gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මැතිවරණවලදී කියන පච අල්ලන වැඩපිලිවෙලක්!

මැතිවරණ කාල සීමාව තුළ දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රතිපත්ති ප්‍රකාශන වඩා ප්‍රායෝගික සහ තක්සේරු කළ හැකි ඒවා බවට පත් කරගැනීම වෙනුවෙන් නිදහස් සහ සාධාරණ මැතිවරණ සඳහා ජනතා ක්‍රියාකාරීත්වය (පැෆ්රල්) විසින් සිදු කරන ලද අධ්‍යයනයක් පදනම් වෙමින් නිර්මාණය කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශන රාමුව සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුණේ අදහස්, යෝජනා සහ එකඟත්වය ලබා ගැනීම සඳහා වූ සාකච්ඡාවක් නිදහස් සහ සාධාරණ මැතිවරණ සඳහා ජනතා ක්‍රියාකාරීත්වය (පැෆ්රල්) නියෝජිතයන් සහ එක්සත් ජනරජ පෙරමුණ අතර (20) එක්සත් ජනරජ පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණ.

මෙම අවස්ථාව සඳහා එක්සත් ජනරජ පෙරමුණ වෙනුවෙන්, එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, ප්‍රධාන ලේකම් බන්දුල චන්ද්‍රසේකර යන මහත්වරුන් එක්ව සිටියහ.

එහිදී අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාඨලී චම්පික රණවක මහතා;

“අද පැෆරල් සංවිධානයේ නියෝජිත පිරිසක් එක්ක අපි; එක්සත් ජනරජ පෙරමුණ කළා. එතුමන්ලා අපට යෝජනාවලියක් ඉදිරිපත් කළා දේශපාලන පක්ෂ මැතිවරණය ඉලක්ක කරගෙන ප්‍රතිපත්ති ප්‍රකාශන, මැතිවරණ ප්‍රකාශන ඉදිරිපත් කරනවා. ඒවා ඉදිරිපත් කිරීමේ දී යම්කිසි රාමුවක් අනුගමනය කරන්න කියලා. විශේෂයෙන්ම ඒ මැතිවරණ ප්‍රකාශනය විධිමත් ආකාරයට කා එක්කත් සාකච්ඡා කරලා අදහස් අරගෙන කරන්න ඕන කියන එකයි. ඒක විධිමත්ව ක්‍රියාත්මක කරන කාල සැලැස්මක් පිළිබඳව යන විය හියදම් පිළිබඳ යම්කිසි ආකාරයක රාමුගත ක්‍රියාවලියක් ඇති කරන්න එතුමන්ලා බලාපොරොත්තු වෙනවා කියලා. අපි හිතනවා ඒක වැදගත් පියවරක් කියලා.

අපිත් ඒගොල්ලන්ට යෝජනාවක් කළා. මොකද මේ මැතිවරණ වලදී නොයෙක් දෙනා මාධ්‍ය හරහා ව්‍යාජ ප්‍රචාර කරලා ඒ හරහා ජනතාව බිය ගැන්වීමට හෝ අධික සන්තෝෂයට පත් කරලා, මහා බලාපොරොත්තු ඇති කරලා, බලයට එනවා. ඊට පස්සේ ඒවා ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඊට පස්සේ වගකියන්න කෙනෙක් නැති වෙනවා. ඕක අපි 2019 මැතිවරණයේ දී හොඳටම දැක්කා. ඉතින් ඒ නිසා යම්කිසි ආකාරයකට එවැනි ව්‍යාජ තොරතුරු පදනම් කරගෙන පතුරවලා, බලයට එන අය එවැනි තොරතුරු ප්‍රකාශ කරන අය සම්බන්ධයෙනුත්, යම් නීතිමය ප්‍රතිපාදනයක් රටට දැන් අවශ්‍යයි කියන එක අපි ඉදිරිපත් කළා දේශපාලන පක්ෂවල, අරමුදල් ලැබෙන ක්‍රමය සහ වියදම් කිරීමේ ක්‍රියාවලිය ගැන, මැතිවරණ කොමිසමෙත් යම්කිසි වැඩකොටසක් කරනවා. ආදායම් ලැබෙන ක්‍රියාවලිය පිළිබඳව කිසියම් ආකාරයක විනිවිද භාවයක් අවශ්‍යයි.

ප්‍රශ්නය:

පෙරේදා දිනයේදී ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය සම්බන්ධයෙන් කරපු ප්‍රකාශය මේ ඇතැමුන් පවසන්නේ මේ දැන්මම ශ්‍රේෂ්ඨාධිකරණය බය කරගන්න හදනවා මැතිවරණය කල් දාගන්න කියලා. ඔබතුමා මැතිවරණය ගැන අදහස මොකක්ද?

පිළිතුර:

ශ්‍රේෂ්ඨාධිකරණය බය කරලා මැතිවරණ කල් දාගන්න බෑනේ. මේ රටේ හමුදා පාලනයක් නෑනේ. මේ රටේ නිදහස් අධිකරණයක් තියෙන්නේ. අධිකරණය විසින් යම් යම් කාරණා නිශ්චය කරන්නේ ඔවුන් ඉදිරියේ තියෙන නීතිය, කරුණු පදනම් කරගෙන. ලිංග වශයෙන් මිනිස්සුන්ගේ තියෙන විභේදනයන් පිළිබඳව රට තුළ විවාදයක් තියෙනවා. ඒක ලෝකෙත් ඇතුලේ තියෙන විවාදයක්. ස්ත්‍රී, පුරුෂ හා එසේ නොවන ලිංගික ප්‍රභේදයන් පිළිබඳව. එක එක්කෙනාට පෞද්ගලික දේවල් තියෙනවා. ආගමික ආයතන වලට වෙනම විශ්වාසයන් තියෙනවා. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණය, ඒ තමන් ඉදිරියේ තියෙන කරුණු ගැන දක්වලා තමයි එහෙම කරන්නේ. මොකද  ලංකාවේ ජන සංඛ්‍යා ලේඛන කරගෙන යනකොට, ස්ත්‍රී ද, පුරුෂද කියලා බලනවා මිසක්, ඒ දෙකටම අයිති නොවන අය කවුද කියලා කොහෙවත් සංඛ්‍යාලේඛනයක් නෑ.

ඉතින් එහෙම අයගේ අයිතීන් ආරක්ෂා කරන්න අවශ්‍ය නම් ඒ පියවර අනුව ව්‍යවස්ථාවට විධිමත් විවරණයක් ගෙනල්ලා, මානව හිමිකම් පරිච්ඡේද වලට, ඒ පිළිබඳව සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, දැන් සංඛ් යාලේඛන ගන්නවා. රටේම ජන සංඛ්‍යා ලේඛනවලට යම් යම් ආකාරයකට ඒ නිර්දේශ ලබා දීලා, එහෙම පියවරෙන් පියවර යන්න ඕනේ. මොකද උසාවියට, විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයට තර්ජනය කිරීම, කිසිසේත්ම පිළිගන්න පුළුවන් කමක් නෑ. ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රතිපාදන තමන්ට අවශ්‍ය නම් ලිංගිකමය වශයෙන් වෙනස්ව ඉන්න පිරිස් පිළිගැනීමට ලක් කරන්න. ඒකට අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ගයක් තියෙනවා. ඒකට ඒ ගැන ජාතික කතිකාවතක් අවශ්‍යයි. මොකද විවිධ ආගමික කණ්ඩායම් එක විදිහකට හිතනවා. සමාජ කණ්ඩායම් තව විදිහකට හිතනවා. ඕක ලෝකෙත් එහෙමයි. ලෝකෙත් ඔය ලිංගික අයිතිවාසිකම් පිළිබඳව ඒ වගේම ගබ්සා කිරීම් සම්බන්ධයෙන්, ගණිකා වෘත්තීය සම්බන්ධයෙන් මෙවැනි විවිධ විවාදයන් පවතිනවා. ඉතින් ඒ ඒ වගේ වාද සම්පන්න කාරණයක් සම්බන්ධයෙන් අධිකරණයටම දොස් කියලා හරියන්නෙ නෑ. ඒක රට ඇතුළේ ජාතික කතිකාවතක් ඇති වෙන්න ඕන.

මෙම සාකච්ඡාවෙන් පසු අදහස් දැක්වූ පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා;

“ශ්‍රී  ලංකාවේ ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන තරඟ වැදීමට අපේක්ෂිත දේශපාලන පක්ෂ සහ නායකයින් සමඟ ප්‍රතිපත්ති ප්‍රකාශන සම්බන්ධයෙන් ඇතිකරගන්න එකඟතාවයේ පළවෙනි එකඟතාවය සඳහා තමයි ජනරජ පෙරමුණේ නායක, චම්පික රණවක මහත්තයා මුණ ගැහෙන්නට තීන්දු කළේ. මේ වෙනකොට පැෆරල් සංවිධානය රටේ දේශපාලන පක්ෂ පසුගිය දශක ගණනාවක් තිස්සේ ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශන අධ්‍යයනය කරලා අවබෝධයක් ලබාගෙන තිබෙනවා මේ ප්‍රතිපත්ති ප්‍රකාශන හුදු ලියවිලි පමණක් මේ රටේ ඉතිහාසයේ තහවුරු කරලා තිබෙනවා. ඉතාම අවම අවස්ථා ගණනකදී තමයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශන සැබෑ ලෙසම ක්‍රියාත්මක කිරීම සඳහා දේශපාලන පක්ෂ යම් උත්සාහයක් දරලා තියෙන්නේ.

ඒ නිසා අපි සංවිධානයක් හැටියට මේ රටේ වෘත්තීය සමිති විද්වතුන් සිවිල් සමාජ ක්‍රියාකාරිකයින්, දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කරලා අපි මූලික රාමුවක් සකස් කරන්නට තීන්දු කළා. මේ ඕනෑම ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීමේදී, ඒ මූලික රාමුවට අනුගතව, ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරන්නට එකඟතාවයක් ඇතිකර ගැනීමේ ඉලක්කය මත. එතකොට මේ රාමුව තුළ අපි ඉතාම පැහැදිලිව කාරණා ගණනාවක් මතු කරලා තිබෙනවා. ප්‍රධානම කාරණය තමයි, මේ ප්‍රතිපත්ති ප්‍රකාශන අපි දකිනවා, දේශපාලන, තමන්ගේ දේශපාලන පක්ෂයේ පාර්ලිමේන්තු සමගවත් එහෙම නැත්නම් පළාත් පාලන, පළාත් සභා, තමන්ගේ නියෝජිත කණ්ඩායම් සමඟවත් විධිමත් සංවාදයක්, සාකච්ඡාවක් ඇතුළෙ නෙමෙයි මේවා සිද්ධවෙන්නේ. ඒ නිසා මේ දේ හැකිතාක් දුරට සහභාගීත්ව ක්‍රමවේදය මත සකස් කිරීම ඉතාම වැදගත්.

වැදගත්ම කාරණය තමයි, මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිළිබඳව යම් අදහසක් සහිතව තමයි ඒ ප්‍රකාශන සකස් විය යුත්තේ. ඒ නිසා ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අන්තර්ගතය තුළ, තමන් ඉදිරිපත් කරන ඕනෑම ප්‍රතිපත්තියකට අදාළව, ඒ ප්‍රතිපත්ති අදාළ ව ක්‍රියාත්මක කරන සැලැස්ම අපි අවධාරණය කරන්නේ දේශපාලන පක්ෂ වලට ඒ ක්‍රියාවලියට අදාළ කාල රාමුවක් අනිවාර්යෙන්ම මේක ඇතුලේ ඇතුලත් වෙන්නට ඕනේ. ඒ වගේම ඒ සඳහා වැය කරන්න අපේක්ෂිත අරමුදල් පිළිබඳව මේක ඇතුළේ ප්‍රධාන වශයෙන්ම සඳහන් වෙන්නට ඕනේ. කොච්චර මුදලක් ඒ සඳහා අපේක්ෂිතයිද කියලා. ඒ මුදල උපයා ගන්නා ආකාරය පිළිබඳව මේක ඇතුලත් වෙන්නට ඕනේ. මේකෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිපලය ප්‍රතිපත්ති ප්‍රකාශන තුළ අවම වශයෙන් ඇතුළත් වෙන්නට ඕනේ. ආණ්ඩුවක් බවට පත් වුණාට පස්සේ අපි විශ්වාස කරන්නේ පාර්ලිමේන්තුවේ පළමු විවාදයට මේ ප්‍රතිපත්ති ප්‍රකාශන ගතයුතු වෙනවා. ආණ්ඩුවේ ඉදිරි අයවැයේදී මේ ප්‍රතිපත්ති ප්‍රකාශන මත, ඒවායේ තියෙන කාරණා මත තමයි ඔවුන්ගේ අයවැය සකස් වෙන්නට ඕන. නමුත් අපි මේ මොහොතේ දකින්නේ නැහැ එවැනි ක්‍රියාවලියක්. ඒ නිසා වඩා ප්‍රායෝගික යථාර්ථවාදී, ක්‍රියාත්මක කළ හැකි ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරි ජනාධිපතිවරණයට ඇතුල් කරන්න තමයි අපේ මේ උත්සාහය. මොකද මේක තමයි එක. ඇත්තටම ගිවිසුම, ඡන්ද දායකයා සහ දේශපාලන පක්ෂය අතර ඇති කරගන්න ගිවිසුම තමයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය. හැබැයි අපි ඉතිහාසය පුරාවටම දකින්නේ, මේ ගිවිසුම ගැන, දේශපාලන පක්ෂ සංවේදීත් නැහැ. ඡන්ද දායකයා සංවේදීත් නැහැ. ඒ නිසා ඒවා ක්‍රියාත්මක කරන්න දේශපාලන පක්ෂවල පෙළඹවීමකුත් නැහැ. ඒ නිසා අපිට විශාල වගකීමක් තියෙනවා මේ පිළිබඳ පුළුල් සමාජ කතිකාවක් රට තුළ ඇති කරන්න. දේශපාලන පක්ෂ ආණ්ඩු පත්වුණාට පස්සේ මේවා ක්‍රියාත්මක කරනවද නැද්ද කියන එක පිළිබඳව පසුවිපරම් කිරීමේ ක්‍රියාවලියක් අපි යෝජනා කරනවා. ආණ්ඩුව විසින්ම සකස් කළ යුතු වෙනවා.

ඊට අමතරව සිවිල් සංවිධානවලට මේ සඳහා ඉඩකඩක් විවරවීම අවශ්‍යයි. පැෆරල් සංවිධානය බලාපොරොත්තු වෙනවා මේ ඉදිරි මැතිවරණයෙන් පස්සේ මේ ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශන, ඒ කියලා තියෙන කාල රාමුන් අනුව ක්‍රියාත්මක කරනවාද, නැද්ද? කියන එක පිළිබඳව සොයාබැලීමේ යාන්ත්‍රණයක් හදන්න. හැබැයි අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ දේශපාලන පක්ෂ අපහසුතාවයට පත් කරන්න. අපි උත්සාහ කරන්නේ දේශපාලන පක්ෂ සහ ඡන්ද දායකයන් අතර තියෙන මේ අවිශ්වාසය හැකිතාක් දුරට අවම කරලා, ඉදිරි ප්‍රධාන මැතිවරණ වලදී ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශන ප්‍රායෝගිකව යථාර්තයක් බවට පත්කරගන්න. ඒ සඳහා අපි සියලු දේශපාලන පක්ෂ එක්ක සාකච්ඡා කරලා, මේ වෙනකොටත් ජනතා විමුක්ති පෙරමුණ ඒ සම්බන්ධයෙන් අපිට ඉදිරි සතිය තුළ දින ලබාදෙන බව සඳහන් කරලා තිබෙනවා. අනිත් ප්‍රධාන දේශපාලන පක්ෂ වලිනුත් අපෙන් මේ වෙනකොට ඉල්ලුම් කරලා තියෙනවා. ඒ නිසා මේ සියලු දෙනාම එකඟ කරගත්ත, පොදු තැනකදී මාර්තු දොළහ ව්‍යාපාරය ආකාරයෙන්ම පොදු එකඟතාවයක් ඇතිකරගන්න අපි ඉදිරි සති කිහිපය තුළ බලාපොරොත්තු වෙනවා. ඉන් අනතුරුව අපි විශ්වාස කරන්නේ ඊට අනුගතව ඉදිරි ජනාධිපතිවරණයේදී මේ දේශපාලන පක්ෂ තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන සකස් කරයි කියලා.

– Media unit
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka