රට බෙදන, රට ලේවිලක් ගිනි ගොඩක් බවට පරිවර්තනය කරන 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලය බෙදීම සම්පූර්ණ කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ පාර්ලිමේන්තුව අමතමිනි.
එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
ජනපතිතුමන්ගේ ශරීර සෞඛ්‍යය
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරනවා කියලා ජනාධිපතිතුමන් සර්වපාක්ෂික සමුළුවේ දී ප්‍රකාශ කරලා තිබුණා. ඒ විතරක් නොවෙයි එතුමා කිව්වා තමන්ගේ රාජාසන කතාවේදී මේ බව පාර්ලිමේන්තුවට ද ප්‍රකාශ කරනවා කියලා. එදා එතුමා සිංහ නාද කළත් ඊයේ නම් අපට ඇහුනේ පුංචි කෙඳිරියක් විතරයි. මේ රටේ මහ සඟරුවන ප්‍රමුඛ කරගෙන අපි එදා නගපු විරෝධය ජනාධිපතිතුමාගේ ඇඟට දැනිලා තියෙන බවක් පේන්න තියෙනවා. ඒ ඇඟට දැමීම ඒ අයුරින්ම තියාගැනීම එතුමාගේ ශරීර සෞඛ්‍යයට බොහොම යහපත් කියලා මම එතුමාට සිහිපත් කරනවා.
ඉඩම් බලතල දීලා ඉවරයි
13 ට පක්ෂයි කියන අය වගේම 13 සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරනවාට විරුද්ධයි කියන අයත් 13වන සංශෝධනයේ ඉතිරි වෙලා තියෙන බලතල ගැන හරි අවබෝධයක් නොමැති බවයි කරන කතා වලින් පේන්නේ. ඉඩම් බලතල දෙන්න එපා කියලා සමහරු උද්ඝෝෂණය කරනවා අපි දැක්කා. නමුත් ඉඩම් බලතල දීලා ඉවරයි. පළාත් අමාත්‍යවරයෙක් විදිහට මා කටයුතු කළ නිසා මා දන්නවා ඉඩම් බදු දීම සම්බන්ධයෙන්, රජයේ ඉඩම් කළමනාකරණය සම්බන්ධයෙන් සම්පූර්ණ බලය තියෙන්නේ පළාත් සභාවට. ඒ වගේම ජනාධිපතිවරයාට යම් ඉඩමක් තෑගි දීමට අවශ්‍ය නම්, විකිණීමට අවශ්‍ය නම් පැවරීමට අවශ්‍ය නම්, ජනාධිපතිවරයාට එය කළ හැක්කේ පළාත් සභාවේ උපදෙස් මත පමණයි. 13 වන සංශෝධනයේ ඉඩම් සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක නොකර ඉදිරි වී පවතින්නේ ජාතික ඉඩම් කොමිසම ස්ථාපිත කිරීම පමණයි. එහෙම නම් 13නේ ඇත්තටම ක්‍රියාත්මක කරලා නැති ඉතුරුවෙලා තිබෙන බලතල මොනවාද ?
උතුරු නැගෙනහිර යළි ඒකාබද්ධ කරනවාද ?
එකක් තමයි උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම. නැතිනම් ඒ වෙනුවෙන් තනි පළාත් සභාවක් පිහිටුවීම. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (ආ 3) වගන්තියෙන් කියනවා පළාත් දෙකක් හෝ තුනක් ඒකාබද්ධ කර තනි පළාත් සභාවක් පිහිට විය හැකියි කියලා. 1987 දී මේ උතුරු සහ නැගෙනහිර වෙනුවෙන් තනි පළාත් සභාවක් පිහිටෙව්වේ හදිසි නීතිය යටතේ නිසා හදිසි නීතිය අහෝසි වුණහම උතුරු නැගෙනහිර ඒකාබද්ධ වීමත් අහෝසි වුණාය කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා.
එදා ඒකාබද්ධ කිරීම අහෝසි උනාට ඒකාබද්ධ කිරීමේ වගන්තිය අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන තාක් 13 සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරනවා කියන්නේ යළි උතුර සහ නැගෙනහිර ඒකාබද්ධ කරනවා කියන එකයි. නැගෙනහිර පළාතේ සාතිශය බහුතරයක් ඉන්නේ මුස්ලිම් ජනතාව. නැගෙනහිර මුස්ලිම් ජනතාව උතුරට පාවාදෙන්න ඔබ සූදානම්ද කියලා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතාගේ මම අහනවා. ඔබ එකඟ නැත්නම් 154 (ආ 3) වගන්තිය ව්‍යවස්ථාවෙන් ඉවත් කරන්න අපි හැමෝම එකතුවෙලා කටයුතු කරමු කියල මම යෝජනා කරනවා.
බෙදුම්වාදී ඇසේ ඇනුන කටුව
13වන සංශෝධනය අනුව නම් පුරාවිද්‍යාව කියන්නෙත් පළාත් සභා විෂයක්. එහි කියනවා ජාතික වශයෙන් වැදගත් යැයි නම් කර ඇති පුරාවිද්‍යා ස්ථාන හැර අන් සියල්ලම පළාත් සභාවේ විෂයට අයත් වෙනවා කියලා. ඒකත් ක්‍රියාත්මක වෙලා නැහැ. මොකද මේ වන විට අපේ පාර්ලිමේන්තුවේ කිසිම පුරාවිද්‍යා ස්ථානයක්, ඓතිහාසික ස්ථානයක් ජාතික වශයෙන් වැදගත් ය කියල සම්මත කරලා නැහැ. එහෙම නම් උතුරු සහ නැගෙනහිර පළාත්වල තියෙන නාගදීපය තන්තිරිමලේ ගිරිහඬු සෑය සේරුවාවිල මේ සියල්ලම අයත් වන්නේ පළාත් සභාවට.
දෙමළ බෙදුම්වාදීන්ට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ උතුරු නැගෙනහිර දෙමළ නිජබිම කිව්වට උතුරු නැගෙනහිර සිසාරා තියෙන්නෙ බෞද්ධ ශිෂ්ටාචාරයක නටබුන්. සිංහල ශිෂ්ඨාචාරයක නටබුන්. ඒ නිසා උතුරු නැගෙනහිර තිබෙන මේ පුරාවස්තු දෙමළ බෙදුම්වාදීන්ගේ ඇසෙයි ඇනුණු කටුවක් හා සමානයි. මේ කට්ට ඉවත් කරගන්න ඕන හන්දා තමයි සිරිවර්ධන බෝධිය කපා දැම්මේ. චෛත්‍ය ගණනාවක් ඩෝසර් කරලා දැම්මේ. එහෙම බෙදුම්වාදී මනසක් තියෙන උතුරු පළාත් සභාවට පුරාවිද්‍යා විෂය භාර කරනවා කියන්නේ නරින්ට කුකුල්ලු බාරදුන්නා හා සමාන වැඩක්.
අනාගත ඊලාම් යුද්ධයට එන උතුරේ නිල පොලිස් හමුදාව
13වන සංශෝධනයේ දැනට ක්‍රියාත්මක කරලා නැති තීරණාත්මක බලය තමයි පොලිස් බලතල. ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමා ගෙන් පටන් ගත්තහම ජනාදිපතිවරුන් හත් දෙනෙක් මේ පොලිස් බලතල පළාත් සභාවලට ලබා නොදෙන්න ඉතාම වැදගත් හේතු තිබ්බා. දෙමළ බෙදුම්වාදය මේ ලංකා භූමිය තුළ පරාජය කළාට ලංකාවෙන් පිටත වෙනදටත් වඩා හොඳින් ක්‍රියාත්මක වෙනවා. ලංකාවෙ බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට ලංකාවෙන් පිටත දෙමළ ඊලම පිහිටවලා ඉවරයි. මේකට කියන්නේ Transnational Government of Tamil Eelam. රාජ්‍යයන් පුරා පැතිරුණු දෙමළ ඊළාම් රාජ්‍යය. එහි අගමැති ධූරයට පත්වෙලා ඉන්නේ කොටි සංවිධානයේ ප්‍රධාන නීති උපදේශක විශ්වනාදන් රුද්‍රකුමාරන්. ඔහු රාජ්‍යවලට ගිහිල්ලා රාජ්‍ය නායකයන් හමු වෙලා තමන්ට දෙමළ ඊලම ලංකාව තුල පිහිටුවන්නට සහය ඉල්ලනවා.
මීට කලින් නැගෙනහිර තිමෝරය පලස්තීනය බිහිවෙන්නට කලින් ඒවා තිබුණෙ භූමියක් නැති ආණ්ඩු විදිහටයි. අදටත් දලයිලාමාතුමාගේ ආණ්ඩුව තිබෙන්නේ භූමියක් නැති ආණ්ඩුවක් විදිහටයි. එහෙම නම් නැගෙනහිර තිමෝරය පලස්තීන ගිය මග ඔස්සේ තමයි අද විශ්වනාදන් රුද්‍රකුමාරන් ගේ අගමැති ධූරය යටතේ දෙමළ ඊළාම් ආණ්ඩුව ගමන් කරමින් තිබෙන්නේ.
දෙමළ ඊළාම් ආණ්ඩුවට යුද බලය නොමැති නිසා තමයි භූමිය අහිමි උනේ. ඒ අපේ රණවිරුවන් නන්දිකඩාල් කලපුවේ දී කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කරපු නිසා. උතුරු පළාත් සභාවට පොලිස් බලතල ලැබුණොත් අවි දරන පොලිස් හමුදාවක් පළාත් සභාවට ලැබෙනවා. පළාත් සභාවේ මහ ඇමැති ධූරයට පත් වෙන්නේ විග්නේෂ්වරන් මහත්තයා වගේ බෙදුම් වාදියෙක් වෙන්න පුළුවන් බොහෝදුරට. එහෙම වුනොත් අනාගත බෙදුම්වාදී යුද්ධය, අනාගත ඊලාම් යුද්ධය ඇති වන්නේය ශ්‍රී ලංකා හමුදාව සහ උතුරේ පොලිසිය අතර. එදා කොටි ත්‍රස්තවාදීන්ට විවිධ රටවල් ආයුධ දුන්නෙ හොරෙන් හොරෙන්. පුහුණුව ලබා දුන්නෙත් හොරෙන් හොරෙන්. ත්‍රස්තවාදීන්ට උදව් කිරීම ජාත්‍යන්තර නීතිය යටතේ තහනම් දෙයක් නිසයි එහෙම කළේ. උතුරේ පොලිස් හමුදාව නම් බෙදුම්වාදී යුද්ධය පටන් ගන්නේ ඒක අපේ ව්‍යවස්ථාවෙන් පිළිගත්ත නිල හමුදාවක්. ඔවුන්ට විවෘතවම උදව් කරන්න ඕනෑ ම රාජ්‍යයක් පැකිලෙන්නේ නැහැ. ඒ නිසා මේ දෙමළ බෙදුම්වාදි විෂබීජය මේ මහ පොළොවේ තිබෙන තුරාවට උතුරට පොලිස් බලතල ලබා දෙනවා කියන්නේ තිස් දහසක් රණවිරුවන් දිවි පූජා කර රැකගත් මේ මව්බිම නැවත වතාවක් දෙපලු කරලා මේ රට ලේ විලක් ගිනි ගොඩක් බවට පත්කිරීමයි කියන එක අපි මේ සභාවට මතක් කරනවා.
පොලිස් හමුදා දහයක් පිහිටවූ විට රටට මොකද වෙන්නේ ?
අපි වාගේ කුඩා රාජ්‍යයක පොලිස් හමුදාවන් 10 ක් පිහිටවලා ඒ පොලිස් හමුදාවන් 10 ට එකිනෙකාගේ පළාත් සභා වලට නිල ඇඳුමෙන් යන්නට බැහැ කියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියන නීතිය ක්‍රියාත්මක උනොත් අපේ රටේ අපරාධ මර්දනය ප්‍රශ්නයක් වෙනවා.
මුම්බායි ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පස්සේ ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍යවරයා කියනවා බලගතු රටක් වුණත් අපට මේ ත්‍රස්තවාදී ප්‍රහාර වළක්වා ගන්නට නොහැකි උනේ රට පුරා විහිදුනු ආරක්ෂක ජාලයක් අපේ මධ්‍යම ආණ්ඩුවට නොතිබුණු නිසා කියලා. පොලිස් බලය මධ්‍යම ආණ්ඩුවට නොතිබුණු නිසයි ඉන්දියාවට ත්‍රස්තවාදී ප්‍රහාරය වළක්වා ගන්නට නොහැකි උනේ කියලා. නිකමට හිතන්න බස්නාහිර පළාතේ ඉඳන් අපේ පොලිසිය හොරෙක් ලුහු බැඳගෙන වාහනයක යනවා. වත්තලින් පටන්ගත්තොත් පැයක් යන්න කලින් සබරගමු පළාතට යනවා. එතනින් පැයක් යන්න කලින් මධ්‍යම පළාතට යනවා. එතනින් පැයක හමාරක් යද්දී උතුරුමැද පළාතට යනවා. ඒ අනුව හොරෙක් ලුහුබැඳීම කිසිදු පොලිසියකට කරන්න බැරුව යනවා. අපරාධ මර්දධනය විෂය දුෂ්කර කටයුත්තක් වෙනවා.
අර්බුදය මැද ජනතාව බෙදා වෙන් කරන්නේ ඇයි ?
අද අපි සිටින්නේ ඉතිහාසයේ දැවැන්තම අර්බුදයට මුහුණ දීලා. ඊයෙ රාජාසන කතාවේදී ජනාධිපතිවරයා ඉතා වැදගත් කාරණා දෙකක් සිහිපත් කළා. බලය බෙදීම සම්බන්ධයෙන් අපේ සමාජය තියුණු ලෙස බෙදිලා ඉන්නේ කියන එක එක් කරුණක්. 1957 රටේ කෝලාහල ඇති වුණේ 87 – 89 භීෂණය ඇතිවුණේ බලය බෙදීමේ ප්‍රශ්නය මතයි. එතුමා කියනවා සියලු භේද පසෙකලා ආර්ථික අර්බුදය නම් රකුසාට එරෙහිව සමස්ත ජාතිය ම එකතු විය යුතුයි කියලා. රාජාසන කතාවේ ජනාධිපතිතුමන්ගේ වචනවලින් ම කියනවා නම් වටු රෑන දැල ඔසවාගෙන ගිය ආකාරයට සමස්ත ජාතියම, මිලියන විසි දෙකම මේ ආර්ථික අර්බුදයට එරෙහිව සමගි විය යුතුයි.
සමගිය වශ්‍ය මොහොත මෙය නම් සමාජය වැඩියෙන්ම බිඳී සිටින ප්‍රශ්නය වන බලය බෙදීම ප්‍රශ්නය මේ මොහොතේ පෙරට ගැනීමෙන් සිදුවන්නේ ආර්ථික අර්බුදයට එරෙහිව සමස්ත ජාතිය සමගි කිරීමට ඇති අවස්ථාව අහිමි වීම පමණයි.ජයවර්ධනගේ කුඥය වික්‍රමසිංහ ගලවයි ද ?
ජනාධිපතිතුමාට පොඩි අවවාදයක් කරන්න තියෙනවා. ජයවර්ධන ජනාධිපතිතුමා බලය බෙදීම කියන ලී කොට ඉරාගෙන ඉරාගෙන ඇවිල්ලා කුඥයක් ගහලා එතනින් එහාට ලී කොටය ඉරන එක නැවැත්තුවේ හේතුවක් ඇතිව. ඉන්පසුව ආ ජනාදිපතිවරුන් මේ ගහපු කුඥය හොළවන්න වත් උත්සාහ නොකළේ හේතුවක් ඇතිව. ඒ හේතුව හරියට හොයන්නෙ බලන්නෙ නැතුව අර ලී කොටයේ ගහලා තියන කුඥය දැක්ක මෝඩ වඳුරා වගේ මේක හොලවලා හොලවලා ගැලෙව්වොත් එසේ ගලවා ජීවිතය අහිමි කරගත් වඳුරාගේ ඉරණමමයි ජනාධිපතිතුමාටත් අත්වෙන්නේ. එතුමා විනාශ වීම නොවෙයි අපිට තියන ප්‍රශ්නේ. එතුමා මේ මරාගෙන මැරෙන ඇඳුමක් ඇඳගෙන ඉන්නේ. ඉන් එතුමා විනාශ වන ගමන් රටක් විනාශ වෙනවා. ඒකයි අපිට තියන ප්‍රශ්නය.
ජනාධිපති තුමාගේ ඉතිහාසය ගත්තොත් 2002 දී අගමැති ධූරයට පත්වෙලා වසර දෙකකින් ඔහුට එය අහිමි වෙන්නේ බලය බෙදීමක් කරන්න උත්සහ කරපු නිසයි. ආයෙමත් 2015 දී අගමැති වෙනවා. වසර තුනකින් අගමැති ධුරය අහිමි වන්නේ බලය බෙදීමට ගිය නිසා. එතුමාට හැමදාමත් බලය අහිමි වන්නේ බලය බෙදීම කියන ප්‍රශ්නය කරට ගන්න නිසා. ඇල්බට් අයිස්ටයින් කියන මහා ප්‍රඥයා වරක් ප්‍රකාශ කරනවා ඔබ එකම පරීක්ෂණය එකම කොන්දේසි යටතේ වෙනත් ප්‍රතිඵලයක් බලාපොරොත්තුවෙන් වරින් වර කරනවා නම් ඔබට හොඳටම පිස්සු. අති ගරු ජනාධිපති තුමනි ඔබතුමාට හොඳටම පිස්සු කියන්නේ මම නෙවෙයි. ඇල්බට් අයිස්ටයින්. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිතුමාට පිස්සු හැදුනොත් වහාම එතුමාව ධූරයෙන් ඉවත් කරන්න ඕනේ. ඒ නිසා මේ බලය බෙදීම කියන ගිනි බෝලය අතට අරගෙන ජනාධිපති ධූරයත් අහිමි කරගන්න පමණයි ඔබට වෙන්නේ කියන එක එතුමාට සිහිපත් කරන්න ඕනෑ.
ඒ වගේම 1987දී 13 ට එරෙහිව අපි පාරට බහිනකොට අපි පාසල් ශිෂ්‍යයො. අපේ ජීවිත කාලයම ගෙවුණේ අපේ හිස නිකට පැහුනේ 13 ට එරෙහිව අරගල කරලා. ඒ නිසා මේ රට බෙදන මේ රට ලේවිලක් ගිනි ගොඩක් බවට පරිවර්තනය කරන මේ 13නේ බලය බෙදීම සම්පූර්ණ කරන්න කිසිවෙකුට අප ඉඩ තබන්නේ නැහැ කියන ප්‍රතිඥාව ජාතිය හමුවේ මා තබනවා.
– Media unit