සර්ව ජන බලය විසින් “හැට නම ලක්ෂයේ ජනතා බලාපොරොත්තුව යළි බල ගැන්වීම” යන තේමාව යටතේ ජන හමුවක් ඊයේ (18) නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්විය. එම ජන හමුව සඳහා සහභාගි වීමට සර්වජන බලය නියෝජනය කරනා දේශපාලන පක්ෂ රැසක සාමාජිකයන් ස්ථාන පහක සිට පා ගමනින් නුගේගොඩ එම ස්ථානය වෙත පැමිණියේය.
එම ජන හමුව සඳහා උදය ගම්මන්පිල, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ව්‍යවසායක දිලිත් ජයවීර යන මහත්වරුන් සහභාගී විය.
එහිදී රැස්ව සිටි ජනතාව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා උද්වේගකර දේශනයක් සිදුකළ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අනතුරු ඇඟවීමක්ද සිදුකළේය.
“සර්ව ජන බලය බිහිවුණා විතරයි ආණ්ඩුව අද කතා කරන්නේ ඡන්ද කල්දාන්න. ජන මත විචාරණයක් තියලා වසර දෙකකට කල් දාන්න කතා කරනවා. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකෙන් වසරකට කල් දාන්න කතා කරන්වා. අපි රනිල් වික්‍රමසිංහට කියනවා රනිල් මහතෝ පුංචි චන්දෙ කල් දැම්මා වගේ ජනාධිපතිවරණයට අත තියන්න බෑ. එදා දාපු සෙල්ලං. අද දාන්න බෑ. අද සර්ව ජන බලය තියෙනවා ඒ සෙල්ලං දාන්න ආවොත් මේ ජන ගඟ අරගෙන ජනපති මැදුර වට කරන්න අපි ලෑස්තියි කියන එක අපි ජනාධිපතිවරයාටම සිහිපත් කරනවා”