gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

යෝෂිත පාර්ලිමේන්තුවට ගෙන ඒමේ තැතක්!

යෝෂිත රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් කිරීමේ සූදානමක් තිබු නමුත් ඩලස් අලහප්පෙරුම මහතා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් කළ ඉල්ලීමක් මත එය සිදු නොවුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.

ඒ මහතා මෙසේ සඳහන් කළේ මොනරාගල පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවති නිදහස් ජනතා සන්ධානයේ අපේක්ෂකයන් හා සාමාජික පක්ෂ ක්‍රියාකාරීන් වත්මන් දේශපාලන තත්වය හමුවේ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුම්වත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උත්තර ලංකා සභාගයේ සභාපතිවරයා මෙසේද සඳහන් කළේය.

‘ගැලවුම්කාරයා’

“අද අපි ජීවත් වන්නේ තියුණු ආර්ථික අර්බුදයකට ඇදවට්ටපු රටක. මේ ආර්ථික අර්බුදයට ඇදවැට්ටුවේ බැසිල් රාජපක්ෂලා, පී. බී. ජයසුන්දරලා හා ගෝඨාභය රාජපක්ෂලායි. මෙහෙම ගියොත් මේ රටේ ආර්ථිකය දරුණු ප්‍රපාතයකට ඇදවැටෙන බවට අපි කල්තියා අනතුරුව ඇඟවූවා. නමුත් ඒ කිසිවක් කනකට නොගෙන අපි ඇමතිකම්වලින් එළියට දැම්මා. මේ ආර්ථික අර්බුදය විසින් අවසානයේදී දේශපාලන කුණාටුවක් හැදුවා. ඒ දේශපාලන කුණාටුව හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පලා යන්න සිදු වුණා. මොනරාගල ශෂීන්ද්‍ර රාජපක්ෂට මුහුණ පුරා රැවුල වවන්න වුණා, ඇතැම් දවසට සාටකය නැතිව පාර්ලිමේන්තුවට එන්න වුණා. වෙන්න තියෙන හත්වලාමවල් ඒ රාජපක්ෂ සනුහරයට වුණා. අවසානයේදී ඔවුන් පණ බේරාගන්න තෝරා ගත්තා ගලවා ගැනීමේ නිලධාරියෙක්. ඒ තමයි රනිල් වික්‍රමසිංහ තෙමේ. එදා ‘බැඳුම්කර හොරා’ කියලා පත්‍රිකා ගහලා බෙදපු බන්දුල ගුණවර්ධන අද රනිල් වික්‍රමසිංහ යටතේ ඇමතිකම කරනවා. මහින්ද රාජපක්ෂගේ කටින් එදා කිව්වා, ‘බැඳුම්කර හොරා රනිල්’ කියලා. දැන් දෙන්නා එකම ආණ්ඩුව ඇතුළේ ඉන්නවා. ඒ නිසා අපි කාටත් පෙනෙනවා, මේ තමයි ඉතිහාසයේ අටවාගත් තක්කඩිම හවුල් ආණ්ඩුව, කියලා. මේ හවුල් ආණ්ඩුව තුළ ඇත්තේ ප්‍රතිපත්තිමය සම්මුතියක් නොවෙයි එකිනෙකාව බේරාගැනීමේ සම්මුතියක්.

රනිල්ගේ ජෝගිය

ඒ අස්සේ ‘පරණ පිනක් මගේ ඉහේ කඩාගෙන වැටුණා’ කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයා ලැබුණු බලය විඳිනවා. මහනුවර ජනාධිපති මන්දිරයට කැබිනට් මණ්ඩලය ගෙන්වනවා. කැබිනට් ඇමතිවරු තෙල් ගහගෙන මහනුවරට යනවා. ඒ වගේම නව විදේශ තානාපතිවරුන්ට අක්ත පත්‍ර දීමත් මහනුවරදී සිදු කරනවා. ඒකත් කොළඹ ජනාධිපති මන්දිරයේදී කළ යුතුව තිබූ වැඩක්. රනිල් වික්‍රමසිංහට උවමනා “ලැබුණු පිනෙන්” උපරිම ආතල් එකක් ගන්න. මේ ආතල් එක වැඩි වුණාම එයා පාර්ලිමේන්තුවට එනවා. ඇවිත් අත් දෙක කලිසම් සාක්කු දෙකට දාගන්නවා. 180°ට කැරකෙමින් කියනවා, ‘ඡන්ද තියන්න සල්ලිත් නැහැ. තියන්න ඡන්දයකුත් නැහැ’ කියලා. මේ විදිහට රනිල් වික්‍රමසිංහට ආතල් ගන්න තියෙන තිප්පොළ නොවෙයි පාර්ලිමේන්තුව කියන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය

ගසාකෑමටත් වඩා ඉවසිය නොහැක්කේ ඒක සාධාරණීකරණය කරන්න රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව තුළ නටන ජෝගියයි. ඔහු ඒ විදිහට සමච්චල් කරන්නේ මේ රටේ පරමාධිපත්‍ය බලය හිමි ජනතාවටයි.

සාටක – නාටක

ශෂීන්ද්‍ර රාජපක්ෂ හිතාගෙන ඉන්නේ මොනරාගල තමන්ගේ සනුහරේ නින්ද ගමක්, එහි ඉන්නේ තමන්ගේ දාස වැසියෝ කියලා. එවැනි මාන්නයකින් තමයි ඔවුන් දේශපාලනය කළේ. එහෙම හිතපු නිසයි හොම්බෙන් යන්න වුණේ; සිදු වෙන්න යන අර්බුදයේ තරම තේරුම් ගැනීමට තරම් ඥානයක් නොතිබුණේ. 2015දී පැරදුණේ පවුල්වාදය නිසා හින්දා අපි හිතුවා, ‘2019දී බලයට ආවාම, නැති කරගන්න බැරි වුණත් ඒ පවුල් පාලන ලක්ෂණ අඩු කරගත හැකි වෙයි’ කියලා. නමුත් 2015ට කලින් කැබිනට් මණ්ඩලයේ හිටියේ සාටක 4යි. 2019 ඒක පහක් වුණා. සාටක පහයි කියන්නේ නාටක පහයි. ඒ පස්දෙනාගෙන් තමයි තීන්දුව එන්නේ. කැබිනට් මණ්ඩලයේ සෙසු සාමාජිකයන්ගේ මත දැක්වීම්වලට ඇහුම්කන් කන්දීම හා දක්වන සැලකිල්ල ඉතාම අඩුයි.

රාජපක්ෂ වරිග සභාවේ හඬ

මට මතකයි, තමන්ගේ දෙමව්පියන් ද ගුරුවරුන් වූ නිසා ඩලස් අලහප්පෙරුම මැතිතුමා 2019දී අධ්‍යාපන ඇමති ධුරය ඉතා කැමැත්තෙන් බාර ගත්තා. ඒ 2020 මහ මැතිවරණය තෙක් පමණයි. 2020 මහ මැතිවරණයට මාතරට ඒ රාජපක්ෂලාගේ වරිග සභාවෙන් නිපුණ රණවක කියලා හාදයෙක් දැම්මා. බලන්න, මොනරාගලට ඉන්නවා ශෂීන්ද්‍ර රාජපක්ෂ ඒ වරිග සභාවෙන්. බදුල්ලටත් ඒ වරිග සභාවෙන් යෝෂිත රාජපක්ෂ කොලු ගැටයා දාන්න හැදුවා, බොහොම අමාරුවෙන් නවත්තා ගත්තා. අන්තිමට පඳුරකට ගැහුවත් ඒ වරිගේ එකෙක් තමයි එළියට එන්නේ. මෙන්න මේ මල පෙරේතකම තමයි මේ රට මේ තත්වයට ඇදවැට්ටවීමට එක හේතුවක් වුණේ. මහජනයාගේ හඬට ඇහුම්කන් දෙනවාට වඩා වරිගයේ හඬට තමයි ඇහුම්කන් දුන්නේ.

