බුද්ධි තොරතුරු තිබිය දී පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධව ප්‍රධාන චෝදනාවකට ලක්වන එවකට රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී, වත්මන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) – නිලන්ත ජයවර්ධන විධිමත් විනය පරීක්ෂණය අවසන් වන තෙක් අනිවාර්ය නිවාඩු ගැන්වීම සදහා ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර ඇත.
2019 අප්‍රේල් 21 පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වින්දිත පාර්ශවයන් විසින් ගොනු කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ මුලික අයිතිවාසිකම් අයදුම්පත් අංක 163/2019, 165/2019, 166/2019, 184/2019. 188/2019, 191/2019, 193/2019, 195/2019, 196/2019, 197/2019, 198/2019, ໙໙ 293/2019 අයිතිවාසිකම් නඩුවලට අදාලව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2023 ජනවාරි 12 වන දින ප්‍රකාශයට පත් කරන ලද නඩු තීන්දුව මඟින් එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂව සිටි නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ලබාදී ඇති තීන්දුව ප්‍රකාරව මූලික විමර්ශනයක් සිදු කර, ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් අද (17 දා) ඔහු වෙත චෝදනා පත්‍රයක් නිකුත් කර ඇත.
එම චෝදනා පත්‍රය සම්බන්ධයෙන් ඔහු විසින් මාර්තු මස 12 දිනැතිව පිළිතුරු ඉදිරිපත් කළ අතර මාර්තු මස 21 දින රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභා සැසිවාරයේදී විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කරන ලදී. එම විධිමත් විනය පරීක්ෂණයේ මූලික කටයුතු ඉකුත් ජූලි මස 01 දින ආරම්භ කර ඇත.
මේ වන විට නිලන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) වශයෙන් රාජකාරී සිදු කරන බැවින්, මෙම විධිමත් විනය පරීක්ෂණය සඳහා සාක්ෂි ලබා දීමට පැමිණෙන සාක්ෂිකරුවන්ට බලපෑමක් සිදු වී විධිමත් විනය පරීක්ෂණයට අගතියක් විය හැකි බව ජාතික පොලිස් කොමිෂන් සභාව නිරීක්ෂණය කරයි.
එබැවින් ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වන පරිච්ජේදයේ 31:16 වගන්තිය ප්‍රකාරව විධිමත් විනය ක්‍රියා පටිපාටියේ යහපත තකා, ඔහු තවදුරටත් නිල කාර්යයන්හි නියුක්ත නොවිය යුතු තත්ත්වයේ සිටින බැවින් විධිමත් විනය පරීක්ෂණය අවසන් වන තෙක්, ඔහු වහාම ක්‍රියාත්මක වන පරිදි අද (18 දා) දින සිට අනිවාර්ය නිවාඩු ගැන්වීමට අද දින රැස් වූ ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර ඇත.