2024 ජනාධිපතිවරණ සටනින් තාවකාලිකව ඉවත් වීමට කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා තීරණය කර ඇති බව වාර්තා වේ.
මීට පෙර ධම්මික පෙරේරා මහතා ප්‍රකාශ කර තිබුණේ තමන් ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වැදීමට සූදානම් බවකි.
ඒ සඳහා තමන්ට පොහොට්ටු පක්ෂයෙන් කොන්දේසි 10ක් ඉදිරිපත් කර ඇති බවත්, තමන් එම කොන්දේසි 10 සපුරාලීමට සූදානම් බවත් එහිදී ධම්මික පෙරේරා මහතා ප්‍රකාශ කර තිබිණි.
නමුත්, මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව එජාපයේ ප්‍රධානීන් ගෙනයන මාධ්‍ය ප්‍රචාරය හමුවේ ධම්මික පෙරේරා මහතා සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර ඇති බව පැවැසේ.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව එජාප ප්‍රධානීන් ප්‍රකාශ කළද මෙතෙක් වික්‍රමසිංහ මහතා ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර නොමැත.
රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් තීන්දු කිරීමට සූදානමින් සිටින්නේ අප්‍රේල් මස මුල් සතියේදීය.
ඒ අනුව, පොදුජන පෙරමුණද ජනාධිපතිවරයාට තීන්දුවක් ගැනීම සඳහා ලබන මාර්තු මාසය දක්වා කල් ලබාදීමට තීන්දු කර ඇති බවක් දැනගන්නට තිබේ.
කෙසේ වෙතත් යම් හෙයකින් රනිල් වික්‍රමසිංහ මහතා හෝ ධම්මික පෙරේරා මහතා ආණ්ඩු පක්ෂයෙන් ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් නොවන්නට තීන්දු කළහොත් රාජපක්ෂ පවුලේ නාමල් රාජපක්ෂ මහතා හෝ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමේ යෝජනාවක් පක්ෂය වෙත ඉදිරිපත්ව ඇති බවද දැනගන්නට ඇත.