රටේ කොන්ද පණ ඇති කෙලින් තීරණ ගන්න විනිසුරුවරුන්ට ආචාර කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. ඔහු මෙසේ කියා සිටියේ අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා කල ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තුව අමතමිනි.
අධිකරණ අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාලව 2023-12-02 වන දින කරන ලද ප්‍රකාශයකට පිළිතුරු දෙමින් අධිකරණ අමාත්‍ය ගරු විජේදාස රාජපක්ෂ මැතිතුමා 2023-12-04 වන දින එතුමාට විරුද්ධව යම් ප්‍රකාශයක් කරල තිබුනා. එහිදී එතුමා ප්‍රකාශ කර සිටියා රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගරු ඒ.එච්.එම්. නවාස් මහතාට සාප කරනවා කියා කියු බවත් එය සදාචාරාත්මක නොමැති බැවින් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව අයදිය යුතු බව. තවද රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නඩුව විභාග කිරීමෙන් ඉවත්ව ගිය විනිසුරුවරුන් හතර දෙනකුගේ සඳහන් කරමින් ඔවුන් ඉවත් වීමට යම් හේතු ද පවසා සිටියා. එහි එක් විනිසුරු වරයෙක් වන ගරු යසන්ත කෝදාගොඩ මහතා ඉවත්වීමට හේතුව එහිදී පැවසුවොත් එයින් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට ලොකු කැළලක් ඇතිවිය හැකි බව පවසා සිටියා.
ඒ වගේම තවත් විනිසුරුවරයෙක් වන ගරු ඒ.එච්.එම්. නවාස් මහතා ඉවත් වීමට හේතුව වුණේ ගරු රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ නීතිඥවරයා සහ එතුමාගේ කනිෂ්ඨ නීතිඥවරයෙක් එම නඩුවට ප්‍රථම දුරකථනයෙන් අමතා එම නඩුවට පෙනී සිටින්න කියලත් තවත් වරෙක පෙනී සිටින්න එපා කියලත් කියු නිසා බව අධිකරන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවේදී පවසා සිටියා.
ගරු. විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ එම ප්‍රකාශයට පිළිතුරු දෙමින් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා දිනයේ දී මෙසේ පවසා සිටියා.
අධිකරණ අමාත්‍යය විජයදාස රාජපක්ෂ මැතිතුමා නාමිකව සඳහන් කළ ඒ.එච්.එම් නවාස් විනිසුරුතුමාට එතුමා සාප කළේ නැති බවත්, එතුමාගේ කතාවේදී කිසිම විනිසුරුවරයෙක්ගේ නමක් සඳහන් කළේ නැති බවත්ය.
තවද, අදහස් කළ කාරණය මෙසේ පවසා සිටියා.
“මම පොදුවේ කිව්වේ මේ රටේ යම්කිසි අසාධාරණයක් වුන අවස්ථාවකදී, දෙවියන් වහන්සේට පහලින් ඒ සම්බන්ධයෙන් තීන්දු ලබාදීමට ඉන්නෙ මේ විනිසුරුවරුන්. යම් විනිසුරුවරයෙක් යම්කිසි බලපෑමකට යට වෙලා, තීන්දු දෙනවා නම් ඒ විනිසුරුවරුන් හරිද වැරදිද කියල විවේචනය කරන්න අපට කිසිම අයිතියක් නෑ. ඔවුන් තමන්ගේ හෘදසාක්ශියටයි, දෙවියන් වහන්සේටයි පමණයි බය වෙන්න ඕනේ. එහෙනම් ඔවුන් වැරැද්දක් කරානම් ඔවුන්ට එම වැරැද්දට දඬුවම ලැබෙන්නෙත් දෙවියන්ගෙන් ම පමණයි.
මම මගේ කතාව මගින් අදහස් කලේ මේ රටේ කුමන ජාතියක විනිසුරුවරයෙක් ආවත්, ඔවුන්ට එම නඩු තීන්දු ලබාදීමට, එම විනිසුරුවරයාගේ ජාතිය හෝ, ආගම බාධාවක් වෙන්න බැහැ කියන එකයි.”
තව දුරටත් පවසා සිටියේ,
මේ රටේ විධායක ජනාධිපතිවරු හතර දෙනෙක්ට විරුද්ධව නිර්භීතව තීන්දු ලබා දී මහජනතාවගේ ගරුත්වය දිනාගත් විනිසුරුවරුන් සිටින බවත්, මේ රටේ කොන්ද පණ ඇති කෙලින් තීරණ ගන්න විනිසුරුවරුන්ට එතුමා ආචාර කරන බවයි.
අධිකරණයේ ස්වාධිපත්‍යය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ගරු රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා පවසා සිටියේ,
ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය පදනම් කරගත් ඕනෑම රටක විනිසුරුවරුන්ගේ ස්වාධීනත්වය අත්‍යවශ්‍ය බවත්, අධිකරණයේ ස්වාධිනත්වය නොමැති රටක ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් නැති වෙලා යන අතර, නීතියේ ස්වාධිපත්‍යයත් එලෙසම අහිමි වෙලා යන බවටයි.
එසේ නීතියේ ස්වාධිපත්‍යය අහිමි වෙලා යෑම ඉතා භයානක තත්ත්වයක් බවත්, එසේ වුනොත් අපේ රටට කිසිම විදේශ ආයෝජනයක් නොඑන බවත්, බංකොලොත් වෙලා තියෙන අපේ රටට ගොඩ ඒමක් නොමැති බවටත් එතුමා පවසා සිටියා.
පාර්ලිමේන්තුවේ දී විනිසුරුවරුන්ගේ නම් සහ යම් යම් හේතු කාරණා මතුකරමින් විජයදාස රාජපක්ෂ මැතිතුමා කළ ප්‍රකාශය හෙළා දකිමින් එතුමා මෙසේ පවසා සිටියා.
” එදා මම නිර්නාමිකව කරන ලද ප්‍රකාශයකට, එතුමා විනිසුරුවරුන්ගේ නම් සදහන් කරල පෙරේදා දිනයේදී ප්‍රකාශයක් කලා.
එහිදී එතුමා කියා සිටියා විනිසුරුවරුන් හතර දෙනෙක් මගේ නඩුවට පෙනී සිටින්නැතුව නැගිට ගියා කියලා. එහි එක් විනිසුරුවරයෙක් වන ගරු යසන්ත කෝදාගොඩ විනිසුරුතුමා ඉවත් වීමේ හේතුව කිව්වොත් මට ලොකු කැළලක් ඇති වෙයි කියලා කිව්වා. මට එහෙම කිසිම කැළලක් ඇති වෙන කාරණාවක් නැහැ. එතුමා මගේ අසල්වාසියෙක් වෙනවා ඇරෙන්න මට වෙන කිසිම කැලලක් ඇති වන ආකාරයේ හේතුවක් නෑ. මගේ සියලු අසල්වාසීන් සමග මගේ ආගමේ කියල තියෙන විදියට කටයුතු කරල තිබෙනවා ඇරෙන්නට, ඔබතුමා අදහස් කල ආකාරයේ කිසි හේතුවක් නෑ. එමනිසා එතුමා මගේ නඩුවෙන් ඉවත් වීමත් සාධාරණයි.
ඒ වගේම ඇමතිතුමා කියා සිටිය අනෙක් විනිසුරුවරයා, මගේ නඩුවට වාඩිවෙන්නැතුව නැගිට යන්නට හේතුව, මා වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ නීතිඥවරයා සහ එතුමාගේ කනිෂ්ඨ නීතිඥවරයෙක් නඩුවට පෙර දිනයේ දී එතුමා සමග දුරකථනයෙන් කතා කළා කියලා.
ඇත්ත වශයෙන්ම ඇමතිතුමා මේ ගැන පෙරේදා දිනයේ දී මේ සභාවේ කියනකම් ඒ පිළිබඳව මා කිසිවක් දැන සිටියේ නෑ. මේ සිද්ධිය වුණා කියන අවස්ථාවේදී මම හිටියේ CID භාරයේ 4වන තට්ටුවේ, ත්‍රස්වාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන තිබූ අවස්ථාවකයි. නමුත් ඇත්ත වශයෙන්ම මෙවැනි දුරකථන ඇමතුමක් කණිෂ්ඨ නීතිඥවරයා සහ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා ලබාදුන්නාද කියන එක ගැන මට සැකයක් තියෙනවා.
ඒ සැකය නැති කරන්න නම් අපි ඒ විනිසුරුතුමාගේ දුරකථනය පිළිබඳව පරීක්ෂාවක් කරන්න ඕන.
කෙසේ වෙතත් මම මේ ප්‍රශ්නය පිළිබඳව වැඩිපුර කතා කරන්න කැමති නෑ. මොකද, මේ ගැන කතා කළොත් මුළු අධිකරණ පද්ධතියටම හානියක් සිදු වෙන්න පුළුවන්.”
තවදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා,
“ගරු ඇමතිතුමා විසින් කරන ලද කතාවෙන් එතුමා උත්සාහ කළා, ඒ විනිසුරුතුමාගේ ගරුත්වය ආරක්ෂා කරන්න. ඇත්ත වශයෙන්ම එතුමාගේ එම කතාව අහද්දි මම ඉතා පුදුම වුණා. මේ විනිසුරුවරුනුත් නීතිඥවරුනුත් තමන් ඉදිරියේ ඇති නඩුවක් සම්බන්ධයෙන් මෙලෙස දුරකථනයෙන් කතා කර ගන්න පුළුවන්ද කියලා.
නීතිඥවරුන් විසින් විනිසුරුවරුන්ට දුරකථනයෙන් කතා කරලා ඔබතුමා මේ නඩුව අද අහන්න, එහෙම නැත්නම් ඔබතුමා අද මේ නඩුව අහන්න එපා කියන්න, පුළුවන් තත්වයකට වැටිලා තියෙනවා කියලා, මා දැනගෙන සිටියේ නෑ.
