gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පියයුරු පෙරහැර, ගණිකා වෘත්තිය ඉල්ලා අස්කරගන්න තෙක් ජවිපෙ මූලස්ථානය වටලා විරෝධතා - නිමල් ලාන්සා

විශාල මන්ත්‍රී සංඛ්‍යාවක්, විශාල පක්ෂ සංඛ්‍යාවක් එකතු කර විශාලතම සන්ධානය ඉදිරියේදී ගොඩ නගන බව නව සන්ධානයේ නිර්මාතෘ නිමල් ලාන්සා මහතා පවසයි.

නව සන්ධානය ‍‍ගොඩනැගීම වෙනුවෙන් ඊයේ(27) ජා ඇල නගරයේ පැවති පළමු ජනරැළිය අමතමින් නිමල් ලාන්සා මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්සා මහතා,

“ඉතිහාසයේ පළමු වතාවට ලාංජනයක් නැතිව, පක්ෂයක් නැතිව වැඩසටහනක් ජයග්‍රහණය කිරීම වෙනුවෙන් විශාල ජනතාවක් ඒකරාශී වෙලා තියෙනවා. නායකයෙක්, නායකත්ව මණ්ඩලයක් නැතිව අපගේ ආරාධනය පිළි අරගෙන පැමිණීම ගැන අපගේ ස්තූතිය ජනතාවට පිරිනමනවා. අද සමහර දේශපාලඥයෝ කටින් බතල හිටවනවා. පපුව පලලා දෙන්න කතා කරන්නේ. හැබැයි පපුව දෙන්නෙත් නැහැ. සතපහක් දෙන්නෙත් නැහැ. කල්පනා කරලා බලන්න මේ අය පසුගිය කාලය තුළ ව්‍යාපාරිකයෝ, දේශපාලඥයෝ විදියට ජීවත්වුනා. ඒ කිසිම කෙනෙක් ඔබලට උදව් කරලා නැහැ. ඇහුම්කන් දීලා නැහැ. කොරෝනා අවස්ථාවේ, පාස්කු ප්‍රහාරය සිදුවූ අවස්ථාවේ උදව් කරලා නැහැ. මුකුත් කරලා නැහැ. හැබැයි වේදීකාවේ පපුව පළලා දෙන්න හදනවා. ඇහුම් කන් දුන්නේ, ප්‍රශ්න විසදුවේ, උදව් කළේ කවුද කියලා ජනතාව තේරුම් ගන්න ඕනේ.

සන්ධානය එකතුවෙන්නේ බොරු පොරොන්දු දෙන්න නෙමේ. ආර්ථික වැඩපිළිවෙල ශක්තිමත් කරලා රට ගොඩගන්න.

මෙතෙක් ආපු දේශපාලන ගමන පසුගිය අවුරුදු දෙක තුළ ආපස්සට ගියා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත්වෙලා ටික කාලයකින් අවුරුදු 30 ක දේශපාලනය ආපස්සට ගියා. ගෝඨාභය රාජපක්ෂ ගේද්දී මම කිව්වා දේශපාලනය දන්නේ නැති, තේරෙන්නේ නැති මෙතුමව ගේන්න එපා කියලා. තරහට නෙමේ කිව්වේ. රටේ උගත්තු, වියත්තු, ව්‍යාපාරිකයෝ එතුමව ගේනාවා. ගෙනල්ලා කිව්වේ පාර්ලිමේන්තුවේ නැති, දේශපාලනය නොකරන කෙනෙක් ගේන්න ඕනේ කියලා. ගෙනල්ලා මොකද වූනේ. එතුමා වටේ සමහර වියත්තු, උගත්තු ටික එකතු වෙලා පළවෙනි වැඩේ හැටියට බදු අඩුකරන්න උපදෙස් දුන්නා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවංකව කලත් මේ උපදෙස් දුන්නේ නාලක ගොඩහේවා. දැන් සජිත්ට උපදෙස් දෙනවා. අපේ අවුරුදු 30 ක දේශපාලනය නැති කළා. අපි මිනිස්සුන්ට උදව් කරලා, ඇහුම් කන් දීලා, වැඩ කරලා ගොඩ නගාගත්ත දේශපාලනය නැති කළේ නාලක ගොඩහේවා වගේ සමහර උගත්තු.

ඊට පස්සේ GMO එකේ සභාපති පාදෙනිය මහත්තයා කීවා කාබනික පොහොර ගේන්න ඔබතුමාට නොබෙල් ත්‍යාගය ලැබෙනවා කියලා ලණුවක් දුනනා. අපි 156 දෙනෙක් අත්සන් කරලා කිව්වා කාබනික පොහොර වැඩේ එක පාර කරන්නේ නැතිව ක්‍රමක් ක්‍රමයෙන් කරන්න කියලා කීවට ඇහැව්වේ නැහැ. රටේ නිෂ්පාදනය කඩාගෙන වැටුනා. ආර්ථිකයට ලැබෙන මුදල් ටික නැතිව ගියා. ඩොලර් ටික නැතිව ගියා. පෙට්‍රල්, විදුලිය, බෙහෙත් ටික නැතිව ගියා. මිනිස්සු ටික පාරට ආවා. මේ තීන්දු ගනිද්දි අපි කිව්වා මේ තීරණ ගන්න එපා කියලා. දේශපාලඥයා කියපු දේ ඇහැව්වේ නැහැ. නාලක ගොඩහේවලා කිව්වා දේශපාලඥයා කියන දේ අහන්න එපා. අපි කියන දේ අහන්න ඔබ තුමාට වරදින්නේ නැහැ කියලා. රටටත්, අපි සියලු දෙනාටත් වැරදුනා.


ඒ නිසා අපි මේ සන්ධානය පටන් ගත්තේ පරිනත, උගත් දේශපාලඥයින් සම්බන්ධ කරගෙන. මේ රට ගොඩගන්න පුලුවන් අය සම්බන්ධ කරගෙන. මේ වැඩසටහන අපි පටන් ගන්නේ ජනතාවට සත්‍ය කියන්න. ජනතාවට යථාර්ථය කියලා දෙන්න. ආදායම වියදම කියන්නේ මොකක්ද ? ආදායම වැඩි කරලා, වියදම අඩු කරන ක්‍රමය කියන්න ඕනේ. දේශපාලන වේදීකාවල මේ කිසි දෙයක් කතා කරන්නේ නැහැ. විවිධ බොරු කියනවා. මේ කිසි දෙයක් කරලා රට හදන්න බැහැ. ආදායම වැඩි කරලා, වියදම අඩු කරන්නම ඕනේ. මේ දේ තේරුම් ගන්න ඕනේ. ජනතාව ජන්දය දෙන්න පුලුවන්, නොදෙන්න පුලුවන්. මේ ඇත්ත තේරුම් කරන්න ඕනේ. නව සන්ධානය තීරණය කරලා තියෙනවා ජනතාවට සත්‍ය, යථාර්ථය තේරුම් කරලා දෙන්න.


අද මේ සන්ධානයට නායකයෙක්, පක්ෂයක්, ලාංජනයක් නැතිවුනාට පාර්ලිමේන්තුව තුළ විශාලතම මන්ත්‍රී සංඛ්‍යාවක්, විශාල පක්ෂ සංඛ්‍යාවක් එකතු කරලා විශාලතම සන්ධානය නිර්මාණය කරනවා. අපි සන්ධානය නිර්මාණය කරද්දී පෙන්නුවා මේ රටේ ගොඩක් පක්ෂ තියෙනවා බෝඩ් කෑලී විතරයි. නායකයෝ ඉන්නවා කොළඹ ප්‍රවෘත්ති සාකච්ජා විතරයි. මිනිස්සු නැහැ. අද අපි පෙන්නුවා පක්ෂ නැහැ, පාට නැහැ, ජාතී නැහැ, මුකුත් නැතිවුනාට ජනතාව ලක්ෂ සංඛ්‍යාත ගණනාවක් මේකට ගොනු වෙලා ඉන්නවා කියලා. ඒ නිසා අපි මේ රටේ ප්‍රගතිශීලි ජනතාවට කියනවා සත්‍ය, ඇත්ත, යථාර්ථය කියන අපේ නව සන්ධානයත් එකක් එකතු වෙන්න කියලා. බොරු කියලා බලයට ආවත් ඉන්න පුලුවන් මාස තුනයි.


අනුර කුමාර මහත්තයා ප්‍රමුඛ ජනතා විමක්ති පෙරමුණේ ආර්ථික වැඩපිළිවෙළ. ගාල්ල ඉදන් කොළඹට පියයුරු පෙන්වමින් කාන්තාවන් ආවම සංචාරකයෝ වැඩි වෙනවලු. මේ ජනතා විමුක්ති පෙරමුණේ වැඩපිළිවෙලද ?. එහෙම සංචාරකයෝ ගේන්න පුලුවන්ද ? ආගමට, දහමට, සංස්කෘතියට ලැදි කාන්තාවට මේ දේ කියන්න එපා. ඒක ඒ අයගේ කාන්තාවන්ට කියන්න කියලා කියනවා. අනිත් පැත්තෙන් ගණිකා වෘත්තිය නීති ගත කරනවලු. අපි කියනවා ගණිකා වෘත්තිය නීතිගත කරන එකයි, කාන්තාවන් පියයුරු පෙන්වමින් ඇවිදිනවා කියපු එකයි ඉල්ලා අස්කරගන්න කියලා. එහෙම නැති වුනොත් අනුර කුමාරගේ කටින් ඒක ඉල්ලා අස්කර ගන්නා තුරු පැලවත්ත කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩ උද්ඝෝෂණ ව්‍යාපාරයක් කරනවා. කාන්තාවන් සමග ගිහින් පැලවත්ත කාර්යාලය වටලනවා. අපි මේකට අභියෝග කරන්න ඕනේ. අපේ හාමුදුරුවනේ පිරිත් නූල් බැන්දම විසි කරනවා. ආගම දහම එපා කියලා කියනවා. මේ අය තමා අරගල වල හිටියේ. සංස්කෘතිය විනාශ කරන්න එන ජනතා විමුක්ති පෙරමුණ මේ රටින් තුරන් කරන්න ඕනේ.


ජනාධිපතිතුමා මාස 14 ට ජාත්‍යන්තරයට 14 වතාවක් ගියා කියලා අනුර කුමාර මහතා ප්‍රකාශ කරනවා. මේ රට ගොඩගන්න ජාත්‍යන්තරයේ සහය ඉල්ලගන්න ජාත්‍යන්තරයට යන්න ඕන කෙනා යන්න ඕනේ. අනුර කුමාරට ජාත්‍යන්තරයට ගිහින් අනිත් ජනාධිපතිවරු වගේ වැඩ කරන්න බැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආවම බයේ හැංගුනා. මෙහෙ උගුර කඩාගෙන කෑ ගහනවා ආවොත් දෙන්නේ මෙහෙමයි කියලා. හැබැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අය පැලවත්ත කාර්යාලයට ගියාම අනුර කුමාර හැංගිලා. තරුණ අයට විශේෂයෙන් කියන්න ඕනේ වැටිලා තියෙන රට ගොඩගන්න ලෝකය දකින, ලෝකය එක්ක කටයුතු කරන නායකයෙක් ඕනේ. ලෝකයේ නව තාක්ෂණය එක්ක යන නායකයෙක් ඕනේ. එහෙම නැතිව දූපත් මානසිකත්වයෙන් ඉන්න, ලිං මැඩි මානසිකත්වයෙන් ක්‍රියාකරන, අද බාල, ගොලු චරිත අපිට ඕනේ නැහැ. අනුර කුමාර මහත්තයා රැස්වීම කරපු භූමීය තමා මේ. ඊට වඩා සෙනගක් අද මෙතන ඉන්නවා. අනුර කුමාර ජනාධිපතිවෙලත් ඉවරයි. අපි දැන් තමා වැඩසටහන පටන් ගත්තේ. දිස්ත්‍රික්ක 22 ආසන 160 මේ විදියටම අපේ වැඩසටහන අරන් යනවා. ජා ඇල ආසනයේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 15 ක් නව සන්ධානයට අද එකතු වෙනවා. මුළු ලංකාවෙම පොහොට්ටුවේ ඉන්න මන්ත්‍රීවරුන්, වෘත්තීය සමිති, අනෙකුත් පක්ෂ වල සිටින වෘත්තිය සමිති අපට එකතු වෙනවා. ලංකාවෙම මේ විදියට සංවිධානය කරලා තියෙන්නේ. මේක එක පෙරහුරුවක් විතරයි. අපි සියලු පක්ෂ, සියලු මන්ත්‍රීවරුන් එක්ක කතා කරලා යට වැඩපිළිවෙළ හදලා ඉවරයි. ඒ නිසා බය නැතිව එකතු වෙන්න, බොරු කාරයින්ට, කයිවාරුකාරයින්ට මේ රට හදන්න බැහැ.


ජවිපෙ මන්ත්‍රීවරුන් වන අන්ජාන් උම්මා, විජිත් ⁣හේරත් ගම්පහ දිස්ත්‍රික්කයේ හිටියා. මොනවත් කරලා නැහැ. නාලක ⁣ගොඩහේවා ගම්පහින් ජන්ද අරගෙන පැනලා ගියා. මිනිස්සු හිතුවා නාලක ⁣ගොඩහේවා ගම්පහ දිව්‍යලෝකයක් කරයි කියලා. ගෝඨාභය රාජපක්ෂවත් කාලා, අපිවත් විනාශ කරලා, රටත් විනාශ කරලා, ගම්පහ දිස්ත්‍රික්කය විනාශ කරලා, නැව ගෙනල්ලා මුහුදත් විනාශ කරලා, පරිසරයත් විනාශ කරලා, රටත් බංකොලොත් කරලා සජිත් මහත්තයා ගාවට පැනලා. සජිත් මහත්තයා කීවනේ රට වැට්ටෙව්වේ රාජපක්ෂලා කියලා. රට වට්ටපු රාජපක්ෂලාගේ කැබිනෙට්ටුවේ අන්තිම දවසෙත් හිටියා. ඔය කියන අය ජනතාවට උදව් කරන්නෙ නැහැ. මහජන දිනයක් තියන්නේ නැහැ. ජනතා විමක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 39 ක් ආවා. විජිත හේරත්, අන්ජාන් උම්මා එක මහජන දිනයක් කළේ නැහැ. මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට ඇහුම් කන් දුන්නේ නැහැ.

පාස්කු ප්‍රහාරය ගැන ජනතා විමුක්ති පෙරමුණ ජා ඇල ඇවිල්ලා කතා කරලා තිබුනා. මේ ඉන්න ආණ්ඩුව වග කියන්න ඕනේ කියලා. පාස්කු ප්‍රහාරයට වගකියන්න ඕනේ ප්‍රහාරය එල්ල කරපු අය. ඒ අතරින් ⁣තුන්දෙනෙක් ජවිපෙ ජාතික ලැයිස්තුවේ ඉබ්‍රාහිම්ගේ පුත්තු. ඒ අය තමා ප්‍රධාන වගඋත්තරකරුවන්. ගම්පහ දිස්ත්‍රික්කයේ කතෝලික ජනතාව ජවිපෙට ජන්දයක් දෙනවා කියන්නේ මැරුණු කතෝලික ජනතාව පාවලා දීලා ජන්දයක් දෙනවා කියන එක. මෙ අය මැරුවේ කවුද ඉබ්‍රාහිම්ගේ පුත්තු. ඒ අය ජවිපෙ පූර්ණකාලීන සාමාජිකයෝ. එහෙමනම් ජනතා විමුක්ති පෙරමුණට කතෝලික ජන්දයක් යන්න බැහැ. අද සුද්දවන්තයෝ ව⁣⁣ගේ ඇවිල්ලා කතා කරනවා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නැහැ ව⁣ගේ වෙන අයට ඇගිල්ල දික් කරනවා. ජාතික ලැයිස්තුවෙන් දීලා, ඒ පුත්තු ජවිපෙට විශාල ලෙස උදව් කලා.


සුසිල් ප්‍රේම්ජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා දක්ෂ නීතිඥවරුන්, නලින් ප්‍රනාන්දු, මම ව්‍යාපාරිකයින්. ජවිපෙ අනුර කුමාර, විජිත හේරත්, සුනිල් හදුන්නෙත්ති, බිමල් රත්නායක රස්සාවකුත් නැහැ. ව්‍යාපාරයකුත් නැහැ. අපිට වඩා හොඳට ජීවත් වෙනවා. ඕක අපේ මිනිස්සුන්ට කියලා දුන්නනම් හොදයිනේ. රස්සාවක් නැතිව, ව්‍යාපාරයක් නැතිව ජීවත්වන ක්‍රමය. අනුර කුමාර සත පහක් මේ රටට බදු ගෙවලා නැහැ. රස්සාවක් දීලා වැටුපක් නොගෙවපු කෙනෙක්. අපි රස්සා කරලා, ව්‍යාපාර කරලා, රස්සා දීලා, බදු ගෙවලා, මිනිස්සුන්ට ඇහුම් කන් දීලා, සංවර්ධනයට දායකත්වය දුන්න අය. හැබැයි අපිට හොරු කියනවා මුකුත් නොකරපු අය. මේක සමහර අය විශ්වාස කරනවා.

අපිත් එක්ක මේ නව සන්ධානයට පක්ෂ 28 කට වැඩියෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 60 කට එහා අපි එක්ක සාකච්ජා කරනවා. අපිට පුලුවන් වෙනවා ලංකාවේ දැවැන්තම සන්ධානය හදලා, වැඩිම මන්ත්‍රීවරුන් පිරිසක් ඉන්න හැම ආසනයකම ජන ගංගාවක් එකතු කරලා ඊ ලග බලය නායකයකුට නොව නායකත්ව මණ්ඩලයකට ප්‍රජාතන්ත්‍රවාදීව ලබා දෙන්න. ගෝඨාභය රාජපක්ෂව ගේන්න කියලා සමාජ මාධ්‍යවල ලොකු රැල්ලක් ගේනාවා. අපි වැඩ කරන්න හිටියේ නැහැ. ජනතාවගේ ඉල්ලීම උඩ අපි පසු බැහැලැ ගෝඨාභය මහතාට වැඩකළා. අන්තිම ප්‍රතිඑලය වුනේ සමාජ මාධ්‍ය කට්ටිය අයින් වෙලා අපි 120 අහුවුනා. ඒ නිසා නැවත කෘතිමව මවන සමාජ මාධ්‍ය රැළි වලට අහුවෙලා, කයියනායකලට, විහිලුකාරයින්ට ජන්දය දෙන්න එපා කියන එක ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා යැයි” නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

– Media unit


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka