ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය අද (29) පස්වරුවේ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ගන්නා තීරණය මත තමන් ගන්නා දේශපාලන තීරණය කුමක්ද යන්න අද පස්වරු 5.30ට හෝමාගම දී ප්‍රකාශයට පත් කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරයකු මෙන්ම හෝමාගම දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිවරයාද වන තමන්ට කිසිදු දැනුම් දීමක් නොකර පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා විසින් හෝමාගම බල මණ්ඩලය හිටපු පළාත් සභා මන්ත්‍රී ජනක වැලිවත්ත මහතාගේ නිවසේ දී ඊයේ කැඳවීමට පියවර ගැනීම හෝමාගම සබුද්ධික ජනතාව කිසිසේත්ම අනුමත නොකරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම ආසන බල මණ්ඩල රැස්වීම සඳහා හෝමාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ඇතුළු සුළු පිරිසක් සහභාගී වී ඇති අතර ඒ සඳහා නාමල් රාජපක්ෂ, ගාමිණී ලොකුගේ, තිස්ස කුට්ටිආරච්චි යන මන්ත්‍රීවරු එක්ව සිටි බව වාර්තා වේ.
එහිදී ඔවුන් ජනාධිපතිවරණයට සූදානම් විය යුතු ආකාරය පිළිබඳ එම පිරිසට උපදෙස් දී ඇතැයිද දැන ගන්නට තිබේ.
– Dinamina