අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සහ ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති අතර සිදුවූ බවට සඳහන් ආන්දෝලනාත්මක දුරකථන සංවාද හඬ පටය සංස්කරණය කරන ලද්දක් බව මොරටුව විශ්වවිද්‍යාලය සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් තහවුරු කිරීමත් සමගම එම හඬ පටය පදනම් කරගෙන වැඩ තහනමට ලක් කළ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
වර්ෂ 2021 වසරේදී මොරටුව විශ්වවිද්‍යාලය සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද දීර්ඝ විමර්ශනයකදී අනාවරණය වූයේ එම ආන්දෝලනාත්මක හඬපටය සම්පූර්ණ දුරකථන සංවාදයෙන් විකෘති කර සාදන ලද්දක් බවය.
වර්ෂ 2019දී අදාළ හඬ පටය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ එම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ රාජ්‍ය සේවා කොමිෂන් සභාව එම වසරේ සැප්තැම්බර් මස 24 වනදා දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ තාවකාලිකව වැඩ තහනමට ලක්කළේය.
අදාළ සිදුවීම වන අවස්ථාවේ ඇය නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ලෙස රාජකාරියේ නිරතව සිටියාය.
මෙම සිදුවීම එකළ දේශපාලන වේදිකාවේදී දැඩි කතාබහකට ලක්වූ සිදුවීමක් වූ අතර එහිදී දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපතගෙන් ඉල්ලා සිටියේ තමන් සමග සිදුකළ සම්පූර්ණ හඬපටය ප්‍රසිද්ධියට පත්කරන ලෙසය.
වැඩ තහනමට ලක් වූ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මේ වනවිට සිටින්නේ විශ්‍රාමිකවය. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ මෙම තීරණයත් සමග ඇයට අහිමිකළ වැටුප සහ වරප්‍රසාද ඇය වෙත ලබා දීමට සිදුවනු ඇත.