එවැනි තත්ත්වයකට අද විනිසුරුවරුන් පත් වෙලා තියෙනවනම්, ඒක ඉතා කනගාටුදායකයි. ඔබතුමා මේ වගේ විස්තර එළියට දැමීමෙන් අධිකරනයේ ගරුත්වයට තවත් හානි වෙනවා මිස, ආරක්ෂාවට ලක් වෙන්නේ නෑ.
එතුමාගේ කතාව අහද්දී මට හිතුනා, මේ පිළිබඳව වැඩිය කතා කිරීම එච්චර සුදුසු නෑ කියලා. මට මේ පිළිබඳව කතා කිරීමට සාක්ෂි හා තර්ක රාශියක් තිබුනත් මම ඒ පිළිබඳව හෝ ඒ විනිසුරුතුමා ගැන තවදුරටත් කතා කරන්න කැමති නෑ.
නමුත් මේ රටේ විනිසුරුවරුන් ගැන කතා වෙච්ච පළවෙනි අවස්ථාව මේක නෙවෙයි. මීට කලිනුත් මේ විනිසුරුවරුන් පිළිබඳව මේ පාර්ලිමේන්තුවේදී විවේචනයට ලක් වෙලා තියෙනවා. මීට දින කිහිපයකට පෙරදීත් රොෂාන් රණසිංහ මැතිතුමා මේ පාර්ලිමේන්තුවේ දී අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් සම්බන්ධව විවේචනයක් කරලා තිබුණා. ඒ වගේම සරත් වීරසේකර මැතිතුමත් මුලතිව් විනිසුරුවරයෙක්ට විරුද්ධව විවේචනයක් කර තිබුණා. ඒ අවස්ථාවලදී, එතුමා ඔවුන්ට විරුද්ධව මෙලෙස කතා කළේ නැහැ” කියමින් එතුමාගේ කතාවට පමණක්, එලෙස චෝදනා කිරීම ඉතා කණගාටුදායක බවයි.
හිටපු අගවිනිසුරු වරු දෙදෙනෙක් සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ගරු මන්ත්‍රීවරයා මෙලෙස පවසා සිටියා.
” හිටපු අගවිනිසුරු වරයෙක් ප්‍රකාශ කර සිටියා එතුමා helping හම්බන්තොට නඩු තීන්දුව ලබා දුන්නේ වැරදියට කියලා. ඒක ලබා දුන්නේ දේශපාන අරමුණක් සහිතව කියලා. මම හිතන්නේ මේ මුලු රටම දන්නවා ඒ කවුද? ඒ නඩු තීන්දුව මොකක්ද? කාට වාසිවද ඒ නඩු තීන්දුව දුන්නේ කියලා.
ඒ වගේම අපි දන්නවා 2015 ඡන්දය අවසාන වුණායින් පස්සේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අරලිය ගහ මන්දිරයට යනකොට අගවිනිසුරුවරයා එතැන සිට එලියට ආපු එක ගැන.
මේ වගේ ක්‍රියා නිසා විනිසුරුවරුන්ගේ හැසිරීම පිළිබඳව අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ශ්‍රේෂ්ඨ විනිසුරුවරුන් ඉන්න රටක කිහිපදෙනෙක්ගේ යම් යම් ක්‍රියාකාරකම් නිසා මේ රටේ අධිකරණයට විශාල හානියක් සිදුවෙන්න ඉඩ තිබෙනවා.
මම මේ කතාව කරන්න කරුණු සොයා බලද්දී මට දැනගන්න ලැබුණා අපේ රටේ නීතිඥවරුන්ට ආචාරධර්ම ක්‍රියාපටිපාටියක් Professional Ethics රීති මාලාවක් තිබුනට අපේ රටේ විනිසුරුවරුන්ට එවැනි කිසිම ක්‍රියාපටිපාටියක් නැහැ කියල.
ශ්‍රී ලංකාවේ පමණක් නොවෙයි හැම රටකම මේ වගේ විනිසුරුවරුන් සම්බන්ධයෙන් විවේචන ලක්වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ අධිකරණ විනිසුරුවරුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව විවේචනයක් ඇති වූ අවස්ථාවක එහි ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම මේ නොවැම්බර් මාසයේදී code of conduct එකක් ඇති කරගෙන තියෙනවා.
මම හිතනවා අපේ රටටත් මෙවැනි code of conduct එකක් ඇතිකර ගත්තොත් හොඳයි කියලා. ඒ නිසා, මේ පිළිබඳව සොයා බලලා, එවැනි code of conduct එකක් අපේ අධිකරණ පද්ධතියටත් ඇතුලත් කරන ලෙස ගරු ඇමතිතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.” කියමින් මේ රටට නව යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබුවා
– Media unit