කිඹුලාවල පමණක් නෙමෙයි රට පුරාම පාරවල්වල මෝටර් රථ ආඥා පනතේ ඇති විදි විධාන ක්‍රියාත්මක කරවනවා - බන්දුල ගුණවර්ධන
මාදිවෙල, කිඹුලාවල ප්‍රදේශයේ පිහිටි වීදි ආහාර ස්ථාන කිසිවිටක ඉවත් නොකරන බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (21) දින පාර්ලිමේන්තුවේදී පැවසීය.
වීදි ආහාර ක්‍රමවේදය සාර්ථක වැඩ පිළිවෙලක් බවත් එම ක්‍රමවේදයක් කිසිවකුට අවහිර නොවන සේ ක්‍රියාත්මක කිරීමට වැඩපිළිවෙලක් සකස් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා අද (21) පාර්ලිමේන්තුවේදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
පා.ම. හර්ෂද සිල්වා (ස.ජ.බ) –
ගරු කථානායකතුමනී, පාර්ලිමේන්තුව අසල කිඹුලාවල Street food කියන ස්ථානය සුද්ධ කරලා අයින් කරන්න යනවා කියලා ලොකු කටකතාවක් තියෙනවා. ඔබතුමා එහෙම දෙයක් කරයි කියලා මම විශ්වාස කරන්නේ නෑ. ඒක එහෙම කරන්න එපා කියලා අපි ඉල්ලනවා.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන (ශ්‍රී.පො.පෙ) –
ගරු කථානායකතුමනී, මාර්ග නීතියට අනුකූලව ඊට පරිභාහිරව කිසිදු අවසරණයකින් තොරව ක්‍රියාත්මක වෙන දේවල් ඉවත් කිරීමයි මේ කරන්නේ. එය මේ ස්ථානයේ පමණක් නෙමෙයි මුළු ලංකාව පුරාම මාර්ග පද්ධතිය තුළ මෝටර් රථ ආඥා පනතේ තිබෙන විදි විධානවලට අනුව ක්‍රියා කරන එකයි අපි මේ කරන්නේ. ඊට පරිභාහිරව කිසි පුද්ගලික න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරන්නේ නෑ.
මීට පෙර ඒ ප්‍රදේශයේ වාහන නවතා දැමීමට තිබුණ ඉඩකඩ, මගීන්ට යන්න තිබුණ ඉඩකඩ අවහිර වීම නිසා නාගරික සංවර්ධන අධිකාරියට පවා කීප වතාවක් පැමිණිලි ඉදිරිපත් කරලා තියෙනවා. කීප වතාවක් නාගරික සංවර්ධන අධිකාරිය ගෙනල්ලා එතැනින් ඉවත් කර ගන්නා ලෙස දැනුවත් කරලා තියෙනවා.
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග (ශ්‍රී.පො.ප) –
ගරු කතානායකතුමනී, කිඹුලාවල ප්‍රදේශයේ ව්‍යාපාර කටයුතු කරගෙන ගියේ සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා යන දිනවලයි. දැන් සතිය පුරාම එය ක්‍රියාත්මක වෙනවා. එතැන පාරෙන් මෙහා පැත්තේ තියෙන කඩවලින් පැමිණිලි ඇවිල්ලා තියෙනවා ව්‍යාපාර කටයුතු කරගෙන යන්න බැහැ කියලා. එතැන අපිරිසිදුතාවය පිළිබඳවත් පැමිණිලි ඇවිල්ලා තියෙනවා. ඒ පිළිබඳව අද නාගරික සංවර්ධන අධිකාරියේදී අපි සාකච්ඡාවක් තියෙනවා. එහිදී ඔවුන්ට නිසි ක්‍රමවේදයක් සකස් කරලා දෙන්න තීන්දු කර තිබෙනවා.
පා.ම. හර්ෂද සිල්වා (ස.ජ.බ) –
නමුත් ප්‍රසන්න රණතුංග ඇමතිතුමාගේ අමාත්‍යාංශය මේකට අනුමැතිය දිලා තියෙන නිසයි මේ කට්ටිය කරගෙන ගියේ. ඔබතුමා ඇමතිතුමා වෙන්න කලින් හිටපු කෙනා දෙන්න ඇති. එහෙම එක පාරට ඒකමතික තීරණ ගන්නේ නැතිව ඔවුන් සමඟ සාකච්ඡා කරලා සාධාරණ තීරණයක් ගන්න කියලා අපි ඉල්ලන්නේ.
පා.ම. විමල් වීරවංශ (ශ්‍රී.පො.පෙ – ස්වාධීන)
ගරු කථානායකතුමනී, ලංකාවේ ඊතාම සාර්ථකව කෙරුණ වීදි ආහාර ස්ථානය තමයි කිඹුලාවල ප්‍රදේශය. මේ ආර්ථික අර්බුදය තුළ මිනිස්සු ජීවත්වෙන්න පුදුමාකාර මහන්සියක් ගන්නවා. එහෙම පිරිසක් තමයි එතැනට ඇවිල්ලා ඒ කාර්යය කරන්නේ. එතැන වාහන තබදයකට ඉවහල් වෙනව නම් එයට සියුම් උත්තරයක් දෙන්න.
පා.ම. ජේ.සී. අලවතුවල (ස.ජ.බ) –
ගරු කතානායකතුමනී, මේක ලොකු අසාධාරණයක්. එතැන කිඹුලාවල කට්ටිය පමණක් නෙමෙයි කුරුණෑගල කට්ටියත් එතැන ව්‍යාපාර කටයුතු කරනවා. ජීවත් වෙන්න බැරි කණ්ඩායමක් මේ ව්‍යාපාරයට ඇවිල්ලා තියෙන්නේ.
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග (ශ්‍රී.පො.ප) –
ගරු කථානායකතුමනී, විපක්ෂයේ සියලු දෙනා මේ ගැන කතා කරන්නේ හිතළුවලට. මම වගකීමෙන් කියනවා අපි කිසිම අවස්ථාවක මෙම කඩ ඉවත් කිරීමක් කරන්න කටයුතු කරලා නෑ.
මම සංචාරක ඇමතිවරයා කාලේ සංචාරක ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් මෙතැනට හොඳ වාහනවලින් ඇවිල්ලා ව්‍යාපාරය කරගෙන යන්න පටන් ගත්තා. ඒක හොඳ දෙයක්. ලෝකේ හැම රටකම Street Food ව්‍යාපාර තියෙනවා. හැබැයි ඒවාට නිසි ක්‍රමවේද තියෙනවා. නිශ්චිත වේලාවට පටන් ගන්නවා, නිශ්චිත වෙලාවට අවසන් කරනවා. එම ස්ථාන පිරිසිදු කරන ක්‍රමවේදයක් තියෙනවා. අපි ඒ ක්‍රමවේදය අනුගමනය කරනවා මිසක් මේක ඉවත් කරන්නේ නෑ. මෙය සාර්ථක වැඩ පිළිවෙලක්. අපි නිසි ක්‍රමවේදයක් හදලා කාටවත් අවහිර නොවන සේ එය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලක් හදන්න සාකච්ඡා කරනවා.
– ප්‍රදීප් අනුර කුමාර
කිඹුලාවල පමණක් නෙමෙයි රට පුරාම පාරවල්වල මෝටර් රථ ආඥා පනතේ ඇති විදි විධාන ක්‍රියාත්මක කරවනවා - බන්දුල ගුණවර්ධන
2023-02-21T20:11:00+05:30
Lanka Hot News





