මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය වන ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය නිවාඩු ලබාගත් අවස්ථාවේදී වැඩ බැලීමට පත් කළ මහේස්ත්‍රාත්වරිය කොළඹ ආසිරි රෝහලට හා එහි අධ්‍යක්ෂමණ්ඩලයට වාසි සහගතවන අන්දමින් කටයුතු කරමින් වෘත්තීය විශමාචාරයක් කර ඇද්ද? යන්න සෙවීමට අධිකරණ සේවා කොමිසම විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතට අනුව ඖෂධ සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා ඖෂධ 11ක් අලෙවි කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කරමින් කොළඹ ආසිරි රෝහල හා එහි අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව ගොනුකර තිබූ නඩුවකදී වැඩබලන මහේස්ත්‍රාත්වරිය එක් පාර්ශවයකට අගතියක් වන ආකාරයට කටයුතු කර ඇති බව පවසමින් අගතියට පත් පාර්ශවය වන සනත් අතුකෝරාල නැමැත්තකු සිදුකළ පැමිණිල්ලකට අනුව අධිකරණ සේවා කොමිසම මේ විමර්ශනය ආරම්භ කර තිබේ.
එහිදී වැඩබලන මහේස්ත්‍රාත්වරිය ලෙස කටයුතු කළ හිමාලි ඒකනායක මහත්මිය හා අදාළ පෞද්ගලික රෝහල වෙනුවෙන් මෝසම ඉදිරිපත් කළ නීතීඥ ධනුෂ්ක වීරසිංහ මහතා එකම නීතීඥ කණ්ඩායමක සාමාජිකයන් බවද පැමිණිලිකරු විසින් අධිකරණ සේවා කොමිසමට දුන් පැමිණිල්ලේ සටහන්ව ඇත.
මලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවූ නඩුවේ විත්තිකරුවන් ලෙස ආසිරි හොස්පිට්ල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී ආයතනය, එහි අධ්‍යක්ෂවරුන් වන විශාල් බාලි, අශෝක කාරියවසම් පතිරගේ, අන්කුර් නාන්ද් තදානි, කරුණාමුනි මංජුල ප්‍රසන්න කරුණාරත්න, සුදර්ශන් අහංගම, ගාර්දියර් ලොකුගේ හැරීස් ප්‍රේමරත්න, සිවකුමාර් සෙල්ලයියා, හරේෂ් කුමාර් කයිමාල්, අජිත් කරුණාරත්න හා බී.ඩී. සදතිසරු (සහකාර කළමනාකාරීනී බිල්පත්) ඇතුළු පිරිසක් නම්කර සිටියහ.
මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩුවේදී වැඩබලන මහේස්ත්‍රාත්වරිය විසින් ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතට අනුව ඖෂධ සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා ඖෂධ 11ක් අලෙවි කිරීම සම්බන්ධයෙන් නගා තිබූ චෝදනා සියල්ලටම වරද පිළිගත් ආසිරි මෙඩිකල් රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලයට නියමකරනු ලැබුවේ රුපියල් 25,000/- ක දඩ මුදලකි.
පසුව, ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් ආසිරි හොස්පිට්ල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී ආයතනය ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය නැවැත අධිකරණය හමුවට කැඳවූ අතර ඊට එරෙහිව එම රෝහල හා අධ්‍යක්ෂ මණ්ඩලය මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරියව වගඋත්තරකාරියක් කරමින් අභිවයාචනාධිකරණයේ නඩුවක් ගොනුකළේය.
-srilankamirror