කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක විසින් රට හැර ගොස් ප්‍රංශයට පැමිණ තමන්ට මරණීය තර්ජන පැවතීම සම්බන්ධව ඉදිරිපත් කර ඇති සිදුවීම් සැක සහිත බවත්, ඔහු ඉදිරිපත් කළ කරුණු ව්‍යාජ ද නැද්ද යන්න සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසයි.
පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක ප්‍රංශයේ සිට මාධ්‍ය වෙත කීවේ මෙවැනි කතාවකි.
2023 අවුරුද්දේ ලංකා පොලීසියේම වැඩිම මනුෂ්‍ය ඝාතනවලට අදාලව සැකකරුවන් අත් අඩංගුවට ගැනීම,
ගිනි අවි අත් අඩංගුවට ගැනිම,
අත් බෝම්බ අත්අඩංගුවට ගැනීම,
වැඩිම DO ප්‍රමාණයක් ලබාගත් නිළධාරියා වීම නිසා දුමින්ද ජයතිලකට එල්ල වූ මරණ තර්ජන සැක සහිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියන්නේය.
ඔහු පෙන්වා දෙන්නේ මෙම හඬපටවල තර්ජනය කරන පුද්ගලයා ඔහු විසින් හඳුන්වන පාතාල අපරාධකරුවාම ද යන්න සැකයක් ඇති බවය. අනෙක ඔහු විසින් ඉදිරිපත් කරන හඬ පට ඔහුට ලැබෙන්නේත් විදේශගත වීමට නිවාඩු අනුමත කරගත් පසු බවය. මින් එක් හඬපටයක් ව්‍යාජ එකක් බව දැනටමත් තහවුරු වී ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක පවසා තිබුණේ පාතාල කල්ලි සාමාජිකයන්ගෙන් තමාට සහ සිය පවුලට එල්ල වූ මරණ තර්ජන හමුවේ තමන් විදෙස්ගතවූ බවය.
පොලිස්කි මාධය ප්යරකාශක කියන කතාව මෙසේය.
“ඒ නිලධාරියා පෙබරවාරි මස 14 වනදා සිට මාර්තු 06 දක්වා විදේශීය නිවාඩු ලබාගෙන තිබෙනවා. විදේශගත වුණාට පස්සේ තමයි ඔහු මෙම තොරතුරු සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබෙන්නේ. මෙම නිලධාරියා කොළඹ අපරාධ කොට්ඨාසය තුළ සේවය කරන කාලය තුළ මෙවැනි තත්ත්වයක් පිළිබඳව අවධාරණය කරමින් දැනුම්දීමක් කරලා නැහැ. ඔහුට මරණ තර්ජනයක් තිබෙන බවට දැනුම්දීලා නැහැ.”
“යම්කිසි අවස්ථාවක යම්කිසි පුද්ගලයෙකු තර්ජනයක් කර තිබෙන බවට තමයි ඔහු වාර්තා කර තිබෙන්නේ… මීට පෙර. කෙසේවෙතත් මෙම තර්ජනය කිරීමේ හඬපට සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී… මෙම නිලධාරියා විදේශගතවීමට නිවාඩු අයදුම් පත්‍රය ඉදිරිපත් කළාට පසුව ලැබුණු හඬපට බවටත් හඳුනගෙන තිබෙනවා.”
“ඒ වගේම මෙම හඬපටවල යම් ආකාරයකට කතා කරන පුද්ගලයන් සම්බන්ධයෙන් සැක මතුවෙලා තිබෙනවා. නියම ආකාරයෙන්ම ඒ පුද්ගලයන්මද කතා කරන්නේ කියන දේ පිළිබඳව.”
“ඒ නිසා මේ සියලු කාරණා සම්බන්ධයෙන් අපි පරීක්ෂණයක් කරනවා. මෙය සත්‍ය ලෙසම ඇති වුණු තර්ජනයක් ද? එසේනම් ඇයි එම නිලධාරියා උසස් නිලධාරීන්ට ඒ බව දැනුම් නොදුන්නේ යන්න පිළිබඳව.”
“කෙසේවෙතත් මෙතෙක් අපි පූර්ව නිගමනයකට එළඹිලා නැහැ මෙය නිර්මාණාත්මක දෙයක් ද කියන කාරණය සම්බන්ධයෙන්.”
“මේ සිද්ධිය ගැන සැකයක් තිබෙනවා. මෙය නිර්මාණාත්මක දෙයක් ද? සැලසුම් සහගත දෙයක් ද? කියන දේ සම්බන්ධයෙන්”
“එක දුරකථන ඇමතුමක් අපි හඳුන ගත්තා. ඒ සංවිධානාත්මක අපරාධකරුවෙක් ලබාදුන් ඇමතුමක් නෙමෙයි. ඒ සාමාන්‍ය විමර්ශනයකදී සැකකරුවෙක් ලබාදුන් ඇමතුමක්.”
“නිවාඩු අනුමත කළ කාලසීමාව තුළ එම නිලධාරියා නැවත ලංකාවට නොපැමිණිය හොත් ඔහු සේවය අතහැර ගිය නිලධාරියෙක් ලෙස සලකන්න වෙනවා.”
-lankasara