ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අද (12) ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ වත්මන් ජනාධිපතිවරයා පසුගිය මාස 24ක කාලය තුලදී විදේශ සංචාර 25කට සහභාගී වී ඇති බවයි.
එම සංචාරයන් සඳහා කෝටි ගනන් මහජන මුදල් යොදාගන්නා අතරවාරයේ හිටපු ජනාධිපතිවරු නඩත්තු කිරීම සඳහාද අති විශාල මුදල් ප්‍රමාණයක් වැය කරනා බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
තොරතුරු දැනගැනීමේ පනත යටතේ ජනාධිපති ලේඛම් කාර්යාලයෙන් ලබාගත් තොරතුරු උපුටා දක්වමින් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ යන සෑම හිටපු ජනාධිපතිවරයෙක් සඳහාම විශ්‍රාමික වැටුප රුපියල් 97,000ක්, ලේකම් දීමනාව රුපියල් 100,000ක්, ඉන්ධන දීමනාව 700,000 ක් බැගින් ගෙවනා බවයි.
හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක සඳහා පමණක් ඉන්ධන දීමනාව ලෙස ලක්ෂ 5ක මුදලක් හිමිවූවත් අනෙක් සියලු දීමනා හිටපු ජනාධිපතිවරියටද සමානව ලැබෙනා බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
මේ සියලු දීමනාවන්ට අමතරව නිවාස, ආරක්ෂාව සහ තවත් වරප්‍රසාද රැසක් හිටපු ජනපතිවරු ජනතා මුදලින් භුක්ති විඳිනා බව පෙන්වාදුන් මන්ත්‍රීවරයා කියාසිටියේ ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ මෙම නඩත්තු කිරීම් අවසන් කරනා බවත් ජනාධිපතිවරයා සඳහා සියලු නාස්තිකාර වියදම්ද කපා හරිනා බවත්ය.
