ඉන්දියාවේ අහමදාබාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ISIS ත්‍රස්තයින් සිව්දෙනා සහරාන් හෂීම් විසින් මෙහෙයවන ලද ජාතික තව්හිද් ජමාද් සංවිධානයේ සාමාජිකයින් බවත්, ඔවුන් මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිට ඇති බවත් අනාවරණය වී ඇත.
ඉන්දියාවේ, ගුජරාට් ප්‍රාන්තය තුළ ප්‍රහාරයක් දියත් කිරීමේ සූදානමින් මෙරට සිට අහමදාබාද් නගරය වෙත පැමිණි ශ්‍රී ලාංකික ISIS ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් සිව්දෙනා ඉරිදා අහමදාබාද් සර්ධාර් පටෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ගුජරාට් ත්‍රස්ත මර්ධන බලකාය මගින් අත්අඩංගුවට ගැනුණි.
මේ සම්බන්ධව ඊයේ (22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ගුජරාට් පොලිස්පති විකාෂ් සාහේ සඳහන් කරන්නේ මෙම ත්‍රස්තයින් සිව්දෙනා මීගමුව සහ කොළඹ ප්‍රදේශවල පදිංචිකරුවන් බවය.
අත්අඩංගුවට පත් 33 හැවිරිදි මොහොමඩ් නුස්රත් ලෙස හඳුනාගෙන ඇති පුද්ගලයා මීගමුවේ පදිංචිකරුවෙකි.
අත්අඩංගුවට පත් අනෙක් ත්‍රස්ත සාමාජිකයින් වන්නේ 27 හැවිරිදි මොහොමඩ් නෆ්රාන්, 43 හැවිරිදි මොහොමඩ් රශ්ඩීන් සහ 35 හැවිරිදි මොහොමඩ් ෆාරිෂ් යන කොළඹ නගරයේ පදිංචිකරුවන් ය.
ඔවුන් මෙරට සිට චෙන්නායි හරහා අහමදාබාද් නගරය වෙත ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් යානයකින් පැමිණ ඇති බව වාර්තා වෙයි.
දෙමළ භාෂාව පමණක් භාවිත කරන අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් සිව්දෙනාගෙන් ප්‍රශ්න කර ඇත්තේ, භාෂා පරිවර්තකයෙකු හරහාය.
ඔවුන් සතුව තිබී ජංගම දුරකථන, දෙරටේ මුදල් සහ ගුවන් බලපත්‍ර මෙන්ම එක් අයෙකුගේ ගමන් මල්ල තුළ ISIS සංවිධානයේ කොඩියක් ද හමුවී තිබේ.
පකිස්ථානයේ ISIS කල්ලියක් සමග සම්බන්ධයි
මෙම ශ්‍රී ලාංකිකයින් පිරිස පාකිස්තානයේ සිට ක්‍රියාත්මක ISIS ත්‍රස්ත සංවිධානයක නායකයෙකු වන අබූ නම් නමැත්තා සමාජ මාධ්‍ය තුළින් පසුගිය පෙබරවාරි මසදී පමණ හඳුනාගෙන ඇති අතර ඔවුන් පසුව දැඩි ISIS මතධාරීන් ලෙස පත්ව ඇති බව වාර්තා වෙයි.
එමෙන්ම අබූගේ උපදෙස් මත ඉන්දියාව තුළ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට ඔවුන් විසින් සැලසුම්කර ඇත. ඔවුන්ට මෙරට මුදලින් රුපියල් ලක්ෂ 4ක මුදලක්ද ලබාදී ඇති අතර මොවුන් මරාගෙන මැරෙන ප්‍රහාරයකට පවා සූදානමින් සිට ඇති බවට තොරතුරු හෙළිවී තිබේ.
අවි ආයුද
මොවුන්ගේ ජංගම දුරකථන පරීක්ෂා කිරීමේදී අහමදාබාද් නගරයට ආසන්න නානාචිඩෝලා ප්‍රදේශයේ සඟවා තිබු අවි ආයුද සම්බන්ධ තොරතුරු එරට ආරක්ෂක අංශ වෙත නිරාවරණය වී තිබේ.
පාකිස්තානයේ නිෂ්පාදිත පිස්තෝල 03ක් සහ ඒ සඳහා යොදාගන්නා උණ්ඩ රැඳවුම් 20ක් සොයාගෙන ඇත.
ත්අඩංගුවට පත් ශ්‍රී ලාංකික ISIS ත්‍රස්තයින් සිව්දෙනාට එරෙහිව රැස්කළ වාචික සහ පර්වේෂණීය සාක්ෂි මත පදනම්ව එරට දණ්ඩ නීති සංග්‍රහය, නීත්‍යානූකූල නොවන ක්‍රියාකාරකම් වැළැක්වීමේ පනත සහ නීතිවිරෝධී අවිආයුධ පනත ප්‍රකාරව ඉදිරියේදී නීතීමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය. – දෙරණ
