gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති දවස පුරාම මුදල් අමාත්‍යාංශයේ රැඳිලා ලේකම් මැතිවරණ කොමිසමට යාම වැලැක්වුවා - ගම්මන්පිල

‘භාණ්ඩාගාර ලේකම්ට මැතිවරණ කොමිසමට කැඳවීමක් කලාම ජනාධිපති ඒ දවස පුරාම මුදල් අමාත්‍යාංශයේ රැඳිලා ලේකම් සමග දවස පුරාම සාකච්ඡා කරමින් මැතිවරණ කොමිසමට යන එක වැලැක්වුවා. මැතිවරණ කොමිසම එන්න කියලා භාණ්ඩාගාර ලේකම්ට දැණුම් දෙන සෑම විටම මොකක් හරි වෙන වැඩක් දාලා ජනාධිපතිතුමා ඒක වලක්වනවා’ පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ පාර්ලිමේන්තුවේ පැවති මැතිවරණය කල් දැමීම, බදු බර සහ ජීවන වියදම ඉහළ දැමීම පිලිබඳ පාර්ලිමේන්තු විවාදයේ දී අදහස් දක්වමිනි.

එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

ජාතික ආරක්ෂක සභාව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබුණේ 8 වන බදාදා. නමුත් හදිසියේම ඒක අඟහරුවාදා උදෑසන කැඳවීමට තීරණය කරනවා. මැඩගස්කරයේ දී හරක් කටා අල්ලපු නිසා ද? නෑ. හදිසි ත්‍රස්ත ප්‍රහාරයක් පිලිබඳ තොරතුරු ලැබුණු නිසා ද? නෑ. පුංචි ඡන්දයේ දිනය තීරණය කරන්න ඒ වෙලාවටම භාණ්ඩාගාර ලේකම්ට මැතිවරණ කොමිසමේ සාකච්ඡාවක් තිබුණු නිසා. මීට කලින් දවසකත් භාණ්ඩාගාර ලේකම්ට මැතිවරණ කොමිසමට කැඳවීමක් කලාම ජනාධිපති ඒ දවස පුරාම මුදල් අමාත්‍යාංශයේ රැඳිලා ලේකම් සමග දවස පුරාම සාකච්ඡා කරමින් මැතිවරණ කොමිසමට යන එක වැලැක්වුවා. මැතිවරණ කොමිසම එන්න කියලා භාණ්ඩාගාර ලේකම්ට දැණුම් දෙන සෑම විටම මොකක් හරි වෙන වැඩක් දාලා ජනාධිපතිතුමා ඒක වලක්වනවා.

ජනාධිපති භාණ්ඩාගාර ලේකම් මැතිවරණ කොමිසමට යන එක වලක්වන්නේ හරියට ශුද්ධෝදන රජතුමා සිදුහත් කුමරු සතර පෙර නිමිති දකින එක වැලැක්වීමට වෙර දැරීම සිහිපත් කරමින්. ශුද්ධෝදන රජතුමා කෙතරම් උත්සාහ කළත් සිදුහත් කුමරු සතර පෙර නිමිති දකින එක ගිහි ගෙය හැර යෑම නවත්වන්න බැරි වුණා. අන්න ඒ වගේ ජනාධිපතිතුමා කෙතරම් උත්සාහ කළත් මේ මැතිවරණය ජනාධිපතිවරණය තෙක් කල් දමා ගැනීම කිසි විටක ඉටු කර ගන්න බැරි සිහිනයක්.

මේ මැතිවරණය කල් දැමීම ආණ්ඩුවට වාසියි කියලා ආණ්ඩුව හිතනවා නම් ආණ්ඩුවට වැරදිලා. ඉතිහාසය පුරාම මැතිවරණ කල් දැමූ ආණ්ඩු වලට වුනේ පරාජය වෙනුවට අන්ත පරාජයකට මුහුණ දීම පමණයි. 1975 දී සිරිමාවෝ මැතිණිය පාර්ලිමේන්තු ඡන්දය වසර දෙකකින් කල් දැම්මා. ප්‍රතිඵලය වුණේ ඊ ලඟ ඡන්දයේ දී ඉතිහාසයේ ආණ්ඩුවක් ලැබූ දැවැන්තම පරාජය ලබමින් මන්ත්‍රි ධූර අටකට පල්ලම් බැසීමයි. අනුන්ගේ අත්දැකීම් පැත්තක තියලා ජනාධිපතිතුමාගේ අත්දැකීම බලමු. එතුමා අගමැති කාලයේ 2015 පැවැත්වීමට නියමිතව තිබුණු පුංචි ඡන්දය 2018 දක්වා වසර තුනකින් කල් දැම්මා. මොකද වුණේ? 2015 දී ඡන්දය පැවැත්වුණා නම් ආණ්ඩුව ජයග්‍රහණය කරනවා. අවුරුදු තුනක් කල් දැම්ම නිසා එජාපයට අන්ත පරාජයක් හිමි වුණා.

එතුමා අගමැති කාලයේ පුංචි ඡන්දය කල් දැම්මා විතරක් නොවේ. පලාත් සභා මැතිවරණය නැත්තටම නැති කරලා දැම්මා. ප්‍රතිඵලය? ඊ ලඟ පාර්ලිමේන්තු ඡන්දයේ දී එතුමාගේ පක්ෂය එක් මන්ත්‍රි ධූරයකට පල්ලම් බැහැලා සිරිමාවෝ මැතිණියගේ වාර්තාව අළුත් කිරීම විතරයි. ඒ නිසා ඡන්දය කල් දැමීම ආණ්ඩුවට වාසියි කියන මිථ්‍යාවෙන් බැහැර වෙලා ඉතිහාසයට එබී බලන්න කියලා මම ආණ්ඩුවට ආරාධනා කරනවා.

ආණ්ඩුවේ ප්‍රශ්නයට වඩා රටේ ප්‍රශ්නය ලොකුයි. අද මේ රටේ ජනතාව ඉන්නේ ආණ්ඩුව එක්ක දැඩි කේන්තියකින්. මාරාවේශයකින්. වැඩ කරන ජනතාවට ජීවන වියදම දරා ගන්න බෑ. ආණ්ඩුවේ රෝහලට ගියාම බෙහෙත් නෑ. පෞද්ගලික රෝහලකට ගියාම බෙහෙත් වල මිල දරා ගන්න බෑ. ඒ වගේම ව්‍යාපාරික ප්‍රජාවටත් මධ්‍යම පන්තියටත් බදු බර දරා ගන්න බෑ. පුංචි ඡන්දය පැවැත්තුවොත් මේ හැමෝම ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දීලා තමන්ගේ කේන්තිය පිට කර ගන්නවා. කේන්තිය පිට කර ගත්තාම හිත සැහැල්ලුයි. රට සාමකාමියි. ඡන්දය නොතිබ්බොත් මේ කේන්තිය ජනතාව පිට කරන්නේ ප්‍රචණ්ඩත්වයෙන්. ගිනි දැල් වලින්.

හොඳම නිදසුන ජනාධිපතිතුමාගේ මාමා. ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමා. එතුමා පාර්ලිමේන්තු මැතිවරණය කල් දැම්මා. මොකටද? පාර්ලිමේන්තුවේ හයෙන් පහේ බලය දිගටම රැක ගන්න. අන්තිමට මොකද වුණේ? ඡන්දය වෙනුවට තමන්ගේ මතය ප්‍රකාශකරන්න උණ්ඩය තෝරාගන්න මේ රටේ තරුණයෝ තීරණය කලා. උතුරේ කොටි ආයුද ගත්තා. දකුණේ ජවිපෙ ආයුද ගත්තා. ලංකාව දෙකොන දැවෙන විලක්කුවක් වුණා. පාර්ලිමේන්තුවේ හයෙන් පහේ බලය තිබුණාට අන්තිමට ජනාධිපතිට සිය නිවසේ සිට ජනාධිපති ලේකම් කාර්යාලයට යන්න බැරිව නිවාස අඩස්සියට පත් වුණා.

ජනාධිපතිතුමා අද යන්නේ මාමා ගිය අඩි පාරේ. මාමා කල දේ බෑනා නොකලොත් නොට්ටිගේ බෑනා කියාවි කියලා එතුමා හිතනවා ඇති.

ආණ්ඩුවේ මන්ත්‍රිවරු අහනවා, මැතිවරණය පවත්වන්නේ කොහොමද ආර්ථික අර්බූදයෙන් ගොඩ එන්න ඕනෑ කියලා. ආර්ථික අර්බූදයෙන් ගොඩ ඒමට මැතිවරණ පැවැත්වීම පූර්ව කොන්දේසියක්. මොකද සාමකාමී වාතාවරණයක් රටේ නැති නම් ආයෝජකයෝ එන්නේ නෑ. සංචාරකයෝ එන්නේ නෑ. ව්‍යාපාර පැවැත්වීමේ සාමකාමී පරිසරයක් නෑ. සාමකාමී වාතාවරණයක් ඇති කිරීමට නම් ජනතාවට සිය කේන්තිය පිටකරලා සාමකාමී වාතාවරණයක් ඇතිවීමේ පසුබිම ඇතිවිය යුතුයි.

සල්ලි නෑ සටන් පාඨය තව දුරටත් කියන්න එපා. මැතිවරණයට සල්ලි සොයන්න විකල්ප ක්‍රම 4ක් අපි ඉදිරිපත් කර තිබෙනවා. ඒ නිසා බොරු සටන් පාඨ නොකියා ඒ විකල්ප ක්‍රම වලින් මැතිවරණය සදහා මුදල් සොයා ගන්න. එහෙම කර ගැනීම රටේ සෞඛ්‍යයට වගේම ආණ්ඩුවේ සෞඛ්‍යයටත් යහපත් කියන එක මම සිහිපත් කරනවා.

– Media unit


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka