උමා ඔය බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව ඒ ආශ්‍රිත මෙතෙක් නායයෑමක් වාර්තා වී නැති බවත් මේ දිනවල එම ප්‍රදේශයට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් මතුව තිබෙන කුඩා කුඩා දිය ඇලි පෙන්වමින් ඇතමුන් ජනතාව නොමග යැවීමට උත්සාහ දරණ බවත් විදුලි බල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසයි.
කෙසේ වෙතත් උමා ඔය ප්‍රදේශය ආශ්‍රිතව සිදුව ඇතයි පැවසෙන ඉරිතැලීම් සහ ජල ගැලීම් සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීම සඳහා භූ විද්‍යාඥයින් කණ්ඩායමක් අද දින (01) අදාළ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වන බවද ඔහු පවසයි.
විදුලි බල හා බලශක්ති රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ මේ බව සඳහන් කර සිටියේ ඊයේ (30) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
උමා ඔය ව්‍යාපෘතිය ආශ්‍රිතව කිසිදු නායයෑමේ හෝ වෙනත් සිදුවීමක් තහවුරු වී නැති බවත් කිසියම් ගැටළුවක් ඇත්නම් ඒ සියල්ල වෙනුවෙන් තාක්ෂණික පිළිතුරු ඇති බවත් රජයක් ලෙස වගකීමෙන් පවසන්නේ යැයිද එවැනි ගැටලු වළක්වා ගන්නා ආකාරය සම්බන්ධයෙන් ලෝකය පුරා අත්දැකීම් තිබෙන බවද ඔහු වැඩිදුරටත් පවසයි.
කෙසේ වෙතත් මේ වනවිට නායයෑම් සක්‍රීය වී තිබෙන ඇල්ල කරඳගොල්ල 10 කනුව මලිත්තගොල්ල ගම්මානයට හෝ ඒ අවට ගම්මානවලට මාස කිහිපයකින් සැලකිය යුතු වර්ෂාවක් ලැබී නැතැයිද මේ වනවිටත් පවතින්නේ වියලි කාලගුණයක් යැයිද ජනතාව සඳහන් කරති.
