ඉමියුනොග්ලොබියුලින් අපරාධයට සම්බන්ධ කෙහෙළිය ඇතුළු සෞඛ්‍ය ලොක්කන් නිදැල්ලේ… නීතිය නවන හැටි IMF එකට පැමිණිලි කරන බව බෙල්ලන කියයි!
ව්‍යාජ ඉමියුනොග්ලොබියුලින් සිද්ධියට සම්බන්ධ සැකකාර පුද්ගලයන්ට එරෙහිව නීතිය තවමත් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පැමිණිලි කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පැවසීය.
මෙම සිද්ධියට සම්බන්ධ යැයි සැක කරන හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර, අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර නොමැති බව ද වෛද්‍යවරයා පැවසුවේය.
රාජ්‍ය ඇමැති සනත් නිශාන්තගේ හදිසි රිය අනතුරේදී ඉදිරිපසින් ගමන් කළ කන්ටේනර් රථයේ රියදුරාත් සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගත් මේ රටේ ඉමියුනොග්ලොබියුලින් වංචාව සිදු කළ පුද්ගලයන් අත්අඩංගුවට නොගැනීම බරපතල කරුණක් බව ද ඔහු ප්‍රකාශ කළේය.
වැරදි සිදු කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය සමානව ක්‍රියාත්මක කළ යුතු වුවත් එසේ සිදු නොවීම කණගාටුවට කරුණක් බව ද ඔහු පැවසීය.
ව්‍යාජ ඉමියුනොග්ලොබියුලින් ගැටලුව පාස්කු ප්‍රහාරයට එහා ගිය සමූහ ඝාතනයක් සිදු කරන ක්‍රියාවක් නිසා මේ සම්බන්ධයෙන් පෙනී සිටින බවත් ඒ සදහා යුක්තිය ඉටු කරන තෙක් පියවර ගන්නා බවත් ඔහු කීය.
මෙවැනි වැරදි නැවත සිදු නොවීමට නම් අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක විය යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් වන වටිනා ලියකියවිලි ලිපිගොනුවලින් අතුරුදන්ව ඇති බව කී වෛද්‍යවරයා මේ සිද්ධියට සම්බන්ධ නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක නොකර අදාළ තනතුරුවල නිලධාරීන්ව තබා තිබෙනුයේ සිද්ධිය යට ගැසීමට බවද පැවසුවේය.
-ශ්‍රියානි විජේසිංහ
-lankasara
ඉමියුනොග්ලොබියුලින් අපරාධයට සම්බන්ධ කෙහෙළිය ඇතුළු සෞඛ්‍ය ලොක්කන් නිදැල්ලේ… නීතිය නවන හැටි IMF එකට පැමිණිලි කරන බව බෙල්ලන කියයි!
2024-01-30T23:45:00+05:30
Gossip Lanka Hot News






