පාර්ලිමේන්තුවටත් ඉහළින් සිට කටයුතු කරමින් සිටින ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා මුල් වී එම ආයතනයේ සිදුවන දූෂණ වංචා සෙවීම සඳහා තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර අද (09) පාර්ලිමේන්තුවේ දී කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස තමන් පාර්ලිමේන්තතුවේ දී කළ ප්‍රකාශයක් මුල් කරගෙන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා විසින් බිලියන 02 වන්දියක් ඉල්ලා එවූ එන්තරවාසියක් සම්බන්ධ වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමිනි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ලැබෙන වරප්‍රසාද අනුව පසුගිය ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙරට පැවැත්වීමට අවස්ථාව ලබා නොගැනීම සම්බන්ධව 22.08.09 දින පාර්ලිමේන්තුවේ දී තමන් කරුණු ඉදිරිපත් කළ බවත් ඊට ප්‍රති උත්තර දීම සඳහා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා විසින් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තමන් සම්බන්ධව ප්‍රකාශයක් සිදු කළ බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.
එම ප්‍රවෘත්ති සාකච්ඡාව මගින් මතු කළ කරුණු සඳහා තමා විසින් නැවත කරුණු දැක්වූ අවස්ථාවේ දී එම ප්‍රකාශය සම්බන්ධ එන්තර වාසියක් එවවමින් රුපියල් බිලියන 02 වන්දියක් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා විසින් තමාගෙන් ඉල්ලා ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.
පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද 03වන වගන්තිය යටතේ භාෂණයේ සහ විවාද කිරීමේ අයිතිය අධිකරණයකින් හෝ ප්‍රශ්න කළ නොහැකි බව කී මන්ත්‍රිවරයා මෙම සිදුවීම තුළින් මහජන නියෝජිතයෙක් තම වරප්‍රසාද උල්ලංඝණය වී ඇති බව කීවේය.
මෙම කරුණ වරප්‍රසාද කමිටුව වෙත ඉදිරිපත් කර මහජන නියෝජිතයෙක් ලෙස වරප්‍රසාද ආරක්ෂා කර දෙන මෙන් නලීන් බණ්ඩාර ඉල්ලා සිටියේය.
කතානායකවරයා කීවේ එම ඉල්ලීම වරප්‍රසාද කමිටුව වෙත යොමු කරන බවය.
නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා මෙසේද පැවසුවේය.
“ මම කිව්වේ සාධාරණ කාරණයක්. ආසියානු කුසලානය අපේ රටේ තිබුණ නම් අපේ රටට සංචාරකයො එනවා. ආදායමක් එනවා. ඒ කාරණය මතුකළාම ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ක්‍රිකට් කණ්ඩායමේ නාකයාත් ලඟ තබාගෙන අහනවා නලීන් බණ්ඩාර කවුද . මම එයාව දන්නෙ නෑ. එයාට ගණන් බෑ කියලා.. බොහොම අපහාසාත්මකව ප්‍රසිද්ධියෙ ප්‍රකාශ කළා. .
“පසුගිය කාලෙ ඒ සම්බන්ධව කතා කළේ නැත්තෙ ලෝක කුසලාන තරගාවලිය තියෙන නිසා වචනයකින් හෝ කණ්ඩායමට අවාසියක් වේවි කියලා.“
“අද මේ කතා කරන්න හේතු වුනේ ඊට පස්සෙත් ඔහු යූ ටියුබ් කාරයින්ට සල්ලි ගෙවලා ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංගට, ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහට විරුද්ධවත් මඩ ගහන්න ගත්තට පස්සේ.“
“මොකද ක්‍රිකට් පාලක මණ්ඩලයෙ සභාපතිවරයා අත්තනෝමතිකව කටයුතු කරනවා කියලා ඕන තරම් උදාහරණය තියනවා.“
“මෙච්චරකල් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා කැබිනට් ඇමතිවරයා කරේ දාගත්තා. නැතිනම් ඔඩොක්කුවට දාගත්තා. මා සතුටු වෙනවා දැනට ඉන්න කැබිනට් ඇමතිවරයා රොෂාන් රණසිංහව තවම කරේ දාගන්න ඔඩොක්කුවට දාගන්න බැරිවෙලා තියනවා. ඒ නිසා තමයි ඔහුට මඩ ගහන්නෙ. “
“ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා කටයුතු කරන්නෙ අත්තනෝමතික ආකාරයට. මම මගෙ මිත්‍රයෙක් හම්බවෙන්න සීසීසී ක්ලබ් එකට ආවට පස්සේ ඔහුට තර්ජන කරන්න ආවා කියලා පොලිස් පැමිණිල්ලක් දාලා තියනවා. මේ සිකුරාදා කුරුඳුවත්ත පොලිසියට එන්න කියලා තියනවා. මම කිව්වා මම එනකොට ඒ අයත් කැඳවන්න කියලා ප්‍රශ්න කරන්න. “
“ක්‍රිකට් පාලක මණ්ඩලය අද බුකි කාරයින්ට යටවෙච්චි සූදු පිටියක්. පාර්ලිමේන්තුවටත් එහා ගිය බලයක් ආරූඪ කරගත්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිව හෙට අනිද්දට කෝප් කමිටු සාමාජිකයෙක් විදිහට මා කෝප් කමිටුවට කැඳවන්න බලාපොරොත්තු වෙනවා.“
මේ ආයතනය ක්‍රිකට් ක්‍රීඩාවට සිදුකළ අගතිය සොයා බැලීම සඳහා තේරීම් කාරක සභාවක් පත්කරන ලෙසත්, ක්‍රිකට් පාලක මණ්ඩලය විගණනය කර එහි දූෂණ සම්බන්ධවත්, ක්‍රීඩා ගිවිසුම් සම්බන්ධවත් සොයා බලන්න ලෙසත් නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේය.
- lankasara
