පාක්ෂිකයන් දහස් ගණනක් පැමිණ ඩාලි පාරේ පක්ෂ මූලස්ථානය වටලා ඉන් එළියට ඇද දමන තුරු නොසිට තනතුරුවලින් ඉවත් වන්නැයි ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ විධායක සභික මොන්ටේගු සරත්චන්ද්‍ර පක්ෂ සභාපති, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබේ.
ඉකුත් 2015 යහපාලන ආණ්ඩුව පිහිටුවීමේ සිට මේ දක්වා රාජපක්ෂ කණ්ඩායමට ශ්‍රී ලනිපය විනාශ කිරීමට අවශ්‍ය ඉඩප්‍රස්ථාව නිර්මාණය කිරීමත් එමගින් පක්ෂය වේගයෙන් විනාශයට ඇද දැමූ බවට ත් පක්ෂ සභාපතිවරයාට චෝදනා කරමින් ඔහු මේ ලිපිය යොමු කර තිබේ.
එමෙන් ම පසුගිය 2018 වසරේ පක්ෂ ලේකම් දැනුම්වත් නොකොට මහින්ද රාජපක්ෂ අගමැති ධූරයට පත් කරමින් පක්ෂ විනය කඩා දැමූ බවත් අනතුරුව පසුගිය සැප්තැම්බර් 2 වන දා ඒකාධිපති ලෙස පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කර අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය මරා දැමුවේ පක්ෂ සභාපතිවරයා බවත් මොන්ටේගු සරත්චන්ද්‍ර එම ලිපියෙන් චෝදනා කොට ඇත.
චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනපතිනියට පින්සිදු වන්නට 2015 දී පක්ෂයේ සභාපති ධූරයට පත්වුව ද පසුගිය සැප්තැම්බර් 26 දා බණ්ඩාරනායක ගුණ සමරුව දෙකඩ කිරීමට පක්ෂ සභාපතිවරයා ක්‍රියා කළේ ඉතිහාසය අමතක කර බව ද සඳහන් කර තිබේ.
2015 ජනාධිපතිවරණයේදීත් 2020 මහ මැතිවරණයේදීත් පක්ෂයේ සියලු ව්‍යවස්ථාපිත සංවිධානවල තීරණ නොසලකා පක්ෂ ලේකම්වරයා සමග එක්ව හිටපු ජනපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණට පාවා දුන් බවට ද එම ලිපියෙන් චෝදනා කර ඇත.
එය මෝඩ තකතීරු තීරණයක් බවත් ඉන් පාක්ෂිකයන් පමණක් නොව සමස්ත රට වැසියන් ද වන්දි ගෙවන බවත් මොන්ටේගු සරත්චන්ද්‍ර එම ලිපියෙහි තව දුරටත් සඳහන් කර තිබේ.
