වසර දෙකක් පුරා ඇවිළී යන රුසියානු සහ යුක්රේන් යුද්ධය හේතුවෙන් පිරිස් බල හිඟයකට දැඩිව මුහුණ දී සිටින රටවල් දෙකේම හමුදාවන් කුලී හේවායන් ලෙස විදේශිකයන් සිය හමුදාවන්ට එක්කර ගන්නා බව දැන් ලොවම දන්නා ප්‍රසිද්ධ රහසකි. එහෙත් මේ රටවල් දෙකම මේ බව ලෝකයට වසන් කරන්නට උත්සාහ ගන්නේ කුලී හේවායින් සිය හමුදාවලට හොර පාරෙන් එක්කර ගනිමිනි.
මෙම යුද්ධයේදී මුලින්ම කුලී හේවායන් ලෙස විදේශිකයන් බඳවා ගනු ලැබුවේ යුක්රේනයයි. එරට ජනාධිපති ප්‍රසිද්ධියේම ඒ බව ප්‍රකාශ කරනු ලැබුවේ සිය රට බේරා ගැනීමට ඉදිරිපත් වන ලෙස සෙසු රටවල වැසියන්ගෙන් ඉල්ලීමක් ද කරමිනි.
ඒ අනුව මුලින්ම මෙරට හමුදාවන්වල සේවයේ නිරත විශ්‍රාමික හමුදා සාමාජිකයන් රැසක් ම කුලී හේවායන් ලෙස යුක්රේන් හමුදාවට එක්විය. මේ වන විටත් යුක්රේන් හමුදාවට එක්වූ අපේ කිහිප දෙනෙකුගේම ජීවිත රුසියානු ප්‍රහාර හමුවේ නැතිවී හමාරය. තතුදත් තොරතුරු අනාවරණය කරන ආකාරයට අනුව යුක්රේන් හමුදාවේ මේ වන විට මෙරට හමුදා සාමාජිකයන් නොමැති ගාණය. ඒ ඔවුන් දැන් එම හමුදාවෙන් පලාගොස් යුරෝපයේ වෙනත් රටවල රැකියාවන් සොයාගෙන ඇති බැවිනි.
රුසියාවට යුද සෙබලුන් යවන ජාවාරම
රුසියාවේ හමුදා සේවයට ගොස් සිටින විශ්‍රාමික යුද හමුදා සාමාජිකයින්ගේ බිරින්දෑවරුන් ගේ පැමිණිලි සහ රුසියානු හමුදාවට බැඳී එහි මාරාන්තික අනතුරින් බේරී පලා විත් ජීවිතය පරදුවට තබා එම අපරාධය හෙළි කිරීමට සූදානම් වු විශේෂ බලකායේ හිටපු කෝප්‍රල්වරයෙකු ගේ නිශ්චිත තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළදාම, ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ කොට්ඨාශයේ නිලධාරීහු මත රුසියාවට කුලී හේවායන් යවන ජාවාරම ගැන පුලුල් විමර්ශනයක් ආරම්භ කළහ.
එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය 17 වැනිදා රුසියාවට කුලී හේවායන් ලෙස මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් රැගෙන යෑමේ ජාවාරමේ මෙරට ප්‍රධාන තැරැව්කරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට විමර්ශකයින් සමත් විය
මේ දෙදෙනාගෙන් එක් අයෙක් විශේෂ බළකායේ සේවයේ නිරතව සිට විශ්‍රාම ගිය මේජර්වරයෙකි. වාරියපොළ පදිංචිකරුවෙක් වන 61වන වියේ පසුවන විජේබණ්ඩාර නමැති ඔහුව අත්අඩංගුවට ගන්නේ වාරියපොල ඔහු පදිංචි නිවෙසේදීය. විශ්‍රාමික හමුදා සාමාජිකයන් කුලී හේවායන් ලෙස රුසියාවට යැවීමට රැස් කරනු ලබන එක් පුරුකක් වන්නේ ඔහුය. ඔහු හරහා මේ වන විට රුසියාවට ගොස් ඇති පිරිස තවමත් නිශ්චිතව තහවුරුවී නැතත් එම ප්‍රමාණය 50කට වැඩි මිස අඩු නැති බව නම් පැහැදිලිය. ඒ අතර වැඩිපුරම සිටින්නේ විශේෂ බලකායේ විශ්‍රාමිකයන්ය. ඒ හැරුණු කොට කමාන්ඩෝ බලකායේ මෙන්ම සෙසු හමුදා සාමාජිකයෝ ද වෙති.
දෙවැන්නාව අත්අඩංගුවට ගන්නේ දිගන රජවැල්ලෙනි. විදේශ රැකියා ඒජන්සිකරුවෙක් වූ ඔහු 63 හැවිරිදි වියේ පසුවන බන්දුල නැමැති අයෙකි. රුසියානු ගමනට අවශ්‍ය වීසා සහ ගුවන් ටිකට් පහසුකම් සංවිධානය වන්නේ මෙම ඒජන්සිකරු හරහාය. ඔහුට ඉහළින් තවත් අයෙක් මෙම ජාවාරමේ මෙහෙයුම්කරුවෙක් ලෙස සිටින්නේය. මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් රුසියානු හමුදාවට කුලී හේවායන් ලෙස රැගෙන යාමේ වැඩි කොටසකට දායකත්වය දෙන්නේ යැයි හඳුනාගෙන සිටින්නේ ඔහුය. මේ කියන පුද්ගලයා චතුරංග නැමැති අයෙකි. මහනුවර කටුගස්තොට පාරේ මහා පරිමාණයෙන් විදේශ රැකියා ඒජන්සියක් පවත්වා ගෙන ගිය තැනැත්තිතෙකි. දැන් ඔහු එම ඒජන්සිය වසා දමා රටිනුත් පළා ගොස් හමාරය. සුරූපී තරුණියන් සිය ඒජන්සියේ ප්‍රවර්ධකයන් ලෙස යොදා ගනිමින් මෙම ඒජන්සිය ඔහු විසින් පවත්වා ගෙන ගොස් තිබී ඇත. එම සුරූපිනියන් අතර මේ වන විට මෙරට රූපවාහිනී නාළිකාවල විකාශය වන ටෙලි නාට්‍ය රැසක නිතර දකින්නට ඇති ජනප්‍රිය මුහුණු කිහිපයක්ද තිබීම විශේෂිතය.
චතුරංග සිය ඒජන්සිය වසා දමා පැදුරටත් නොකියා රටින් පැන ගොස් ඇත්තේ යුරෝපීය රටවල රැකියා ලබා දෙන බව සඳහන් කරමින් අහිංසකයන් විශාල පිරිසක් රවටා කෝටි ගණනක මුදලක් ද වංචා කරමිනි. කියැවෙන ආකාරයට ඔහු රටින් පලා යන්නේ සිය බිරියව ද අතහැර ඔහු යටතේ සේවයේ නිරතව සිටි සුරූපී තරුණියක් ද කැටුවය. රුසියානු හමුදාවට කුලී හේවායන් ලෙස මෙරට හමුදා සාමාජිකයන් පැටවීමේ ජාවාරමට ඔහු සම්බන්ධ වී ඇතැයි කියැවෙන්නේ රටින් පළා යාමත් සමඟිනි. මෑතක් වන තුරුම ඔහු රුසියාවේ රැඳී සිටිමින් ජවාරම මෙහෙයුවත් දැන් ඔහු රුසියාවේ සිටීදැයි ඇත්තේ ප්‍රශ්නයකි. ඒ ඔහු රුසියාවට කිට්ටුව පාතක වෙනත් රටක රැඳී සිටින බවට විවිධ තොරතුරු කියැවෙන බැවිනි.
එස් එෆ් කෝප්‍රල් ජාවාරමුන්ට හසු වූ හැටි
රුසියානු හමුදාවෙන් පලාවිත් හැම දෙයක්ම තැනැත්තන් වෙළදාම, ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් හමුවේ හෙළි කළ විශ්‍රාමික කෝප්‍රල්වරයා මෙම ජාවාරම්කරුවන්ට හසුවන්නේ ඔහු සමඟ එකට සේවයේ නිරතව සිටි විශ්‍රාමික හමුදා සාමාජිකයන් කිහිප දෙනෙක් මඟිනි.
මෙරට මුදලින් රුපියල් ලක්ෂ 12ක පමණ වැටුපක් මෙන්ම රුසියාවේ පුරවැසිභාවය ද ලැබෙන බව කී නිසා රුසිියානු හමුදාවට එක්වීමට ඒ වන විටත් විශ්‍රාමික හමුදා සාමාජිකයන් අතර තිබී ඇත්තේ ලොකු පොරයකි. ජවාරම්කරුවන් මෙම විශ්‍රාමික හමුදා සාමාජිකයන්ට මුල සිටම ඒත්තු ගන්වා තිබී ඇත්තේ ඔවුන්ව රැගෙන යන්නේ යුද්ධයට නොව, හමුදා කඳවුරුවල සිවිල් සේවා කටයුතු සඳහා බවය.
රුසියානු හමුදාවට කුලී හේවායන් ලෙස මෙරට හමුදාවල විශ්‍රාමිකයන් රැගෙන යෑම ජාවාරම්කරුවන් විසින් සංවිධානය කරනු ලබන්නේ සැලසුම්සහගතවය. විශ්‍රාමික හමුදා සාමාජිකයන් සිහින ලෝකවලට රැගෙන යන්නේ පසුගිය ජනවාරි මාසයේ අග දිනක වාරියපොළ පැත්තේ පිහිටි නවාතැන් පොලකට රුසියාව බලා යාමේ සූදානමින් සිටි විශ්‍රාමික හමුදා සාමාජිකයන් තිහ හතළිහක පිරිසක් ගෙන්වා ගෙන සිදු කළ දේශනයක් ඔස්සේය. එම නවාතැන් පොල ද මෙම ජාවාරමට සම්බන්ධ සරත් නමැති පුද්ගලයකුගේ ඥාතියකුට අයත් වූවකි. රට වටෙන්ම විශ්‍රාමික හමුදා සාමාජිකයන් එදා මෙම රැස්වීමට පැමිණ සිටියේ රුසියානු හමුදාවේ සිවිල් සේවකයන් ලෙස එක්වීමේ අපේක්ෂාවෙන් රුසියාව බලා යාමට සූදානමිනි.
එහිදී චතුරංග මේ අය හා සම්බන්ධ වන්නේ වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේය. පැය හතර පහක් පුරාවට පැවැති මෙම හමුවේදී චතුරංග විනාඩි තිහක් හෝ ඒ ආසන්න කාලයක් වට්ස් ඇප් ඔස්සේ පිරිස අමතන්නේ රුසියාවේ සිටය. රුසියානු හමුදාවේ සිවිල් සේවයට එක්වීමත් සමඟ පුරවැසිභාවය හිමිවන බැවින් සිය අඹුදරුවන් රුසියාවට ගෙන්වා ගැනීමට හැකි බවත් ඒ සඳහා බිරියගේ සහ දරුවන්ගේ උප්පැන්න සහතික පවා රුසියාව බලා යන විට රැගෙන යාමට සූදානම් කර ගන්නා ලෙසත් චතුරංග කීවේ දහසක් බලාපොරොත්තු එහි සිටි විශ්‍රාමික හමුදා සාමාජිකයන්ට ඇති කරවමිනි. එහිදී ඔහු හමුදාවේ ජනරාල්වරයකුගේ නමක් පවා කීවේ ඔහුත් මේ වැඩේ සමඟ සිටින බැවින් කිසිවෙකුත් බියක් ඇති කරගත යුතුව නැතැයි කියමිනි.
එදා මෙම රැස්වීම සංවිධානය කරනු ලබන්නේ විශ්‍රාමික මේජර් විජේබණ්ඩාර ඇතුළු පිරිසකි. එහිදී ඔවුන් රුසියාව බලා යාමේ සූදානමින් සිටි පිරිස දිරිමත් කරනු ලබන්නේ රුසියානු හමුදා සේවයට බඳවා ගෙන සතියක් දෙකක් ඉක්ම යන්නට මත්තෙන් ශ්‍රී ලංකා රුපියල්වලින් ලක්ෂ 20ක පමණ මුදලක් සංතෝෂමක් ලෙස සිය ගිණුම්වලට බැරවන බවය. ඒ ගැන ලොකු විශ්වාසයක් තබා බොහෝ අය මේ ගමනට සූදානම් වන්නේ රට වටේට ණය වෙමිනි. ඇතැම් හමුදා සාමාජිකයන් විශ්‍රාම ගන්නා විට ලැබුණු මුදල් මේ සඳහා යොදවනු ලබන්නේ අනාගත ආයෝජනයක් සේ සලකාය.
මේ අය මුලින්ම මුදල් එකතු කර ගනු ලබන්නේ වීසාවලට යැයි කියා රුපියල් ලක්ෂයකි. රුසියාවේ හමුදා සේවයට යෑමේදී වීසා සඳහා මුදල් කුමකටදැයි ඇතැම් විශ්‍රාමික හමුදා සාමාජිකයන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් එයින් ගැලවී යන්නේ රුසියාවට යන්නේ සංචාරක වීසා මඟින් බවය. ඒ ගොස් හමුදා සේවයට එක්වූ සැණින් පුරවැසිභාවය ලැබෙන බව කියමිනි. අනතුරුව තවත් රුපියල් ලක්ෂ 08ක මුදලක් ලබා ගන්නේ වීසා ලැබුණු පසු සෙසු කටයුතුවලට යැයි කියාය. නැවතත් රුපියල් ලක්ෂ 03කට ආසන්න මුදලක් ලබා ගන්නේ ගුවන් ටිකට්පත්වලට යැයි කියාය. මේ හැම මුදලක්ම ලබා ගැනීමෙන් අනතුරුව රුසියාව බලා යෑමේ අපේක්ෂාවෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල වෙත යන මේ අයට ජාවාරම්කරුවන් දැනුම් දෙන්නේ අමෙරිකානු ඩොලර් 1200ක් රුසියාවට රැගෙන යාමට සූදානමින් තබා ගන්නා ලෙසය.
“ඔයාලව රුසියානු හමුදාවේ අය මොස්කව් ගුවන් තොටුපොළේදීම පිළිගන්නවා ලොකු උත්සවයක් තියල. ඔයාලට ඒ අය සලකන්නේ එයාලගේ රට වෙනුවෙන් සේවයේ නිරත වන්න ආපු වීරයන් විදිහටයි. පුරවැසිභාවය පවා ලැබෙන්නේ ඒ නිසයි. ඒ නිසා ඔයාල ලස්සනට ඇඳල යන්න ඕනේ. පිළිගැනීමේ උත්සවයක් තියෙන නිසා “යැයිද අවසාන මොහොතේ පවා ජාවාරම්කරුවන් මෙතරම් බොරැ බේගල් ඇදබා තිබුණේ එරටට ගිය විට මේ දේවල් බොරැවක් බවට පත්වනු ඇති බව දැන දැනමය.
රුසියාවට ගිය පසු මැවුන අපාය
සිද්ධිය හෙළි කරනු ලබන විශ්‍රාමික කෝප්‍රල්වරයා රුසියාව බලා මෙරටින් පිටත්ව යන්නේ පසුගිය පෙබරවාරි 16 වෙනිදාය. එදා ඔහු සමඟ රුසියාව බලා ගමන් කිරීමට විශ්‍රාමික හමුදා සාමාජිකයන් 08 දෙනෙක් ගුවන් තොටුපොලට පැමිණ සිටියහ. මෙම ගමන සම්බන්ධිකරණය කිරීමට තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් පසුගිය 17 වෙනිදා අත්අඩංගුවට ගත් විශ්‍රාමික මේජර් විජේබණ්ඩාර සහ ඒජන්සිකරු බන්දුල මෝටර් රථයක නැඟී ගුවන්තොටුපොල පරිශ්‍රය වෙත පැමිණ සිටියේය. ඒ පැමිණි ඔවුහු එහිදී ද තවත් ගේමක් ගැසුවෝය.
“බියුරෝ එකේ අය එයාර්පෝට් එක ඇතුළේ ඉන්නවා. ඒ අයව බැලන්ස් කරන්න ඕනේ. එහෙම නැති වුණොත් ඔයාල ටුවරිස් වීසාවලින් රස්සාවලට යනවා කියල යන්න නොදී නවත්ත ගනියි. ඒ නිසා රුපියල් 33,000ක් එක් කෙනෙක්ගෙන් ඕනේ ඒ අයට දෙන්න. එහෙම නැතිව ඇතුළට ගිහින් ප්‍රශ්නයක් ඇති උනොත් අපි වගකියන්නේ නැහැ. “ යැයි ඔවුහු කීහ.
ඒ වන විට මේ ගමනට සූදානමින් පැමිණි 08 දෙනා අත වූයේ ඩොලර් 1200ක මුදල පමණි. ඒ හැරුණු කොට සත පහක් ඔවුන් සතුව නොවීය. අවසානයේදී සිදුවන්නේ තමන්ව ගුවන්තොටුපොළට ඇරලවීමට පැමිණි බිරින්දෑවරුන්ගේ සහ ඥාතීන්ගේ කනකර උකස් කර එම මුදල ලබාදී මෙම ගමන සැහැල්ලුවෙන් පිටත්ව යන්නටය.
ගල්ෆ් එයාවේස් ගුවන් යානයකට එදා ගොඩ වූ විශ්‍රාමික කෝප්‍රල් ඇතුළු 08 දෙනාගේ කණ්ඩායමේ පළමු නවාතැන වූයේ බහරේන්ය. රුසියාව බලා පිටත්ව යන්නේ එහි සිටය. රුසියාවේ මොස්කව් ගුවන් තොටුපොලින් මේ අය රුසිියාවට පය තබන්නේ 17 වෙනිදාය. ඒ යන විට ඔවුන්ව පිළිගන්නට උත්සව කිසිවක් නොවීය. රමේෂ් නමැති ඉන්දියානු ජාතිකයකු ගුවන් තොටුපොලට පැමිණ සිටියේය. එම පුද්ගලයා පෙනී සිටියේ වෛද්‍යවරයෙක් ලෙසිනි. කුලී රථ තුනක විශ්‍රාමික කෝප්‍රල් ඇතුළු පිරිස නංවා ගත් ඔහු රැගෙන යන්නේ මොස්කව් ගුවන්තොටුපොළේ සිට කිලෝ මීටර් 20ක් පමණ දුරකින් පිහිටි හෝටලයක් වෙතය. එම හෝටලයේ දින තුනක් රැඳී සිටි ඔවුන්ව බලා ගැනීමට ඉන්දියානුවා විසින් ඔහුගේ සගයෙක් යොදා තිබුණේය. මෙරටින් පිටත් වන විට රැගෙන ගිය ඩොලර් 1200ක මුදල පවා ලබාගත්තේ එම ඉන්දියානුවා විසිනි. ඒ දුරකතන ඔස්සේ සම්බන්ධ වෙමින් චතුරංග විසින් ලබා දුන් උපදෙස්වලට අනුවය.
දින තුනකට වඩා මේ අයට එම හෝටලයේ කාමරවල රැඳී සිටීමට ඉඩක් නොවීය. ඒ රුසියාවේ හෝටල්වල සංචාරකයන්ට හේතුවක් නොමැතිව දින තුනකට වඩා එක දිගට රැඳී සිටීමට අවසර නොමැති වූ බැවිනි. එබැවින් රමේෂ් විසින් මේ අට දෙනාව රැගෙන යන්නේ කෝවිලක් වෙතය. කිසිදු පහසුකමක් නැති එහි මේ පිරිස රඳවන්නේ අනාථයන් ලෙසිනි.
“අපි මහ පාරේ හිගන්නෝ වගේ ඉන්න නෙමෙයි ආවේ. ඔයාල මේ මොනවද කරන්නේ“ යැයි කෝප්‍රල් ඇතුළු පිරිස චතුරංගට දුරකතන ඇමතුම් මඟින් දොස් නඟන්නට වූයේ දින දෙක තුනක් කෝවිලේ රැඳී සිටීමෙන් අනතුරුවය. ඒ වන විටත් කෝවිලේ පූසාරි මේ අයට තර්ජනය කර තිබුණේ කෝවිලෙන් පිටත්ව නොගියහොත් පොලිසියට අල්ලා දෙන බව කියමිනි.
මේ කණ්ඩායමේ මේජර්වරයෙක්ද සිටියේය. සක්‍රිය හමුදා සේවයේ නිරතව සිටින්නෙක් වූ මෙම මේජර්වරයා මෙම ගමනට එක්ව සිටියේ නිවාඩු ලබාය. කඳවුරක අණදෙන නිලධාරියෙක් වීමේ අවස්ථාව පවා මඟ හැර ඔහු මේ ගමනට එක්ව සිටියේ ආර්ථික අපහසුතාවන්ගෙන් ගොඩ ඒමේ අපේක්ෂාවෙනි. කොතනක හෝ තමන්ට වැරදී ඇති බව ඔවුන්ට පසක් වන්නේ රුසියාවට පය තැබීමෙන් අනතුරුවය. ඒ හැරුණු කොට මේ කණ්ඩායමේ කර්නල් වරයෙක්ද සිටියේය. ඔහු විශ්‍රාමිකයෙකි. මෙම කර්නල්වරයා මේ වන විට සිටින්නේ යැයි කියැවෙන්නේ රුසියානු හමුදා රැඳවුම් මධ්‍යස්ථානයකය. ඒ කුලී හේවායෙක් ලෙස අවි රැගෙන යන්නට බැරි බැව් කියන්නට ගොසිනි.
කෝවිලේ දින කිහිපයක් ඉතා දුෂ්කර ලෙස ගත කළ මේ අයව නැවත හොටෙල් දෙකකට වරින් වර රැගෙන ගොස් නවාතැන් ලබා දෙන්නේ දිගින් දිගටම චතුරංගට දුරකතන ඇමතුම් ගෙන දොස් නැඟීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.
රුසියානු හමුදාවේ තිරිසන් හැසිරීම
රුසියානු හමුදාවට බඳවා ගැනීමට යැයි කියා මේ අයව මුණගැසෙන්නට රුසියානු හමුදාවේ ප්‍රධානියෙක් බව කියන තැනැත්තෙක් එන්නේ මේ අතර තුරදීය. ඒ හරියටම පෙබරවාරි 25 වෙනිදා සවස 3.00ට පමණය. ඔහු සමඟ නීතිඥවරියක් යැයි කියාගත් තැනැත්තියක් ද ආවාය. ඇය පත්‍රිකා කිහිපයක් එහි සිටි අය අත තබා දැනුම් දෙන්නේ අත්සන් තබන ලෙසය. ඒ ඔවුන් රුසියානු හමුදාවට කුලී හේවායන් ලෙස බඳවා ගන්නා ගිවිසුමකි. රුසියානු භාෂාවෙන් සකස් කර තිබුණු එම ගිවිසුම මේ කිසිවකුටත් අවබෝධ කර ගැනීමට හැකියාවක් නොවීය. “ අපි ආවේ සිවිල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් හැටියට සේවය කරන්න. මේ ගිවිසුමේ ඒ ගැන තියෙනවද?“ දන්නා භාෂාවන් ගෙන් නීතීඥවරියගෙන් ඇසූවිට ඇය හිස වනා ඊට ප්‍රතිචාර දැක්වූවා පමණි. ඒ වන විට හෝටලයේ මේ අය පමණක් තනිවී සිටි බැවින් වෙන කරන්නට කිසිවක් නොවූ තැන ගිවිසුම්වලට අත්සන් තබන්නට වූයේ එහි සඳහන්ව ඇත්තේ කුමක්දැයි පවා නොදැනය. එරට බැංකු කාඩ්පත් පවා ලැබෙන්නේ ඉන් අනතුරුවය.
ගිවිසුම් අත්සන් කිරීමෙන් අනතුරුව මේ අයව රැගෙන යන්නේ රුසියානු යුද හමුදාවේ පුහුණු පාසලකටය. එහි මෙරටින් ගිය තවත් විශ්‍රාමික හමුදා සාමාජිකයන් පිරිසක් රැදී සිටියේය. අට දෙනාගේ කණ්ඩායත් සමඟ එම පිරිස ඒ වන විට 37 දක්වා ඉහළ ගොස් තිබුුණේය. දින කිහිපයක්ම මළ අපායක් වැනි එම පුහුණු පාසලේ ගත කළ ඔවුන්ව බස් රථයක පටවා ගෙන එතැනින් රැගෙන යන්නේ රුසියානු ඉදිරි ආරක්ෂක වලල්ල කිට්ටුව පාතක පිහිටි කඳවුරක් වෙතය. එම කඳවුර පිහිටියේ රුසියානු හමුදාව විසින් අත්පත්කරගත් යුක්රේනයේ ඩොනෙට්ස්ක් ප්‍රදේශයේය. ඒ යන විට එහි මෙරට හමුදාවල සේවයේ නිරතව සිට විශ්‍රාමගත් තවත් 11දෙනෙක් සේවයේ නිරතව සිටියේය.
රුසියානු හමුදාව හැම විටම උත්සහ දරන්නේ මේ අයට ගිනි අවි ලබාදී ඉදිරිපෙළ ආරක්ෂක රාජකාරියේ යෙදවීමටය. “අපි ආවේ කඳවුරු ඇතුළේ ආරක්ෂාවට“ දිගින් දිගටම මේ බව කියන විට මෙරට හමුදා සාමාජිකයන් ඔවුන් යොදවන්නේ බංකර් ගොඩනඟන්නටය. දින 13ක් තිස්සේ බංකර් සකස් කළ මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් 37 දෙනා ට්‍රක් රථ දෙකක පටවාගෙන රැගෙන යන්නේ තවත් කඳවුරක් වෙතය. එහිදී මේ අයගේ දුරකතන හා මුදල් පසුම්බි ලබා ගන්නා රුසියානු හමුදාව වෙඩි නොවදින ඇඳුම් ලබා දෙමින් ගිනි අවියක් නැවතත් අතට දුන්නේය. එවර ද ගිනි අවිය ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් වන්නේ භූගත කඳවුරක අඳුරේ සිර කර තැබීමය.
