ජය ශ්‍රී ලා කියන්නේ කවදත් තමන්ගේම වුණු අනන්‍යතාවයක් තුළින් සංගීත ක්ෂේත්රයේ නිර්මාණ කරන දෙන්නෙක්. වැඩි කාලයක් ලංකාවේ නොරැඳුණත් ජය ශ්‍රී ලා කාලෙන් කාලෙට ලංකාවට ඇවිල්ලා තමන්ගේ අලුත් නිර්මාණ රසිකයින් අතට පත්කරනවා.
පහුගියදා ජය ශ්‍රී ලා ඔවුන්ගේ අලුත්ම නිර්මාණය වෙන ‘මතුවෙන්න - The Diamond Story’ ජය ශ්‍රී යූ ටියුබ් නාලිකාවෙන් එළිදැක්වූවා.
අපේකම අගයන ජය ශ්‍රී කණ්ඩායම ප්‍රසංග වේදිකාවේ ගායනා කරන ගීත වෙනුවට කාලෙකට පස්සේ නිර්මාණය කරපු ඔවුන්ගේම ගීතයක් විදියට මේ ‘මතුවෙන්න’ ගීතය හඳුන්වන්න පුළුවන්.
‘සිව්කොණ එකතුවෙලා
ජය කණුව සොයනා වෙලේ
සතුටෙන් එකතුවෙලා දූ පුතුන් හිනැහෙන බිමේ
ජයගන්නට හැකි තුරුම්පුවක් වී
ලොවටම පෙන්වන්න
මතුවෙන්න - පණදෙන්න
රුවිතේ - විඳගන්න
ජයගන්න’
දියමන්තියක් වගේ තමන්ගේ හැකියාවන් ඔපමට්ටම් කරගෙන නැගී සිටින්න කියන ආරාධනයත් ජය ශ්‍රී ලා මේ ගීතයෙන් කරනවා.
ජයගන්නට හැකි තුරුම්පුවක් නැගිටින්න යනුවෙන් ඔවුන් මේ ආරාධනා කරන්නේ තාරුණ්‍යයටයි. ජය ශ්‍රී ගායනයෙන් හැඩවුණු මේ ගීතයේ පද රචනය වගේම රූප රචනය කරලා තියෙන්නේ සමන් අමුණුකන්ද. මෑත කාලවේ ජනප්‍රිය ගීත ගණනාවක සංගීත නිර්මාණ ශිල්පියා වුණු රැප්සිලා (සාරංග දිනේෂ්) මෙහි සංගීත නිර්මාණයට දායක වී තිබෙනවා.
ලංකාවේ තිබෙන සුන්දර හා ආකර්ශණීය තැන් ගණනාවක මෙහි රූපගත කිරීමේ කටයුතු සිදුකරලා තියෙනවා. දික්වැල්ල, හිරිකැටිය, නිලාවැල්ල, නිකවැරටිය, යාපනය ඒ අතරින් විශේෂයි.
ඒවගේම, මේ ඩයමන්ඩ් කතාවේ තියෙන අනෙක් විශේෂත්වය වෙන්නේ සමස්ත ගීතයම ඩයමන්ඩ් තේමාව අනුව යමින් නිර්මාණය කර තිබීමයි. ගීතය පුරාම ඩයමන්ඩ් සංකේතත් දැකගන්න ලැබෙනවා. ගම හෝ නගරය යනුවෙන් කිසිම වෙනසක් නැතිව මේ ඩයමන්ඩ් සංකේතය දැකගන්නට හැකිවෙනවා. මේ ඩයමන්ඩ් කතාව ජය ශ්‍රී යූ ටියුබ් නාලිකාවෙන් අද වෙද්දී දැකබලාගන්නට හැකියි.
ජය ශ්‍රී ලා කියන විදියටම කිසිම භේදයක් නැතිව හිතවත්කම් වලින් පිරී අනාගතය දකින යහපත් මිනිස්සු වෙන්නටයි මේ ආරාධනය.
