තෛපොංගල් සමයේදීවත් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ අපේක්ෂාවන් මුදුන්පත් නොවුනහොත් දෙමළ දේශපාලන පක්ෂවලට කිසිවෙකු නොසිතන ආකාරයේ තීන්දු තීරණ වලට එළඹීමට සිදුවන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්ධන් මන්ත්‍රීවරයා තෛපොංගල් දිනය නිමිත්තෙන් ප්‍රකාශයක් කරමින් අද (15) පැවසීය.
එහිදී ඔහු අදහස් දක්වමින් මෙසේ කියා සිටියේය.
“දෙමළ කතා කරන ජනතාවට ඔවුන්ගේ නිජබිම වන උතුරු–නැගෙනහිර ප්‍රදේශයේ නිදහසේ ජීවත් විය හැකි සාධාරණ සහ ස්ථිර දේශපාලන විසඳුමක් සෙවිය යුතුයි. වෙනත් වචන වලින් කිවහොත්, දෙමළ ජනයාට ඔවුන්ගේ ඉරණම තීරණය කළ හැකි තත්වයක් උතුරු–නැගෙනහිර ඇති විය යුතුයි.”
“එබැවින් මෙවර තෛපොංගල් උත්සවය දෙමළ ජනතාවට ඉතා වැදගත් පොංගල් උත්සවයක් වෙනවා. මේ අවුරුද්දෙත් ශ්‍රී ලංකා රජය අපිව රවට්ටනවා නම් ප්‍රතිඵල වෙනස් වෙන්න පුළුවන්.” යනුවෙනි.
ජනාධිපතිවරයා හා රජය පොරොන්දු වූ පරිදි දෙමළ ජනයාට ඔවුන්ගේ පළාත් තුළ ස්වෛරීභාවයක් ස්ථාපිත විය යුතු බව කී දෙමළ ජාතික සන්ධානයේ නායකයා මේ රටේ බහුතර සිංහල ජනතාව සහ සුළුතර දෙමළ කතා කරන ජනතාව අතර ව්‍යවස්ථාපිත සංහිඳියාවක් ඇති වී නැති බවද කියා සිටියේය.
”මේ සම්බන්ධයෙන් පසුගිය කාලයේ දෙස් විදෙස් සාකච්ඡා රැසක් පැවැත්වුණා. එම සාකච්ඡාවලට දෙමළ පාර්ශ්වය සහයෝගය ලබාදුන්නා. නමුත් ශ්‍රී ලංකාවේ පාලක ආණ්ඩු විසඳුමක් ලබාදීමට ඉදිරිපත් වූයේ නැහැ.මේ තත්ත්වය තවදුරටත් පවතින්න දෙන්න බැහැ. “
“දෙමළ කතා කරන ජනතාවගේ අපේක්ෂාව වන්නේ භූමියේ අභ්‍යන්තර ස්වයං නිර්ණ අයිතිය මත තම අභිලාෂයන් ඉටුකර ගැනීමට හැකිවන පරිදි උත්තරීතර බලය බෙදාගැනීමේ පදනම මත අපේ දෙමළ නිජභූමිය වන උතුරු–නැගෙනහිර නිදහසේ ජීවත්වීමට විසඳුමක් සෙවිය යුතුය යන්නයි. ඔවුන් ඓතිහාසිකව ජීවත් වූ තැනට සාධාරණ විසඳුමක් නොදී මේ අවුරුද්ද වංචා කළොත් වෙන ප්‍රතිවිපාක බොහොම වෙනස් ආකාරයක ඒවා විය හැකියි”
දිනසේන රතුගමගේ