gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජාතික ගැටලුවට විසඳුමක් සෙවීමට මේ ස්වර්ණමය අවස්ථාව මඟ නොහරිමු !

උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ගැටලුවලට දේශපාලන විසඳුමක් ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවන සර්ව පාක්ෂික සාකච්ඡා මාලාව ලබන සතියේ ආරම්භ වීමට නියමිතව තිබේ. මේ සටහන ඒ වෙනුවෙනි.

දශක ගණනක් පුරාවට දේශපාලන අර්බුදයක් ලෙසිනුත් විටෙක සන්නද්ධ සිවිල් යුද්ධයක් ලෙසිනුත් ඇදි ඇදී පැමිණි ජාතික ගැටලුවට විසඳුමක් සෙවීම මේ මොහොතේ අතිශයින්ම තීරණාත්මක වේ. ඒ, එකී දශක ගණන පුරාවට වර්ධනය වෙමින් ආ ආර්ථික අර්බුදයේ අප මේ වනවිට කරමුලටම ගිළී සිටින බැවිනි. මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් අපට ජාත්‍යන්තර ප්‍රජාවගේත් විදෙස්ගත ශ්‍රී ලාංකික දෙමළ ප්‍රජාවගේත් සහයෝගය අත්‍යාවශ්‍යව ඇති බැවිනි.

මේ ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාව ගොඩ එන්නේද නැද්ද යන්න සහ එසේ ගොඩ ඒමට කොතරම් කාලයක් ගතවේද, ඒ කාලය තුළ ශ්‍රී ලාංකිකයින්ට කොතරම් විඳවීමට සිදුවනු ඇතිද යන කාරණා තීරණය වනු ඇත්තේ ජාත්‍යන්තර ප්‍රජාවගෙන් අපට ලැබෙන සහයෝගයේ ප්‍රමාණය අනුව ය. පසුගිය යුධ සමයේත්, ඉන් පසුවත් ශ්‍රී ලංකාවේ ආණ්ඩු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවේත් ඉන්දියාව හමුවේත් ලබාදුන් පොරොන්දු අනේක වාරයක් කඩකිරීම තුළ ශ්‍රී ලංකාව කෙරෙහි ජාත්‍යන්තරයේ ඇත්තේ ධනාත්මක හැඟීමක් නොවන බව සත්‍යයකි. විශේෂයෙන්ම ජාතික ගැටලුවකට විසඳුමක් සෙවීමෙහිලා ශ්‍රී ලංකා රජයේ අවංකභාවය පිළිබඳ සැකයක් ඔවුන්ට ඇතිවී තිබීම ස්වභාවික ය.

එසේම රට තුළ පවතින මේ දේශපාලන අර්බුදයට විසඳුමක් සොයාගැනීමට රටේ දේශපාලකයින් එක්ව කටයුතු නොකරන තුරු ඔවුන් අපේ ආර්ථික ප්‍රශ්න විසඳාගැනීමට ආධාර කිරීමට ද වැඩි උනන්දුවක් නොදක්වනු ඇත. මන්දයත් අපේ මූලික දේශපාලන ප්‍රශ්නය විසඳාගැනීමටවත් අපට උනන්දුවක් නැත්නම් අපේ අනෙකුත් ප්‍රශ්න විසඳාදීමට ඉදිරිපත් වීමට පැහැදිලි හේතුවක් ඔවුන්ට ද නොපෙනෙන බැවිනි. එහෙයින් රටේ දැවෙන ආර්ථික ප්‍රශ්නය විසඳාගැනීමට නම් ජාතික ගැටලුවට විසඳුම් සෙවීමේ ප්‍රවේශය අප විසින් සාර්ථක කරගත යුතුවම ඇත.

එහිදී මේ ගැටලුවට විසඳුම් සෙවීමට නායකත්වය දිමේ හැකියාව සහිත පුද්ගලයා මේ වනවිට රටේ විධායක ජනාධිපති ධුරයට පත්ව තිබීම ද රටට වාසියකි. රනිල් වික්‍රමසිංහ මහතා යනු ජාතික ගැටලුවට බලය බෙදීමේ විසඳුමක් ලබාදිය යුතුය යන දේශපාලන දර්ශනයේ පිහිටා කටයුතු කළ, එසේ කරන දේශපාලනඥයෙකි. දේශපාලන විරුද්ධවාදීන් තමන්ට කොටි ලේබල් අලවද්දී පවා ඒ මහතා සිය ස්ථාවරය වෙනස් කළේ නැත.

මීට පෙර චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජනාධිපති ධුරය දැරූ සමයේදී බලය බෙදීමේ යෝජනාවලියක් ඇය විසින් ද ඉදිරිපත් කරන ලද නමුත් එදා රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය ඊට ලැබුණේ නැත. ඉන්පසුව රනිල් වික්‍රමසිංහ මහතා දියත් කළ සාම ක්‍රියාදාමයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු බලවේග එරෙහි විය. ඉතිහාසය එබඳු වුවත් අද වනවිට රනිල් වික්‍රමසිංහ මහතා විධායක ජනාධිපති ධුරයේ සිටින අතර ඔහු ආණ්ඩු කරන්නේ ශ්‍රීලනිපයෙන් බිඳී ආ පොහොට්ටුවත් සමග ය. මේ සුසංයෝගය ද මේ මොහොතේ තීරණාත්මක වනු ඇත.

එමෙන්ම මෙම වෑයම සාර්ථක කරගැනීම සඳහා උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ සහ දකුණේ දේශපාලන පක්ෂ අතර පාලමක් විය හැකි තවත් සුවිශේෂී පුද්ගලයකුත් වත්මන් පාර්ලිමේන්තුවේ සිටීම ඉතාම වාසිසහගත තත්වයකි. ඒ, රාජිත සේනාරත්න මහතා ය. වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන ජ්‍යේෂ්ඨතම දේශපාලනඥයකු වන රාජිත සේනාරත්න මහතා සිය දීර්ඝ දේශපාලන දිවිය තුළ නොකඩවාම සුළුතරයේ දේශපාලන අයිතීන් වෙනුවෙනුත් ජාතික ගැටලුවට දේශපාලන විසඳුමක් ලබාදීම වෙනුවෙනුත් පෙනී සිටි අයෙකි. ඔහු පක්ෂ මාරු කළත් සිය ප්‍රතිපත්ති වෙනස් නොකළ පුද්ගලයෙකි. විශේෂයෙන්ම සිංහල ජාතිවාදය ඉහටත් ඉහළින් ඔසවාගෙන ගිය මහින්ද රාජපක්ෂ රජයේ කැබිනට් අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරද්දී පවා ඔහු ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් අත්‍යාවශ්‍යය යන තමන්ගේ ස්ථාවරය වෙනස් කරගත්තේ නැත. මහ ජාතිවාදයේ ප්‍රකාශයකින් සහ අනුගාමිකයින් වෙතින් කොතරම් නින්දා අපහාස එල්ල වුවත්, එය තමන්ගේ පුද්ගලික දේශපාලන ගමනට කොතරම් අවාසිසහගත වුවත් රාජිත සේනාරත්න කිසිවිටෙක ඔවුන් ඉදිරියේ නැවුණේ නොමැති බවට ඉතිහාසය සාක්ෂි දරයි. එහෙයින් දෙමළ දේශපාලන පක්ෂවලට ඔහු කෙරෙහි විශ්වාසය තැබිය හැකිය.

එමෙන්ම ජාතික ගැටලුවට විසඳුමක් සෙවීමට උත්සාහ දැරූ සෑම මොහොතකම පාහේ දකුණේ ජාතිවාදී බලවේග එය හැඳින්වූයේ රට බෙදීමේ වෑයමක් වශයෙනි. එහෙත් මේ මොහොත වනවිට ආර්. සම්බන්ධන් මහතා ප්‍රමුඛ දෙමළ ජාතික සන්ධානය ඉතාම පැහැදිලිව ප්‍රකාශ කරන්නේ රට බෙදීමේ වුවමනාවක් තමන්ට කිසිසේත්ම නොමැති බවත් තමන් ඉල්ලා සිටින්නේ බලය බෙදීමක් පමණක් බවත් ය. වෙනම රාජ්‍යයක් වෙනුවෙන් සටන් වැදුණු LTTE ය තවදුරටත් නොමැති තත්වයක් තුළ, දෙමළ ජාතික සන්ධානයත් ඉතාම පැහැදිලිව රට බෙදීමක් වුවමනා නැතැයි ප්‍රකාශ කරන තත්වයක් තුළ බලය බෙදීමකට එරෙහිව දකුණේ ජාතිවාදී දේශපාලනඥයින් ගෙන එන තර්ක ද පදනම් විරහිත හා බෙලහීන තත්වයකට පත්වනු ඇත.

රටක් වශයෙන් මේ මොහොතේ අපට සිටින්නේ බෙදී වෙන්වී කුළක් කාගනිමින් නැසී යනවාද, එකට එකතු වී දේශපාලන – ආර්ථික ගැටලු විසඳාගනිමින් රැකෙනවාද යන අතිශය තීරණාත්මක ප්‍රශ්නයට මුහුණ දෙමිනි. කිසිදු තේරුමක් නැති ජාතිවාදයක් කරපින්නාගෙන ආර්ථික අර්බුදයේ පතුළක් නොමැති අගාධයට පනිනවා වෙනුවට ඒ ජාතිවාදය පිටුදකිමින් රටේත් අනාගත දරු පරපුරේත් අභිවෘද්ධියට මඟ කැපීමේ අහාර්ඝ අවස්ථාව අප ඉදිරියේ තිබේ.

ඉතින් ඒ ස්වර්ණමය අවස්ථාව මඟ නොහරිමු …. !!

~ දර්ශන වීරසිංහ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka