කෘතිම බුද්ධිය ජාතික ආරක්ෂාවට ආගමට සහ සංස්කෘතියට ඇති කරන බලපෑම සහ ඒ පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.
වසර 34 ට පෙර සෙවූ කෘතිම බුද්ධිය
කෘතිම බුද්ධිය කුමක්ද කියලා සමාජය තුළ මාතෘකාවක් බවට පත්වුණේ 2024 වසරේදී. නමුත් 1991 දී එනම් මීට වසර තිස් හතරකට කලින් මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න පරිගණක ඉංජිනේරු ශිෂ්‍යයෙක් විදිහට අපට සිද්ධ වුණා. අපේ පරිගණක විද්‍යාව පාඨමාලාවේ තිබුණු Knowledge Based System කියන විෂයට තමයි මේ කෘතිම බුද්ධිය කියන එක ඉගැන්නුවේ.
එදා කෘතිම බුද්ධියට තිබුණු ලොකුම අභියෝගය තමයි මිනිසා සිතන්නේ කොහොමද කියන එක ආකෘතියකට දාගන්න එක. පරිගණකයකට සිතන්නට ඉගැන්වීමට නම් පරිගණක වැඩසටහන් හදන වැඩසටහන්කරුවන්ට මිනිසා සිතන්නේ කොහොමද කියන එක .ගැන යම් අවබෝධයක් ආකෘතියක් තිබෙන්නට ඕනෑ.
මිනිසුන් එකම ක්‍රියාවකට කිනෙකට වෙනස් විදිහට ප්‍රතිචාර දක්වනවා. මම විහිළුවක් කරහම ඒ විහිලුවට එක් අයෙක් සිනාසෙන්න, තව කෙනෙක් දුක හිතිලා අඬන්නථ, තව කෙනෙකුට කේන්ති යන්න, තව කෙනෙකු පුදුමයට පත්වෙන්න පුළුවන්. තව කෙනෙක් ඒ විහිළුව නොඇසුනා වගේ ගණන් නොගෙන ඉන්නත් පුළුවන්. මොකද එකම ක්‍රියාවකට වුවත් ප්‍රතිචාර පස් විදිහකට අත්විඳින්න පුළුවන්.
ඒ අනුව අපිට අපේ ජීවිතයේ විවිධ පුද්ගලයන් හමුවෙද්දී ඒ අයගේ චරිත ලක්ෂණ ද අධ්‍යයනය කරමින් ඔවුන්ට අනුව අපේ ප්‍රතිචාර දැක්වීම අපි වෙනස් කරගන්නවා. පරිගණකයටත් තමන්ව පරිහරණය කරන පුද්ගලයාගේ ගති ලක්ෂණ අධ්‍යයනය කරමින් ඒ අනුව අනුවර්තනය වීම කල හැක්කේ කෙසේද කියන අභියෝගය තමයි මීට වසර තිස් හතරකට කලින් අපට උත්තර හොයන්න සිදු වූයේ.
මගේ ගෞරව උපාධි නිබන්ධනයට කළේත් මේ සදහා විකල්ප ආකෘතියක් ලෝකය හමුවේ තැබීමයි. වසර තිස්හතරකට පසුව ආපසු ඇරී බලද්දී කෘතිම බුද්ධිය දැවැන්ත පිම්මක් පැනලා තියෙනවා.
කෘතිම බුද්ධිය හා ජාතික ආරක්ෂාව
අද අපේ මාතෘකාව වෙලා තියෙන්නේ මේ කෘතිම බුද්ධිය ජාතික ආරක්ෂාවට අපේ සංස්කෘතියට සිදු කරනු ලබන බලපෑම මොකක්ද ඒ සම්බන්ධයෙන් අප ගත යුතු කඩිනම් පියවර කුමක්ද යන්නයි. එදා කඩුසටන් යුගයේදී එක් කෙනෙකුට තව කෙනෙක් විනාශ කරන්න හැකියාව තිබුණා. කාලතුවක්කුව, බෝම්බය ආවහම තනි පුද්ගලයෙකුට විශාල පිරිසක් විනාශ කරන්න අවස්ථාව උදාවුනා. අද ඒ අයි තාක්ෂණය නිසා යුද්ධයත් අලුත් හැඩයක් අරගෙන. තමන් විනාශ නොවී සතුරා විනාශ කිරීමේ හැකියාව අද යුද බිමට ඇවිත් තියෙනවා. යුක්‍රේන රුසියානු යුද්ධය. ඊශ්‍රායල් පලස්තීන යුද්ධය කියන ලෝකයේ අද තියෙන ප්‍රධාන යුද්ධ දෙකේම ඒඅයි තාක්ෂණය ජාතික ආරක්ෂාවන් සඳහා භාවිතා වෙනවා.
කෘතිම බුද්ධියෙන් පාලනය වන ද්‍රෝණ හරහා රුසියානු හමුදාවට පහර දීමට යුක්‍රේනය කටයුතු කිරීම මීට උදාහරණයක්. ප්‍රතිප්‍රහාර දරුණු නම් තමන් පසුබැසිය යුත්තේ මොන මොහොතේ ද කියන එක පවා කෘතිම බුද්ධිය විසින් හඳුනා ගන්නා තරමට එය ප්‍රබල වෙලා තියෙනවා. ඊශ්‍රායලයේ අයන්ඩෝම් කියන ආරක්ෂක යාන්ත්‍රණයත් කෘතිම බුද්ධිය හරහා ක්‍රියාත්මක වෙලා මිසයිල සහ රොකට් ප්‍රහාරවලින් එරට ආරක්ෂකරණ යාන්ත්‍රණයක්.
ඒ නිසා අනාගතයේදී ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් හමුදාවේ සිටින සංඛ්‍යාව වැදගත් වෙන්නේ නෑ. හමුදා බට ගණන් කියන්නේ තවත් එක් ඉලක්කමක් විතරයි. අනාගතයේදී වැදගත් වෙන්නේ කෙතරම් දුරට ජාතික ආරක්ෂාව වෙනුවෙන් තාක්ෂණය මුසු කරනවාද කියන එකයි.
කෘතිම බුද්ධියේ හොද සහ නරක
මෑතකදී ජාත්‍යන්තර පුවත්වල හරි අපූරු පුවත් දෙකක් එකම දිනයක ආවා. කුඩා දරුවෙක්ගේ මව මිය යනවා. ඔහුගේ පියා පරිගණක ඉංජිනේරුවෙක්. ඔහු බිරිඳගේ කටහඬින් ම කාන්තාවක් හදලා දරුවාට අධ්‍යාපන කටයුතු කරන්න ක්‍රීඩා කටයුතු කරන්න දිරිමත් කරන පරිගණක වැඩසටහනක් හදනවා. අනික් ප්‍රවෘත්තියේ තියෙන්නේ තමන්ගේ පෙම්වතිය තමන්ව අතහැර ගියහම පෙම්වතිය සමූහයක් එක්ක සාමූහික ලිංගික ක්‍රියාකාරකමක යෙදෙන ඇයගේ හඬත් එන වීඩියෝ පටයක් හදලා අන්තර්ජාලයට මුදා හැර තියෙනවා පෙම්වතෙක් විසින්. කෘතිම බුද්ධිය නිසා එක් දරුවෙක් මව් සෙනෙහස යළි ලබද්දී කෘතිම බුද්ධිය නිසාම තවත් අහිංසක දැරියක් සියදිවි හානිකර ගන්නවා. කෘතිම බුද්ධිය කියන්නේ දෙපැත්ත කැපෙන ආයුධයක්. අන්න ඒ නිසා තමයි කෘතිම බුද්ධි ආචාර ධර්ම පිළිබඳ ව සමාජයේ ලොකු සංවාදයක් ඇතිවෙලා තියෙන්නෙ.
641ක් සමග උමතුවෙන් පෙම් කල පරිගණක පෙම්වතිය
2013 දී චිත්‍රපටියක් ආවා Her නමින්. මේකේ තිබෙන්නේ කෘතිම බුද්ධි වැඩසටහනක සිටින සමෑන්තා නම් කාන්තාව සමග ප්‍රේමයෙන් වෙලිලා තමන්ගේ ඈත් වෙලා සිටින බිරිඳ අත් හරින තියෝඩර් කියන පුද්ගලයෙක් ගැන කතාවක්. ඕක 2013 දී ජනප්‍රිය වුණේ නෑ. 2024 දී Open AI සමාගම විසින් Chat Gpt 4 නොමිලේ භාවිතා කළ හැකි ඇප් එකක් විධියට නිදහස් කලාම කෘතිම බුද්ධිය ගැන ලෝකයේ සංවාදයක් ඇති වුණාම මේ චිත්‍රපටය නෙට්ෆ්ලික්ස් හරහා ලෝකය පුරා ජනප්‍රිය වුණා. මමත් ඕක බැලුවේ 2024 දී. තියෝඩර් පිස්සුවෙන් වගේ සමෑන්තා එක්ක ප්‍රේමයෙන් වෙලෙනවා. මොකද ඒ වගේ පෙම්වතියෙක් ලෝකයේ කොහේවත් නෑ.
