ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මෙරටට ආනයනය කළ කළ මෙරට සමාගමේ හිමිකරු කොම්පඤ්ඤවීදීය ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනුණා.
ඒ, ව්‍යාජ ලේඛන සකස් කරමින් ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධ තොගයක් පෞද්ගලික සමාගමක් මගින් මෙරටට ආනයනය කර රජයේ රෝහල්වලට බෙදාහැර ඇති බවට සිවිල් සංවිධාන එකමුතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා සිදු කළ පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශන වලින් පසුවයි.
එහිදී ඔහු අත්අඩංගුවට ගැනුනේ, ඒ උපාය දූතයෙකු මාර්ගයෙන් සැකකරු හා සම්බන්ධ වෙමින්.
මෙහිදී ප්‍රතිදේහ එන්නත් කුප්පි 22,500ක තොගයක් ගෙන්වූ බවට අදාළ සමාගමට චෝදනා එල්ලවී තිබු අතර ඉන් රුපියල් මිලියන 130කට අධික මුදල් වංචාවක් සිදු බවට අනාවරණය වී ඇත.
මූලික ප්‍රශ්න කිරීම්වලින් අනතුරව අද දහවල් 1ට පමණ සැකකරුව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.
එහිදී අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ, අදාළ එන්නත් ගෙන්වීමේ ටෙන්ඩරයට අනුව ඒවා ඉන්දියාවෙන් ආනයනය කරන බව සඳහන්ව තිබුණද, එම එන්නත් සිදූව, රද්දොළුව ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක් තුළ නිෂ්පාදනය කර ඇති බවයි.
ඒ, අනුව සැපයුම්කරු විසින් අවස්ථා 14කදී එන්නත් මාත්‍රා 3,985ක් වෛද්‍ය සැපයුම් අංශයට සපයා ඇති බවත්. ඒ වෙනුවෙන් තුන්කෝටි හැටතුන්ලක්ෂ අසුතුන් දහසකට අධික මුදලක් ඔහුට ගෙවා ඇති බවත් විමර්ශන නිලධාරින් අධිකරණය හමුවේ සඳහන් කර තිබෙනවා.
එමෙන්ම අදාළ එන්නත් භාවිතය සඳහා නිදහස් කිරීමේදී ඖෂධ නියාමන අධිකාරිය තත්ත්ව පරීක්ෂාවක් පවා සිදුකර නොමැති බවත්, එම එන්නත් 80%ක් පමණ භාවිතයට ගැනීමෙන් පසු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අසාත්මිකතා වාර්තාවී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළා.
සියලු කරුණු පිළිබඳ අවධානය යොමුකළ මෙහෙස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේදී කියා සිටියේ සැකකරු මෙම සිදුවීමට සම්බන්ධ එක් තැනැත්තෙකු පමණක් වන අතර, ඊට සම්බන්ධ ප්‍රධාන වගකිවයුත්තන් රාජ්‍ය සේවකයින් විය හැකි බවයි..
ඒ, අනුව මෙම විමර්ශන සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ගෙන සියලු සැකකරුවන් තරාතිරම නොබලා වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරනු ලැබුවා.
මේ අතර අද (01) අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රධාන සැකකරු සම්බන්ධයෙන් ඔහුගේ නීතිඥයින් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරිය සැකකරුව නොවැම්බර් මස 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද නියෝග කර ඇත.