අනතුරුව රුසියානු හමුදාව මෙරට හමුදා සාමාජිකයන් කොටස් තුනකට කඩා වෙන් කරනු ලබන්නේ කණ්ඩායම එකට සිටීම අනතුරුදායක බව වටහාගෙන විය හැකිය. ඒ අයගෙන් කණ්ඩායම් දෙකක් අවස්ථා දෙකකදී වෙනත් ප්‍රදේශවලට රැගෙන යන අතර ඉතිරි වන්නේ කෝප්‍රල්වරයා ඇතුළු 11 දෙනෙකුගේ කණ්ඩායමකි. ඒ අයගෙන්ද කෝප්‍රල් ඇතුළු 07 දෙනෙකුව මාර්තු 14 වෙනිදා රාත්‍රී 7.00ට පමණ රැගෙන යන්නේ කුඩා වෑන් රථයක නංවා ගෙන මෙහෙයුමක් සඳහාය. එය ඉදිරි ආරක්ෂක වලල්ලේ රුසියානු හමුදාව සමඟ යුද්ධය දරුණුවටම පැවති භූමියකි. එම යුද බිමේ රුසියානු කුලී හේවායන් අතර පකිස්තානුවන්, ඉන්දියානුවන් සහ කියුබානුවන් රැසක්ම සිටියේය. ඒ අය වයසක උදවියයි. කෝප්‍රල්වරයා ඒ අය සමඟ කළ කතාබහේදී දැනගන්නට ලැබෙන්නේ මෙරට මුදලින් රුපියල් ලක්ෂ 25ක පමණ වූ මුදලක් රුසියානු හමුදාවට එක්වීම වෙනුවෙන් ලබාදී ඇති බවය. එහෙත් මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් මේ අවධානම් ගමන පැමිණ තිබුණේ තමන් සතු අන්තිම සතයක් වැය කරමිනි.
මුල් දින කිහිපය තුළ බංකර් කැපීමටත් කඳවුරු පිරිසිදු කිරීමටත් මේ අයව යෙදවූවත් අවසානයේදී මෙම කෝප්‍රල් ඇතුළු පිරිසක් රුසියානු හමුදාවේ පහලම නිලධාරියෙක් සමඟ යොමු කරනු ලබන්නේ යුක්රේන් අවි ගබඩාවක් අත්පත්කර ගන්නටය. මේ කණ්ඩායමේ වැඩි පිරිසක් සිටියේ විදේශිකයන්ය. කෝප්‍රල්වරයා හැරුණු කොට ගුවන් හමුදාවේ විශ්‍රාමිකයෙක් වූ ජානකත්, යුද හමුදාවේ විශ්‍රාමිකයෙක් වූ දඩැල්ලත් මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් අතර එම කණ්ඩායමේ රැඳී සිටියේය. තමන් මේ යන්නේ යුක්රේනයේ අවි ගබඩාවක් අල්ලා ගැනීමට බව මේ කිසිවෙක් දැන සිටියේ නැත. ඩ්‍රෝන ප්‍රහාර හා ස්නයිෆිර් වෙඩික්කරුවන් ගේ ප්‍රහාර හමුවේ ඉදිරියට ඇදුණු මේ කණ්ඩායම මාර්තු 15 වෙනිදා ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්වන්නේ නිලන්ත ජානක බරපතළ තුවාල ගෙන දෙමිනි. ජානකව ආරක්ෂිකව එම ස්ථානයෙන් ඉවත් කරමින් 16 වෙනිදා වන විට ඉලක්කය වෙත ගොස් අවි ගබඩාව අල්ලා ගැනීමට මෙම කණ්ඩායම සමත්ව තිබුණේය. එය තෙමහල් ගොඩනැගිල්ලක් වන අතර එය ඒ වන විටත් ඩ්‍රෝන් ප්‍රහාර විලින් ඇලවී තිබුණේ කොයි මොහොතේ කඩා වැටේවිදැයි කියන්නට බැරි තරමටය.
17 වෙනිදා වන විට රැගෙන ගිය ආහාර අවසන් වන අතර ජලය ද ඉතිරිව තිබෙන්නේ සුළු ප්‍රමාණයක් පමණි. එබැවින් ජලය පානය කිරීමට පවා සිදුවන්නේ බෝතල් මූඩියෙන් මැන බලමිනි. පොලිතින් උරවලට ශරීර කෘත්‍යයන් කරමින් දින ගණනාවක් ඒ තැන අල්ලා ගෙන සිටියේය. එම ස්ථානයෙන් ඉවත් වීමට අවසර ලැබෙන්නේ මාර්තු 20 වෙනිදාය. එහිදී ඔවුන් සමඟ සිටි පකිස්තානුවකුට ද තුවාල සිදුව තිබුණේ ඩ්‍රෝන ප්‍රහාරයකිනි. “අපිට අපේ ෆෝන් ටික ඕනේ. ගෙදර ගෑනු දරුවන්ට කතා කරන්න. අපි උඹලගේ රට වෙනුවෙන් මැරෙන්න ඇවිල්ල ඉන්නවා. ඊළඟ මෙහෙයුමේදී අපි මැරෙන්නත් පුළුවන්. උඹල වෙනුවෙන් මැරෙන්න ආපු අපිට හිරකාරයෝ වගේ සලකන එක හරිද“ යැයි මෙහිදී දන්නා හැම ශිල්පයක්ම දමා රුසියානු හමුදා ප්‍රධානියකුට කෝප්‍රල්වරයා ඇතුළු පිරිස කියා තිබුණේය.
කඳවුරෙන් පලා යෑම
එහි ප්‍රතිඵලයක් ලෙස ජංගම දුරකතන පමණක් ඔවුන් අතට ලැබෙන්නේ පවුලේ අය සමඟ කතාබහ කිරීමටය. මෙසේ ජංගම දුරකතනය මේ අය අතට ගන්නේ යම් සැලසුමකට අනුවය. ඒ ඊළඟ මෙහෙයුමට පෙර කඳවුරෙන් පලායාමේ අපේක්ෂාව ඇතිවය. යන්නේ කොහේද යන්නවත් නොදැන එළියට බසින්නේ ගූගල් සිතියමෙන් හෝ ගමන් කිරීමේ අපේක්ෂාව ඇතිවය.
දෙවැනි මෙහෙයුම සූදානම් වන්නේ අප්‍රේල් 02 වෙනිදාය. කෝප්‍රල්වරයා සැලසුම් කරනු ලබන්නේ දඩැල්ල හා ජගත් සමඟ එක්ව රුසියානු හමුදා කඳවුරෙන් පැන ගන්නටය. තිදෙනා පැති තුනකින් පැන ගොස් පාළු නිවෙසක පැය 24ක් පුරා සැඟවී සිට නැවත එක්ව ගමන් කිරීම කෝප්‍රල්වරයාගේ සැලසුමය. ඒ අනුව තිදෙනා කඳවුරෙන් පැන ගත්තේය. ඒ රුසියානු හමුදාව ඔවුන් පස්සේ පන්නමින් සොයන්නට වූවත් යුක්රේන් හමුදාවේ ඩෝන ප්‍රහාර හමුවේ ඔවුන් පසුබසින්නට වූ බැවින් ඒ අයව අල්ලා ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවීය. මේ තිදෙනා අතරින් වාසනාවන්තයා වන්නේ කෝප්‍රල්වරයාය. සෙසු දෙදෙනා රුසියානු හමුදා අත්අඩංගුවට පත්වන්නේය. සැලසුම් කළ පරිදි කෝප්‍රල්වරයා 20 වෙනිදා රෑ එළිවන තුරු යුද්ධයෙන් නටඹුන් වූ නිවෙසක සැඟව සිටියේය. උදෑසන ඔහු එළි බසින්නේ බස් රථ මාර්ගයේ ගමන් කරන හඬ ඇසීමෙනි.
මාර්ගයේ ගමන් කළ මගී බස් රථයකට ගොඩවන ඔහු එම බස් රථයේ ගමන අවසන් වන තුරුම ගමන් ගත්තේය. එතැනින් තවත් බස් රථයකට ගොඩයූ ඔහු යන්නේ කොහේදැයි නොදැනය. එම බස් රථයේ සිටි තරුණයන් දෙදෙනෙක් වෙත යන ඔහු ගූගල් පරිවර්තනය ඔස්සේ එම තරුණයන් දෙදෙනා සමඟ අදහස් හුවමාරු කරගනිමින් තමන්ට රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට යාමට අවශ්‍ය යැයි කීවේය. ඒ වන විට ඔහු රැඳී සිටියේ රුසියාව විසින් අල්ලාගත් යුක්රේන් භූමියේ බැවින් රුසියාවේ මොස්කව් වෙත ගමන් කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. තරුණයින් දෙදෙනා කෝප්‍රල්වරයාට උදව් කිරීමට එහිදී ඉදිරිපත් වන්නේ බස් රථයේ ගමනාන්තයෙන් ඔහු බස්සවා කුලී රථයක කන්වා මොස්කව් යන බස් නැවතුම් පොළ වෙත ඔහුට ගමන් කිරීමට පහසුකම් සපයමිනි.
ඒ අතරතුර කෝප්‍රල්වරයා එම තරුණයන්ගේ ජංගම දුරකතන මගින් ඩේඩා හුවමාරුවක් කරගනිමින් සිය ජංගම දුරකතනයෙන් මෙරටට ඇමතුමක් ගන්නේ සිය සහෝදරයාටය. ඔහු දන්නා කියන පුද්ගලයෙක් මගින් රුසියාවේ පුද්ගලයකු හරහා රූබල් 14,000ක් සිය බැංකු ගිණුමට ඔහු බැර කරවා ගත්තේය. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 50,000කට ආසන්න වටිනාකමකි. කෝප්‍රල්වරයාගේ බැංකු කාඩ්පත තිබුණේ ජංගම දුරකතනයේ කවරය ඇතුළේය. එබැවින් ඔහුට කුලී රථයෙන් බස් නැවතුම්පොළ වෙත ගමන් කරන අතරතුර බැංකුවකින් මුදල් ලබාගෙන කුලී රථයේ ගාස්තු ගෙවීමට හැකියාවක් ලැබුණේය. මොස්කව් බලා යන එම බස් නැවතුම්පොළ බස් නැවතුම් පොළක් යැයි කීවාට ගුවන් තොටුපොළක් බඳුය. එහි සිට මොස්කව් බලා යාමේ බස් රථ ගාස්තුව රූබල් 3000කි. මුදල් ගෙවා ටිකට්පතක් ලබා ගත්ත ද ඔහුට බස් රථයකට ගොඩවීමට අවස්ථාවක් නොලැබෙන්නේ විදෙස් ගමන් බලපත්‍රය හෝ අනන්‍යතා සහතිකයක් නොවූ බැවිනි.
“ මම ශ්‍රී ලංකිකයෙක්. මම අනාථයෙක්. ඔයාල මට උදව් කරන්න අපේ රටේ තානාපති කාර්යාලයට යන්න“ යැයි ඔහු එතැන සිටි නිලධාරීන්ට කීවත් කිසිදු සහනයක් නම් ලැබුණේ නැත. මෙහිදී ඔහුට උදව් කරන්නට ඉදිරිපත් වන්නේ එම බස් නැවතුම් පොළේ සිටි ටයිම් කීපර්වරයෙකි. ඔහුගේ උදව්වෙන් එරට රතු කුරුස සංවිධානය හා සම්බන්ධ වන කෝප්‍රල්වරයා තමාට සිදුවී ඇති කරදරය ගැන රතු කුරුස නිලධාරීන් හමුවේ කිසිවක් නොසඟවා කීවේය.. එහි ප්‍රතිඵලයක් ලෙස රතු කුරසයේ නිලධාරියෙක් පැමිණ ඔහුව රැගෙන යන්නේ ඔවුන්ගේ කාර්යාලයක් වෙතය. අනතුරුව ඔහුට මොස්කව් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ වන්නට අවස්ථාවක් උදා වන්නේය.
එහිදී ඔහු හා සම්බන්ධ වන්නේ අමිල නැමැති නිලධාරියාය. රතු කුරුස නිලධාරීීන් හා සම්බන්ධ වෙමින් කෝප්‍රල්වරයාව නිරුපද්‍රිතව මොස්කව් හී පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත රැගෙන ඒමේ මෙහෙයුම ආරම්භ වන්නේ එතැන් සිටය. කෝප්‍රල්වරයාව මොස්කව් ගෙන්වා ගැනීමට අවශ්‍ය ලියවිලි පවා තානාපති කාර්යාලයෙන් රතු කුරුස කාර්යාලයට එවන අතර ඒ ලිපි ලේඛන පෙන්නුව ද බස් රථයට කෝප්‍රල්වරයාව ගොඩ කිරීීම එතරම් පහසු කටයුත්තක් වී නැත. එබැවින් එරට පොලිසියට සිදුව ඇත්තේ පොලිසියේ වාහනයකින් කෝප්‍රල්වරයාව දේශ සීමා පැන්නවීමටය. ඒ මාර්තු 31 වෙනිදා උදේ පාන්දර 3.30ට පමණය. එහිදීත් ඔහුව දේශසීමා ආරක්ෂකයන් රඳවා ගෙන ප්‍රශ්න කරන්නට වූයේ අනන්‍යතාව හඳුදුනා ගැනීමටය. “මම අනාතයෙක්, යාචකයෙක්“ යැයි කියමින් කෝප්‍රල්වරයා රඟපෑමක නිරත වන්නට වූයේ ඒ හැරුණු කොට වෙනත් විකල්පයක් සිහියට නොවූ බැවිනි. “ මගේ බෑග් නැති වුණා. පාස්පෝට් තිබුුණේ බෑග් එකේ. මම යන්නේ මගේ රටේ තානාපති කාර්යාලයටයි“ යැයි ද ඔහු කියන්නට වූයේ තමා අත වූ තානාපති කාර්යාලයේ ලිපි ලේඛන ද පෙන්වමිනි.
තානාපති කාර්යාලයේ අමිල නැමැති නිලධාරියා මෙම අවස්ථාවේදී ද ලොකු කැප කිරීමක් කරමින් පැය තුනකට පසු කෝප්‍රල්වරයාව එතැනින් නිදහස් කර ගත්තේය. දේශ සීමා මුර කපොල්ලෙන් බස් රථයකට ගොඩවූ කෝප්‍රල් කෙළින්ම එන්නේ මොස්කව් හි ප්‍රධාන බස් නැවතුම්පොළ වෙතය. ඒ එන විටත් ඔහුව පිළිගන්නට තානාපති කාර්යාලයේ සේවයේ නිරත රුසියානු තරුණියක් මෝටර් රථයකින් එහි පැමිණ සිටියාය. ඇය ඔහුව රැගෙන යන්නේ තානාපති කාර්යාලයටය. ඒ ගෙන ගොස් ඔහුව අප්‍රෙල් 01 වෙනිදා නිරුපද්‍රිතව මෙරටට එවීමට කටයුතු කරනු ලබන්නේ රුසියානු හමුදාවේ සිවිල් සේවයට යැයි කියා කුලී හේවායන් ලෙස මෙරට හමුදාවේ සාමාජිකයන් රුසියානු හමුදාවට රැගෙන යන දැවැන්ත ජාවාරමක තතු රටට හෙළි කිරීමට අවස්ථාව උදාකර දෙමිනි.
කෝප්‍රල්වරයා මෙරටට පැමිණ මේ දේවල් බලධාරීන් හමුවේ හෙළි කරන විටත් රුසියානු හමුදාවේ සිටි අපේ සිව් දෙනෙක්ම අවස්ථා දෙකකදී එල්ල වූ යුක්රේන් ඩ්‍රෝන ප්‍රහාරවලින් දිවි අහිමි වී හමාරය. අඩුම තරමින් ඒ අයගේ සිරුරුවත් දැක ගන්නට අදටත් නැත. ඒ පවුල්වල උදවිය පවා මේ ගැන දන්නේ නැත. රුසියානු හමුදා සේවයේ සිටින ශ්‍රී ලංකිකයන් ගැන තොරතුරු රුසියාවේ මෙරට තානාපති කාර්යාලයෙන් රුසියානු බලධාරීන්ගෙන් විමසා ඇත්තේ ද මෙවන් වාතාරණයක් හමුවේදී වීම විශේෂිතය.
(ගයාන් කුමාර වීරසිංහ සිළුමිණ පුවත්පත වෙත සැපයූ ලිපියක් ඇසුරිනි)