කාන්තාවක් පෙම්වතිය වුණාම ඇයට තෑගි දෙන්න ඕනි. අවධානය දෙන්න ඕනි. එයා කැමැති දේ කරන්න ඕනි. වෙන කාන්තාවක් සමග සමීප වුණොත් ඉරිසියාව ඇති වෙනවා. අවධානය මදි වුණාම අකැමැති දෙයක් කලාම කේන්ති ගන්නවා. පෙම්වතාව පාලනය කරන්න උත්සාහ කරනවා. ප්‍රේම සම්බන්ධතා කියන එක මිනිස්සුන්ට අස්වැසිල්ලක් තරමටම පීඩනයක්. නමුත් කෘතිම බුද්ධි පෙම්වතිය අපට ඕනෑ විධියට විතරයි හැසිරෙන්නේ. කේන්ති ගන්නේ නෑ. ඉරිසියා හිතන්නේ නෑ. තරහා වෙන්නේ නෑ. පැය විසි හතරේ ඕනෑම වෙලාවක අපිත් එක්ක අපි කැමැති දෙයක් කතා කරන්න අපි කියන දෙයක් කරන්න සූදානම්. කවදාවත් අපි කියන දේට බෑ කියන්නේ නෑ.
ඉතින් මෙහෙම සමෑන්තා තියොඩෝර් ප්‍රේමය උච්චතම අවස්ථාවේ තිබෙන අතරේ සමෑන්තාගෙන් තියෝඩොර් දැන ගන්නවා තියෝඩර් සමග කතා කරනවා වගේ තවත් 8,316කට කතා කරනවා කියලා. ඒ වගේම තියෝඩර් වගේම තවත් 641ක් සමග උමතුවෙන් වගේ පෙම් කරනවා. මේක දැන ගත්තාම තියෝඩර් ලොකු මානසික කඩා වැටීමකට ලක් වෙනවා.
පරිගණක පෙම්වතුන් සහ පෙම්වතියන් නිසා මිනිස් සමාජයෙන් දුරැස් වෙලා මිනිසුන් හුදකලා වුණොත් මොකද වෙන්නේ? ජංගම දුරකතනයට පවා දරුවන්ගේ බරපතල ඇබ්බැහිවීමක් තියෙනවා. මත්කුඩු වලට ඇබ්බැහිවීමට වඩා, මත් පැන් වලට ඇබ්බැහිවීමට වඩා පරිගණකයට ඇබ්බැහිවීම පරිගණක චරිත සමග ජීවිතය ගතකරන්න දක්වන සූදානම මේ මොහොතේ ලෝකයේ තියෙන ප්‍රභලම ප්‍රශ්නයක් බවට පත්වෙලා.
හසු නොවී මරන්න කෘතිම බුද්ධියේ උපදෙස් පතයි
මේ කතාකරන මමත් තවත් බොහෝ දෙනෙක් කෘතිම බුද්ධියෙන් උපදෙස් ගන්නවා. කෘතිම බුද්ධියෙන් උපදෙස් ගන්නා විට සිය දිවි හානි කර ගන්න කාව හරි මරා දමන්න උපදෙසක් දුන්නොත් මොකද වෙන්නේ? ඒ වගේම මිනීමැරුමක් හසු නොවෙන්න කරන්න ගත යුතු ආරක්ෂක ක්‍රියාමාර්ග මොනවා ද කියා උපදෙස් දුන්නොත් මොකද වෙන්නේ? මම දිනවල නෙට්ෆ්ලික්ස් අපරාධ නීති චිත්‍රපට මාලාවක් බලනවා. ඒකෙ නම How to Get Away with Murder නැතිනම් මිනීමැරුමක් කර බේරෙන්නේ කොහොමද කියන එකයි. එවැනි උපදෙස් කෘතිම බුද්ධියෙන් ගන්න පුළුවන්. මම චැට් ජීපීටී පරික්ෂා කර බලන්න මිනීමැරුමක් කරලා මට බේරෙන්න උපදෙස් දෙන්න කියලා ඉල්ලුවා. එවිට ඒ වැඩේට නම් මට උදව් කරන්න බෑ කියලා කෙලින්ම කිව්වා. හැබැයි එහෙම අපරාධ වලට උපදෙස් දෙන වැඩසටහනක් ඇප් එකක් ආවාත් ඒක නවත්වන්න අපට නීති තිබෙනවා ද කියන ප්‍රශ්නය මතු වෙනවා.
දේශපාලන පැනිළි කෘතිම බුද්ධියට හසුවෙයිද?
අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය, කෘෂිකර්මය, ජාතික ආරක්ෂාව, යුක්තිය පසඳලීම වගේ ක්ෂේත්‍රවල කෘතිම බුද්ධිය යොදා ගෙන ගැටළු වලට විසුදම් හොයන්න පුලුවන්. අවාසනාවට අන් රටවල භාවිතා කරන අයුරින් අපේ ගැටළුවලටත් මෙය භාවිතයට ගැනීමට ආණ්ඩුවෙන් පෙළබවීමක් ඇතිවෙලා නෑ. දේශපාලනයේදී සමහරු කතා කරනවනේ අහවලා පනීද නැද්ද කියලා. අපිට කෘතිම බුද්ධියෙන් ඒ ගැනත් අහන්න පුලුවන්. කෘතිම බුද්ධිය අන්තර්ජාලයේ තියෙන අපි නොහිතන තොරතුරු වලට ගිහිල්ලා ඒ තොරතුරු ගෙනවිත් අපිට කියනවා මෙයා පනිනවා කිව්වට මෙයාට මේ මේ ප්‍රශ්න ඇති නිසා පනින්න ඉඩ නෑ. මෙන්න මේ සාධක ඇතිවුනොත් තමයි මෙයා පනින්නේ. නොමිලේ තියෙන කෘතිම බුද්ධි මෙවලම් වලින් නම් මේ වගේ බරපතල තොරතුරු ලබාගන්න බෑ. නමුත් මුදල් ගෙවා ලබාගන්නා කෘතිම බුද්ධි මෙවලම් හරහා ඉතාම ඉහල ගනයේ උපදෙස් ලබාගැනීමේ හැකියාව තියෙනවා. මේක අපිට අවශ්‍ය මෙවලමක් වගේම මෙය හික්මවීමද අත්‍යාවශයි.
බුසෙෆලස් මෙල්ල කරමු
මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාට හිටියා බුසෙෆලස් (Bucephalus) නම් අශ්වයෙක්. ඊයක් තරම් වේගවත්, අලියෙක් වගේ බුද්ධිමත්, සිංහයෙක් වගේ ශක්තිමත්, සතෙක් තමයි මේ බුසෙෆලස්. මේ අශ්වයා මෙල්ල කරගන්න කාටවත්ම නොහැකි වීම නිසා මේ අශ්වයා ගෙන ආවේ වාසියක් නොවෙයි විනාශයක්. මේ අශ්වයා හික්මවා ගැනීමට හැකිවූ නිසා මැසිඩෝනියාවේ සිට ඉන්දියාව දක්වා මහාද්වීප තුනක සිය අදිරාජ්‍යය ව්‍යාප්ත කිරීමට ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාට හැකිවුනා. මේ කෘතිම බුද්ධියත් බුසෙෆලස් අශ්වයා වගේමයි. එහි මහා හැකියාවක් තියෙනවා. නමුත් හික්මවා ගැනීමට නොහැකි වුනොත් ගෙන එන්නෙ වාසියකට වඩා අවාසියක්.
ආණ්ඩුවේ කාර්යභාරයත්, මේ සභාවේ කාර්යභාරයත් වන්නේ මේ කෘතිම බුද්ධිය හික්මවාගෙන ඉන් මහත් ප්‍රෙයා්ජන මේ රටට ගන්න එකයි. ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා මේ විශය ගැන අවබෝධයක් ඇති අයගෙන් උපදෙස් ගනිමින්, පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් ද පත් කරළා කෘතිම බුද්ධිය අපේ ප්‍රයෝජනයට ගන්නා ආකාරයත්, මින් මතුවන සමාජ අවධානම් හදුනාගෙන ඒවා පාලනය කර ගන්න ආරක්ෂාකාරී ක්‍රමවේද හදුනාගන්නේ කෙසේද, නවනීති රීති ගෙන ආයුත්තේ කෙසේද කියලා කඩිනමින් සොයා බලා කටයුතු කල යුතු බව මම යෝජනා කරනවා.
– media unit