දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා පනතක් ගැසට් කර ඇති බවත්, එම පනත හරහා ආණ්ඩුව කිරීමට උත්සාහ දරන්නේ රටේ ස්ත්‍රී දූෂණ සහ ළමා අපචාර ප්‍රචලිත කිරීම බවත් ජාතික සංවිධාන එකමුතුව චෝදනා නගනවා.
1995 වසරේ දී සිදු කළ දණ්ඩනීති සංග්‍රහයේ සංශෝධනයට අනුව මෙරට අවුරුදු 16 ට අඩු දැරිවියක් ස්ව කැමැත්තෙන් අපයෝජනයට ලක් වුවද එය ස්ත්‍රී දූෂණය යටතට වැටෙන බරපතළ වරදක් බවත්, අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ එම වයස් සීමව මෙම පනත මගින් අවුරුදු 14 දක්වා අඩුකර ඇති බවත් ජාතික සංවිධාන එකමුතුව විසින් පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවේ දී දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අනාවරණය කළා.
මෙහිදී වරදකරුවා බවට පත්වන පුරුෂයාගේ වයස් සීමාව අවුරුදු 18 සිට 22 දක්වා ඉහළ දමා ඇති බවත්, හදිසි අවශ්‍යතාවයක් ලෙස සලකා මෙම පනත ගෙන එන්නේ මෙය ජනතාවගේ දැවෙන ප්‍රශ්නයක් නිසාදැයි ඔහු ප්‍රශ්න කරයි.
ඉස්ලාම් අන්තවාදී බලවේගවල උවමනාවට මුස්ලිම් දේශපාලන පක්ෂ විසින් දැරිවියන්ගේ විවාහ වන වයස් සීමාව අවුරුදු 14ක් දක්වා අඩුකිරීමට මීට පෙර එමගින් උත්සාහ දැරූ බව ඔහු පවසනවා.
මෙය හුදෙකලාව සිදුවන සිදුවීමක් නොවන බව හා මීට පෙර මෙරට අයුර්වේද පනත සංශෝධනය කර එක් පැත්තකින් කංසා නීතිගත කිරීමට ඉඩකඩ සලස්වා අනෙක් පැත්තෙන් දැරිවියන්ට සම්බාහන ආයතනවල ආයුර්වේද වෛද්‍යවරයකුගේ අධීක්ෂණයකින් තොරව ශිල්පිනයක් ලෙස වැඩකිරීමට ඉඩකල සැලැස්වීම මෙන්ම ඒ සඳහා වයස්භේදයක් නොපැනවීම මෙම ලිංගික සේවා වෙළඳපොළක් මෙරට ගොඩනැගීමේ ක්‍රියාවලියේ එක් පියවරක් බවත් ඔහු පෙන්වා දෙනවා.
මෙරට දරුවන් සිටින කිසිඳු දෙමාපියෙකුට මෙය ඉවසා සිටිය නොහැකි බව ද, ආණ්ඩුව මේ උත්සාහ දරන්නේ ආර්ථික අර්බුදයෙන් ගැලවීමට ලිංගික වෙළෙඳපොළක් මෙරට ප්‍රචලිත කිරීමට දැයි ඔහු එහිදී ප්‍රශ්න කළා.