හම්බන්තොට වරාය ඉදිකිරීමේදී කඩා ඉවත් කරන ලද කළුගල් මෙට්‍රික් ටොන් මිලියනයක් මාලදිවයිනට යැවීම සඳහා කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇතැයි “අරුණ” පුවත්පත වාර්තා කර තිබේ. කළු ගල් තොගය ඉවත් කිරීම සහ අපනයනය කිරීම සඳහා එක් පුද්ගලයකුට පමණක් ලබාදී අදාළ කැබිනට් පත්‍රිකාව සකස් කර ඇතැය් ද මේ අතර වාර්තා වේ.
හම්බන්තොට වරායේ තිබෙන එම කළු ගල්වලින් නිසි ප්‍රයෝජනයක් නොගන්නේ නම් ඒවා මුහුදට දමන බවට වරාය පාලනාධිකාරිය විසින් දැනුම් දීම නිසා ඒවා මෙලෙස කඩිනමින් මාලදිවයිනට අපනයනය කිරීමට කටයුතු යොදා ඇති බවද වාර්තා වේ.
ඒ අනුව, අදාළ කළු ගල් තොගය ටෙන්ඩර් මගින් එක් පුද්ගලයකු ලබාගෙන ඇතැයි පරිසර අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසූ බවද එහි දැක්වේ.
එම පුද්ගලයා විසින් මෙම කළු ගල් වරාය ආශ්‍රිත පුද්ගලික ඉඩම් කීපයක ගොඩ ගසා තිබෙන බවද අනාවරණය වේ.
ශ්‍රී ලංකා මිරර් මේ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකදී අනාවරණය වූයේ අදාල කැබිනට් පත්‍රිකාව සකසා ඇත්තේ මෙරට ප්‍රකට ව්‍යාපාරිකයකු වන නන්දන ලොකුවිතාන මහතාට අයත් ආයතනයකට වාසිදායක වන අයුරින් බවයි.
මේ අතර, මේ සම්බන්ධයෙන් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති ආචාර්ය සංජේ පෙරේරා මහතා අරුණ පුවත්පත වෙත පවසා ඇත්තේ හම්බන්තොට වරායේ තිබෙන එම කළු ගල් තොගය පිටරට යැවීමට අදාළව මෙතෙක් කැබිනට් අනුමැතියක් ලැබී නොමැති බවය.
අපනයනය සඳහා කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසුව අදාළ කළු ගල් කොපමණ ප්‍රමාණයක් තිබේද, ඒවා අපනයනයට සුදුසුද, නැතිද යන්න භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් පරීක්ෂා කරන බව සභාපතිවරයා පැවසීය.
පරිසර අමාත්‍යවරයා ලෙස මේවන විට කටයුතු කරනු ලබන්නේ ප්‍රශ්නගත හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් වංචාව සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්ව සිටින කෙහෙළිය රඹුක්වැල්ල මහතාය.