වරිග සභා දේශපාලනය අවසන් කළ හැකි එකම දේශපාලන බලවේගය

අද මිනිස්සු දිහා බැලුවාම අපට දුක හිතෙනවා. අපේ හෘද සාක්ෂිය තුළත් ප්‍රශ්නයක් මතුවෙනවා, ‘අපට මේක බේරාගන්න බැරි වුණානේ’ කියා. ඒත් මම දැක්කා, මෙහෙව් රටක නාමල් රාජපක්ෂ බේබි ඇතුළු වරිග සභාවේ ගැත්තෝ ටික(පොහොට්ටුවේ මන්ත්‍රීවරු ටික) සුහද ක්‍රිකට් මැච් එකක් ගහනවා. ‘මෙයාලාට දෙවියන්ගේ හාල් කැවිලාද? සංවේදී ඉන්ද්‍රියන් වැඩ කරන්නෙ නැද්ද? කියන ප්‍රශ්න අපට එනවා. ‘අපි මෙහෙම ක්‍රිකට් ගහපුවාම දුක් විඳින මිනිහාට මළ පනීවි’ කියා මෙයාලාට හිතෙන්නෙ නැහැ. ඒ රුදුරු මැච් එක අහවර කරන්න ඕනේ. ඒ මැච් එක අවසන් කරන්න පුළුවන් එකම දේශපාලන බලවේගය තමයි නිදහස් ජනතා සන්ධානය(අත්පොළසන්). අපි ළදරු වියේ ඉන්න දේශපාලන සන්ධානයක් වුවත් ඉතා කෙටි කාලයක් තුළ පළාත් පාලන ආයතන 200කට වැඩි ප්‍රමාණයකට නාමයෝජනා ලබාදීමට හැකිවුණා. මොනරාගල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 10න් 8කට අපි තරග වදිනවා. ළදරු වියේ හිටියත් නිදහස් ජනතා සන්ධානය පරිණත නායකයන්ගෙන් පිරුණු දේශපාලන ව්‍යාපාරයක්. ඒ නායකයන් සියලුදෙනා වරප්‍රසාදවලට, තනතුරුවලට කෑදරකමින් ඉන්න පිරිසක් නොවෙයි. අද මේ වේදිකාවේ ඉන්න ජී. එල්. පිරිස් මැතිතුමා ඇතුළු සියලුදෙනාට ඕනේ නම් රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් ඇමැතිකම් අරගෙන ආණ්ඩුව ඇතුළේ ඉන්න පුළුවන්. ඇමතිකමක් තියෙනවානම් ප්‍රභාකරන්ගේ ආණ්ඩුවකට වුණත් යන පෙරේතයෝ ටිකකුත් ඉන්නා රටක, මෙතැන ඉන්නේ ඒ කෙලෙස් ප්‍රහීන කරපු මිනිස්සු; තනතුරු තණ්හාව අතහැරපු මිනිස්සු; තනතුරු, වරප්‍රසාදවලට වඩා මේ රටේ ජනතාවගේ අයිතීන්, ජනතාවගේ ජයග්‍රහණ උතුම් කියා හිතන මිනිස්සු. එනිසයි මා පැවසුවේ මේ මැච් එක අවසන් කරන්න පුළුවන් එකම දේශපාලන බලවේගය, මේ වරිග සභා දේශපාලනය අවසන් කළ හැකි එකම දේශපාලන බලවේගය නිදහස් ජනතා සන්ධානය, කියා.

වැදිබණවලට මේ රට වෙනස් කරන්න බැහැ

තව තව දේශපාලන පක්ෂ කිහිපයක් දැන් ‘මනි රැලි’ පවත්වමින් යනවා. නමුත් සජිත් ප්‍රේමදාස මහත්තයාගේ කතාවක් ඇහුවොත් ඔළුව උලුක් වෙනවා. එයා කතාව එක තැනකින් පටන් අරන් කිසිදු සම්බන්ධයක් නොමැති තැනකින් අවසන් කරනවා. ජනතා විමුක්ති පෙරමුණ දිහා බලන්නකෝ. ‘මනි රැලි’ පවත්වමින් ‘දූෂණය, දූෂණය’ කියමින් යනවා. නමුත් පළාත් පාලන ඡන්දයට දාලා තිබෙන්නේ පට්ට දූෂිතයන් ටිකක්. එක අපේක්ෂකයෙක් මිනිස් ජාවාරමේ යෙදුනු අයෙක්. එයා තරුණ, තරුණියන් විදේශවලට රැගෙන ගිහින් ඔවුන් ඩොලර්වලට විකුණා දමලා. ඔවුන්ගේ වැදිබණවලට මේ රට වෙනස් කරන්න බැහැ.

