත් මහතා පොහොට්ටුවේ වාරියපොල ආසන සංවිධායකවරයා ලෙස ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ආසන බල මණ්ඩල රැස්වීමක් අද වාරියපොල ප්‍රදේශයේදී කැඳවා තිබුණි.
එම රැස්වීම සඳහා වාරයපොල ප්‍රාදේශීය සභාව නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන්, වාරියපොල සමූපකාර සමිතියේ අධ්‍යක්ෂක මණ්ඩලය, වාරයපොල කොට්ඨාස කැඳවුම්කරුවන්, ආගමික නායකයන් ඇතුළු සියලු දේශපාලනික ක්‍රියාකාරීන් සහභාගී සිටි බව වාර්තා වෙයි.
එලෙස රැස්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වාරියපොල ආසනයේ බලමණ්ඩල බහුතරය එකඟ වී ඇත්තේ රට යළි ගොඩනැගීම සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළඹෙන ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාදීමටයි.
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ බල ප්රදේශයක්ව තිබූ කුරුණෑගල වාරයපොළ ප්‍රදේශය මේ වනවිට ඔහුගෙන් ගිලිහී රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය හා එක්වෙමින් සිටීම සුවිශේෂී කරුණකි.
ජෝන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා විසින් එළඹෙන ජනාධිපතිවරණයේදී තමාගේ ස්ථාවරය පිළිබඳ මෙතෙක් නිශ්චිතව අදහස් පල කර නොමැත.