සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් තනතුරට විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පත්කිරිමට අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් සෞඛ්‍ය ඇමතිවරයාට යෝජනාවක් කර ඇතැයි අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
වෛද්‍ය පාලිත මහීපාල හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුර හෙබවූ අතර දේශපාල ඇඟිලි ගැසීම් මත සිය රාජකාරිය නිසිලෙස කර ගැනීමට විටින් විට බාධා පැමිණි බව වාර්තා විය.
මේ අතර ඔහුට ලෝක සෞඛ්‍ය සංවිධානයේ උසස් තනතුරක් ලැබීමෙන් විදේශ ගත ව සේවය කරන බැවින් මේ මොහොත වන විට මෙරට සෞඛ්‍ය පද්ධතියේ සිදුවන වංචා දූෂණයන් සහ කඩා වැටීම් හමුවේ එය නැවත නගා සිටුවීමට හැකි හොඳම පුද්ගලයා වෛද්‍ය මහිපාල යැයි අමාත්‍යංශ නිලධාරීන් පිරිසක් ඇමතිවරයාට පෙන්වා දී ඇතැයි ද වාර්තාවේ.
කෙසේ නමුත් මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් තනතුර සඳහා වෛද්‍ය අනිල් ජාසිංහගේ නම ද යෝජනා වී ඇති නමුත් පරිසර අමාත්‍යංශයේ මිලියන ගණනක් වටිනා ව්‍යාපෘති ගණනාවක්ම ඔහුට පැවරී ඇති බැවින් ඔහුව ලේකම් තනතුරෙන් ඉවත් කිරිමට ඉහළින් අකමැත්ත පළවී ඇති බවද වාර්තාවේ.
ලේකම් තනතුරට හිටිහැටියේ තරඟයක් නිර්මාණය වී ඇත්තේ වත්මන් ලේකම් ජනක චන්ද්‍රගුප්තගේ සේවා කාලය හෙට (18) අවසන් වන බැවිනි.
නීතිවිරෝධී ඉමියුනෝග්ලොබියුලින් ගණුදෙනුව තුළ මේ වන විට ලේකම්වරයාගේ නම ඉහළින්ම සටහන් වී ඇති බැවින් ඔහුට සේවා දිගුවක් නොලැබෙනු ඇති බවට අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.
-ශ්‍රියානි විජේසිංහ