රටේ අනතුර නැති කිරීමේ තනතුර

නිදහස් ජනතා සන්ධානයේ සිටින්නේ තනතුරු බදාගන්න අය වෙනුවට තනතුරු අතහැරලා ආපු අය; තනතුරට වඩා රටේ අනතුර ගැන සංවේදී අය; රටේ අනතුර නැති කිරීමේ තනතුර බාරගන්න ඕනෙ වෙලාවක සූදානම් අය; මේ රට අනතුරෙන් බේරාගැනීමට පමණක් තනතුරු දරන්න පුළුවන් අය. තනතුරු කියන්නේ අපිට ආතල් ගන්න දෙන ඒවා නොවෙයි. තනතුරක් කියන්නේ මහා අභියෝගයක්; වගකීමක්. එමඟින් අපි මහජනයාට සාධාරණයක් ඉටු කළ යුතුයි.

“පැපුවා නිව් ගිනියා” ආදර්ශය

මේක තනතුරු පිළිබඳ අතුරු කතාවක්. පැපුවා නිව් ගිනියා කියන්නේ ‘චාටර් රටක්’ කියලයි ඇතැමුන් හිතන්නේ. නමුත් ඒක එහෙම නොවෙයි. පැපුවා නිව් ගිනියාවල තිබෙනවා පනතක් ‘වගකීමෙන් බැඳී සිටීමේ පනත’ කියා. එමගින් සිදු කරන්නේ ඇමති කෙනෙක්, රාජ්‍ය ඇමති කෙනෙක්, රාජ්‍ය ආයතනයක සභාපති කෙනෙක් තමන්ට ලබාදී ඇති වගකීම පැහැරහැර තිබුණොත් ඒ පිළිබඳව අධිකරණ ක්‍රියාමාර්ග අරගෙන හිරේ දමන එක. ඒ නිසා ආතල් ගන්න එන එකා, හොරකම් කරන්න එන එකා ඒ රටේ තනතුරු ගන්න එන්නේ නැහැ. ඒ රටේ බය නැතිව තනතුරු ගන්න එන්නේ, රට වෙනුවෙන් මම ඒ වගකීම හරියට ඉටු කරන්නම්, කියා හිතන මිනිහෙක් පමණයි. ලොව පුරා බොහෝ ගුවන් සමාගම් පාඩු ලබන නිසා පැපුවා නිව් ගිනියාවල ගුවන් සේවයේ සභාපති ධුරය බාර ගන්න එරට කිසිවකු ඉදිරිපත්ව සිටියේ නැහැ. ලංකාවේ තරුණයකු ඒ වගකීම බාරගෙන එය නිසි පරිදි ඉටු කිරීමට සමත් වී තිබෙනවා. ඒක අතුරු කතාවක් වුවත් එමගින් ‘සිස්ටම් චේන්ජ්’ කියන්නේ ඒ වගේ ඒවා බව අපට හොඳින් පැහැදිලි කර දෙනවා. අපට මේ රටේ පවතින මේ තත්ත්වය යහපත් අතට පත් කරන්න පුළුවන්. ඒක මහ අමාරු වැඩක් නෙවෙයි

රටට සාධාරණය ඉටු කරමු!

රුසියාව දෙස බලන්න. ඔවුන්ට හිරු එළිය ලැබෙන්නේ මාස 06යි, අවුරුද්දේ ඉතිරි කාලය හිමෙන් වැසිලයි තිබෙන්නේ. ඔවුන් හිරු එළිය ලැබෙන ඒ මාස 6 තුළ පරිභෝජනයට අවශ්‍ය සියලු ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කරනවා ඒකයි ඇමරිකාව සම්බාධක පැනවූවාට රුසියාවට කිසිම අහේනියක් සිදු නොවූයේ. ඔවුන්ට අදටත් තිරිඟු පිටි අතිරික්තයක් තිබෙනවා. මේ රටට අවුරුද්ද පුරා හිරු එළිය ලැබෙනවා. අවුරුද්දට කන්න කිහිපයක් වගා කටයුතු කරන්න පුළුවන්. එහෙම රටකට සාධාරණය ඉටු කිරීමට බැරිනම් ලෝකයේ සාධාරණය ඉටු කරන්න පුළුවන් තවත් රටක් තියෙන්න විදිහක් නැහැ.

මහ බැංකුව වෙනම ආණ්ඩුවක් වගේ වෙයිද?

මේ අලි – පොහොට්ටු ආණ්ඩුව හදන්නේ මේ ආර්ථික අර්බුදය පෙන්වලා රටේ සියලු ආර්ථික මර්මස්ථාන විකුණන් කෑමටයි. ඒකට ඉඩ දෙන්න බැහැ. දැන් පනතක් ගෙනැවිත් තිබෙනවා පාර්ලිමේන්තුවට මහ බැංකුව ස්වාධීන කිරීමට. මහ බැංකුව ස්වාධීන කළාම ආණ්ඩුවට එයට බලපෑමක් කරන්න බැරිව යනවා. එතකොට මහ බැංකුව වෙනම ආණ්ඩුවක් වගේ වෙනවා. එය වගකියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පමණයි. මුදල් ඇමතිවරයාටවත් බැහැ මහ බැංකු අධිපති ගෙන්වා ප්‍රශ්න කරන්න. එවිට රටේ මූල්‍ය ප්‍රතිපත්ති හදන්නේ මහ බැංකුව තනියෙන්. බටහිර රටවල් අකැමැති ආණ්ඩුවක් ලංකාවේ හැදුණොත් මහ බැංකුව පාවිච්චි කරනවා ඒ ආණ්ඩුව පෙරළන්න. හැබැයි කියන්නේ ‘මේ පනත ගෙන එන්නේ මේ ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්න’ කියලයි. මේ සියලු උප්පරවැට්ටි පැරදවීමේ අභියෝගය අපි ඉදිරියේ තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඡන්දය අනන්තය දක්වා කල් දැමීමට බැහැනේ. කවර මොහොතක හෝ ඡන්දය තියන්න වෙනවා. එසේ පවත්වන ඡන්දයෙන් අපි හෙලිකොප්ටරයට විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දීමට කළ හැකි සියලු දේ කරමු. එසේ විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන අපි අර වහල් පවුල් බලය, මේ රුදුරු පාලනතන්ත්‍රය හා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කෝලම් බැලීමට සිදු වීමේ ඉඩකඩ, යන සියල්ලම කෙළවර කරමු. ඒක කරන්න පුළුවන්. ඒ නිසයි අපි ජනතාවට ආරාධනා කරන්නේ ‘මේ අලුත් සන්ධානය සමඟ අභිමානවත්ව එකතු වෙන්න. මේ රටේ තරුණ පරම්පරාව ඉල්ලන වෙනස්කම් රට ඇතුළට අවංකව අරගෙන ඒමේ වෑයමට එකතු වෙන්න’ කියා.”

නිදහස ජනතා සභාවේ සභාපති ඩලස් අලහප්පෙරුම, නිදහස ජනතා සභාවේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස්, නිදහස් ජනතා සන්ධානයේ ප්‍රධාන ලේකම් තිලංග සුමතිපාල, උත්තර ලංකා සභාගයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහ, ප්‍රජාන්තත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, නිදහස ජනතා සභාවේ විධායක කමිටු සාමාජික ඩිලාන් පෙරේරා, නිදහස ජනතා සභාවේ විධායක කමිටු සාමාජික වෛද්‍ය තිලක් රාජපක්ෂ යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ.

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka