gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඥාණක්කා ඇමරිකා උවමනාවට ගෝටාභය ඇන්දූ හැටි විමල් කියයි..

IMF වට්ටෝරුව ගිල්වා, මහජනයාගේ ඥානය අහිමි කරමින්, ඔවුන් ආවේගශීලී කරමින් විදේශ සාම සාධක හමුදාවකට පාර කපන වත්මන් ආණ්ඩුවේ ගමනට තිත තැබිය යුතු බවත් ඒ සඳහා මහ මැතිවරණයක් මඟින් වත්මන් ආණ්ඩුව පෙරළා දැමිය යුතු බවත් ඉන් අනතුරුව මහජනයා සමග බද්ධ වූ වැඩපිළිවෙළක් හරහා වත්මන් අර්බුදයෙන් රට ගොඩගත යුතු බවත් පෙන්වා දෙන උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා, ඒ වෙනුවෙන් එක් වන ලෙස සියලු ප්‍රගතිශීලී ජන බලවේගවලට ඇරයුම් කර සිටියි.
මාතර නූපේ සණස ශාලාවේදී උත්තර ලංකා සභාගයේ ‘මාතර සම්ප්‍රාප්තිය’ නමින් පැවති සමුළුවේ දී ඒ මහතා මෙසේ ඇරයුම් කර සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ හිටපු අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

‘රුහුණේ අනන්‍යතාව’

“මාතර අතීතයේ සිටම උරුම වූයේ රුහුණටයි. මට මතකයි මහාචාර්ය රාජ් සෝමදේවයන් මානව විද්‍යාඥයින් විසින් සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵල උපුටා දක්වමින් පැවසුවා, ‘රුහුණේ මිනිසුන්ගේ හිස් කබල අනිකුත් පළාත්වල මිනිසුන්ගේ හිස් කබලට වඩා විශාලයි’ කියා. එළාර රජුගේ වසර 44ක පාලනය අවසන් කිරීමට දුටුගැමුණු කුමරුට සේනා සංවිධානය කර ගැනීමට හැකි වුණෙත් රුහුණේදීයි. මේ රට අවුරුදු 77ක් ගිලගෙන සිටි චෝල අධිරාජ්‍යයෙන් මුදවා ගැනීමට රාජ උරුමය තිබූ කීර්ති කුමාරයා, කීර්ති විජයබාහු ලෙස බලගැන්වූයේ අපේ රුහුණේ ආදී මුතුන්මිත්තන් විසිනුයි. අපේ ඉතිහාස කතාවේ රුහුණ කියන්නේ විශේෂ අනන්‍යතාවක්. ඒ නිසා අපි විශ්වාස කරනවා, අපේ රට මෑත ඉතිහාසයේ බරපතලම අර්බුදයකට මුහුණ පා සිටින මේ වේලාවේදීත් රුහුණේ ජනතාව තම අතීත භූමිකාවට පණ පොවාවි, කියා.

‘2013දී කළ අනතුරු ඇඟවීම’

‘මේ ආර්ථික අර්බුදය ඇතිවුණේ කොහොමද, මේක කලින් දැක්කේ නැද්ද?’ කියා සමහරු අහනවානේ. මම මේ මගේ නලාව මමම පිඹගන්නවා නොවෙයි. අපි මේ අර්බුදය කලින් දැක්කා. අපේ මේ පක්ෂවල නායකයෝ එය කලින් දැක්කා. මම මේ පිළිබඳව මුල්වරට අනතුරු ඇඟවූයේ 2013 පෙබරවාරි 16 වැනිදා ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ 56 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ ආරාධිත දෙසුම සිදු කරමිනුයි. ‘අපි මේ ජීවන රටාව පවත්වාගෙන යන්නේ ඩොලර් බිලියන 01ක ණය අයිරාවක් සමගයි. අපේ විදේශ විනිමය ආදායම සහ විදේශ විනිමය වියදම අතර ඩොලර් බිලියන 01ක පරතරයක් තිබෙනවා. ඒ පරතරය පියවා ගන්නේ ණය අරගෙනයි. මේ ගමන කොපමණ කාලයක් යන්න පුළුවන්ද?’ කියන අනතුර මම එහිදී පෙන්වා දුන්නා. ‘ඒ ගමන නතර වන දවසට බාහිර බලවතුන් අපේ බෙල්ල මුලින් අල්ලා ගන්න එකක් නැද්ද?’ යනුවෙන් මම එදා විමසා සිටියා. නමුත් 2013දී සිටි මුදල් අමාත්‍යවරයාට හෝ මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී.බී. ජයසුන්දරටවත් එවැනි දෙයක් ගැන සාකච්ඡා කිරීමට හෝ අඩුම තරමින් හිතන්නවත් ඕනෙ කමක් තිබුණේ නැහැ. අන්තිමේදී අපි අර්බුදයේ කරවටට ගිලෙන තෙක් ඉදිරියට ආවා.

‘වික්‍රමසිංහ ආණ්ඩුව යන පාර’

අපි මේ අර්බුදය ඉතා බරපතළ බව පවසන්නේ ඇයි? කට්ටියක් බලනවා මේ අර්බුදය ශ්‍රී ලංකා රාජ්‍යයේ බෙල්ල මිරිකලා මරා දමන අවස්ථාව බවට පත් කර ගන්න. අද වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව යන්නේ ඒ පාරේ. වික්‍රමසිංහ මහත්තයා ප්‍රමුඛ යහපාලන ආණ්ඩුව කාලයේ අවුරුදු හතරහමාරට ශ්‍රී ලංකාව නිදහසින් පසුව මුදල් වෙළඳපොළින්, විදේශ රටවවලින් අරගෙන තිබූ ණය ප්‍රමාණයට ආසන්න ණය ප්‍රමාණයක් ගත්තා. ද්විපාර්ශ්වික ණය වගේ නොවෙයි මුදල් වෙළඳපළින් ගන්නා ණයවලට සහන කාලසීමා නැහැ. පොලිය වැඩියි. අපි මුදල් වෙළඳපොළින් අරගෙන තිබෙන ණයවලින් 80%ක්ම ගෙන ඇත්තේ ද ඉහත කී අවුරුදු හතරහමාරක යහපාලන සමයේදීයි. එහි ප්‍රතිඵලයක් ලෙස අපි රටක් ලෙස ගෙවිය යුතු ණය වාරිකය එකවරම ඉහළ නගිනවා.

‘ඇමරිකානු ඥානක්කා’

ඒ නිසයි මම කියන්නේ, ‘අද හැදුණු හෙම්බිරිස්සාවට සීතල වතුර නෑවේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ යහපාලන ආණ්ඩුව කාලයේදීයි’ කියා. එයා නාපු සීතල වතුරවලට එයාට හෙම්බිරිස්සාව හැදුණේ නැහැ. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට හෙම්බිරිස්සාව හැදුණා. නමුත් අපි හෙම්බිරිසාව හැදෙන්න කලින් කිවිසුමක් දෙකක් එනකොට කීවා, ‘මේක සරලව ගන්න එපා! නියමිත ප්‍රතිකර්ම සිදු කරන්න. නැතිනම් නිව්මෝනියාවෙන් නතර වෙන්නේ’ කියා. නමුත් එයා අපි කියන එක ඇහුවේ නැහැ. එයා බෙහෙත් ගත්තේ ඇමෙරිකානු ඥානක්කාගෙන්. ඇමරිකානු ඥානක්කා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අන්දාගන්න හරි ලස්සන මැච් එකක් ගැහුවා. දිනපතාම හමුවෙලා, ‘අරක කරන්න එපා, මේක කරන්න එපා’ කියා පැවසුවා. එහෙම කරලා අනිත් පැත්තට ගිහින් කියනවා, ‘දැන් ගහන්නේ නැහැ, වෙඩි තියන්නේ නැහැ. දැන් කඩාගෙන පලයන්, අවුලක් නැහැ.’ ආදී වශයෙන්. ඇමෙරිකානු ඥානකතා පොලිස්පති, හමුදාපති හමුවෙලා ඒ දෙපැත්ත නියුට්‍රල් කරනවා. ඒ නිසා ඇමරිකානු ඥානක්කාගේ ප්‍රතිකර්මය ගන්න ගිය ගෝඨාභය රාජපක්ෂ අවසානයේ ඉතාම අවාසනාවන්ත විදියට රටත් අමාරුවෙ දමලා, තමන් 99න් බේරුණා.

‘නව සංවර්ධන මොඩලයක්

දැන් ඉතා පැහැදිලියි, එක් පිරිසක් මේ අර්බුදය යොදාගන්නේ ශ්‍රී ලංකා රාජ්‍යයේ බෙල්ල මුලින් මිරිකන්න; අපේ රට හොඳට තිබෙනකොට කරපු ඉල්ලීම් කෙසේ හෝ ඉටු කර ගැනීමට. නමුත් අපි බලන්නේ මේ අර්බුදය නව සමාජ ආර්ථික මොඩලයක උත්පත්තිකර අවස්ථාව බවට පත් කරගන්න. මේ අර්බුදය ඇතුළේ අපට දැනෙන වේදනාව ඒ නව උත්පත්තිය සඳහා වන ප්‍රසව වේදනාව ලෙස සලකලයි අපි කටයුතු කරන්නේ. මේක තමයි 1977 සිට ණයට අරන් සැපට කමින්, ඔහේ ආපු වැරදි සංවර්ධන මොඩලය ඉවතට දමලා නව සංවර්ධන මොඩලයක්, නව සමාජ ආර්ථික හැඩගැස්මක් හදන්න අපට ලැබෙන අවස්ථාව. නමුත් මේ පාලකයන් යන්නේ ශ්‍රී ලංකා රාජ්‍යයේ බෙල්ල මිරිකා, මරා දමන දිශාවටයි.

‘සමන්තා පවර් කියූ ඉරණම’

දැන් බලන්න, මහ බැංකුව පොලී අනුපාතය 30% දක්වා ඉහළ දමනවා. 30%ක පොලී වාරිකයක් සමගින් ව්‍යාපාර, කර්මාන්ත කරන්න පුළුවන්ද? ඒ අතරේ විදුලි බිල 70%කින් ඉහළ දමනවා. දැන් බදු පෝරියල් එකක් පටන් අරන්. එදා ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට ‘IMF යන්න’ කියපු විපක්ෂයේ ඇතැමුන්, අද IMF කීම මත දමන බදු තොගය දිහා බලලා කියනවා, ‘මේක හරි අමානුෂික බදු ගැසීමක්’ කියා. පසුගියදා ලංකාවට ආපු අමෙරිකානු ආධාර නියෝජිතායතනයේ ප්‍රධානී, සමන්තා පවර් නෝනා කීවා, ‘ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ජනතාවට බලවත් දුෂ්කරතා විඳ ගැනීමට සිදු වේවි’ කියා. IMF කියන්නේ ඇමරිකානු දේශපාලන සිතියමේ තිබෙන එක් ආයතනයක්. ඒ නිසා තේරුම් ගන්න, IMF එක අප රැගෙන යන්නේ සමන්තා පවර් කියූ ඉරණම වෙතයි.

‘ලක්ෂයේ මූර්ත වටිනාකම’

මම දැක්කා, කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිතුමා කියනවා, ‘රුපියල් ලක්ෂයේ පඩිගන්න කෙනෙක්ගෙන් බදු අය කරන එක අසාධාරණ ද?’ කියා. කෙහෙළිය රඹුක්වැල්ල මහත්තයෝ, ඒ කාලේ රුපියල් ලක්ෂයයි මේ කාලයේ රුපියල් ලක්ෂයයි අතර පුදුම වෙනසක් තියෙනවා. මේ අර්බුදයට කලින් රුපියල් 30,000කින් කරපු වැඩ අද රුපියල් ලක්ෂයකින්වත් කරන්න බැහැ. මේ කාලේ රුපියල් ලක්ෂයක මූර්ත වටිනාකම එදා රුපියල් තිස්දාහකට සමානයි. ඒ කිසිවක් සලකන්නේ නැතිව පඩිය ලක්ෂය නම් ගහනවා බද්ද. දැන් බලන්න මේ විදිහට බදු පිට බදු ගහපුවාම වෙන දේ. කර්මාන්ත,ව්‍යාපාර වැටෙනවා. විරැකියාව වැඩි වෙනවා, අපට කියනවා, ‘මේ විදිහට කරන්නෙ උද්ධමනය අඩු කර ගැනීමට’ කියලා. උද්ධමනය වැඩි වෙන්නේ මුදල් අච්චු ගැසීමෙන් පමණද? දැන් IMF එක කියනවානේ ‘මුදල් අච්චු ගහන්න එපා! රජයේ වියදම්වලට මුදල් නැත්නම් බදු ගහලා හොයපන්’ කියා. ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් නොවෙයි ඕනෑම රටක මහ බැංකුවක කාර්යය තමයි අවශ්‍ය ප්‍රමාණයට මුදල් අච්චු ගහන එක. අපේ රටේ තිබුණු ආණ්ඩු වෙන කිසිවක් නොකර මුදල් අච්චු ගහමින් හිටපු එකේ වරදක් තිබෙනවා.

‘බදු ගැහිල්ලෙන් වෙන දේ’

මේ බදු ගැහිල්ලෙන් වෙන්නේ වැහෙන කර්මාන්ත තොගය, ව්‍යාපාර තොගය වැඩි වෙන එක; රැකියා අහිමිවන්නන්ගේ තොගය වැඩි වෙන එක; සමාජ අසහනය, පීඩනය කිහිප ගුණයකින් වැඩි වෙන එක; නැවත කැරලිකාරී සමාජ ප්‍රතික්‍රියාවකට අතවනන එක. ඒක තමයි මේ කරන්නේ. ලීලාවතී රැජින තුන්වතාවක් රජ වූ යුගයක් අපේ ඉතිහාසයේ තිබෙනවා. කුඩා දරුවකුත් වසර කිහිපයක් රාජ්‍යත්වයට පත් කළ ඒ යුගයේ අරාජිකත්වයක් ගොඩනැගෙමින් තිබුණා. කාලිංග මාඝ ආක්‍රමණය සිදුවූයේ ඒ කාලයේදීයි. ඉන් පසුව තමයි අපට යාපහුවට පසු බසින්න සිදු වූයේ. මෙවැනි අර්බුදකාරී අවස්ථාවල තමයි බාහිර බලවේග, ‘මේක තමයි බෙල්ල මුලින්ම අල්ලා ගන්න වාසිදායක වෙලාව’ කියා ක්‍රියාත්මක වන්නේ. අමෙරිකා එක්සත් ජනපදයට මේ රට අල්ලා ගැනීමට උවමනාව නැද්ද?

‘ඉන්දියානු සාගර කලාපය’

අපි දන්නවා, ඉන්දියානු සාගර කලාපය තුළ රටවල් 28ක් තිබෙන බව. මහාද්වීප තුනක් හරහා විහිදෙන ලෝකයේ භූමි ප්‍රමාණයෙන් 17.5%ක් ඊට අයත්. 2017 වන විට එහි ජනගහනය ලෝක ජනගහනයෙන් 35%ක්. එහි බිලියන 2.6ක ජනගහනයක් වාසය කරනවා. මේ කලාපය තමයි මැදපෙරදිග, අප්‍රිකාව, නැගෙනහිර ආසියාව, යුරෝපය හා ඇමරිකාව සම්බන්ධ කරන ප්‍රධාන මුහුදු මාර්ග සඳහා නිවහන වන්නේ. ඒ විතරක් නෙවෙයි මේ කලාපයේ සමුද්‍ර වෙළදාමෙන් තමයි ලෝක තෙල් අවශ්‍යතාවයෙන් අඩකට වඩා රැගෙන යන්නේ. ලෝකයේ බහාලුම් වරායන් 100න් 23ක්ම තිබෙන්නේ ඉන්දියානු සාගර කලාපයේයි. අපේ රටේ බින්න බැස්සොත් එක් පැත්තකින් ආසියාව, අනෙක් පැත්තෙන් අප්‍රිකාව. මේ ආර්ථික සහ යුද උපායමාර්ගික වැදගත්කම හින්දා අපේ රට තුළ දෙපය ස්ථිරව තැන්පත් කරගන්න නොබලන ලෝක බලවතකු නැහැ. ඉන්දියාව අද ආර්ථික වර්ධනය අතින් ලෝකයේ 06 වැනියා. මේ ආසියානු කලාපයේ ආර්ථික වර්ධනය අතින් 02 වැනියා. අර්බුද ඇතුළේ ඉතිහාසයේදීත් ඇන කොටා ගැනීම් සිදු වෙනවා. නමුත් ඇනකොටා ගත් කාටවත් ඔළුවට ඔටුන්න වැටුණේ නැහැ. පිටින් ආපු කාලිංග මාඝ වැනි අයෙකුටයි ඔටුන්න වැටුණේ. මේක යළි එම ඉතිහාසය පුනර්රූපණය වෙමින් යන කාලයක්.

‘තරුණ දරුවන්ගේ විශේෂ වගකීම

ඒ නිසා මේ අවස්ථාවේ අපේ තරුණ දරුවන්ට තිබෙනවා විශේෂ වගකීමක්. ඒ තමයි මේ වර්ධනය වෙමින් තිබෙන මහා අර්බුද සුළිය තුළ නොදන්න බලවේගයන්ගේ න්‍යාය පත්‍රයක අමුද්‍රව්‍ය බවට පත් නොවී සිටීම. දැන් බලන්න අර ෆොන්සේකා මහත්තයා කියනවනේ, ‘ඩොලර් එවන්න එපා! මුන් හොරා කනවා’ කියලා. අනික් පැත්තට කියනවා, ‘ඉස්පිරිතාලෙ බෙහෙත් නැහැ’ කියලා. ඩොලර් එවන්න එපා, කියන එකයි ඉස්පිරිතාලෙ බෙහෙත් නැහැ, කියන එකයි දෙකම කියන්න අපට අයිතියක් නැහැ. ‘ඩොලර් එවපල්ලා දරුවනේ, ඉස්පිරිතාලෙ බෙහෙත් නැහැ’ කියන එකනේ කිවයුත්තේ. කවුරුහරි ඩොලර් එවන්න එපා, කියනවානම් එමගින් කියවෙන්නේ, ‘මේ රටේ මිනිස්සුන්ට පාරේ මැරෙන්න ඉඩ දීපල්ලා’ කියන එකයි. ආණ්ඩුව සමග තිබෙන කෝන්තරය සහ රාජ්‍යය සමග තිබෙන කෝන්තරය කියන්නේ දෙකක්. ඒ දෙක එකට පටලවා ගන්න එපා. රාජ්‍යය අපට ඕනේ. ආණ්ඩුව එලවන්න ඕන.

බේබිලා තාත්තා දිහා බලන විදිය

මේක ආණ්ඩුවක් නොවෙයි පාණ්ඩුවක්. ඔන්න තව කැබිනට් අමාත්‍ය ධුර 10ක් දෙන්නයි සූදානම. එතකොට තමයි අංගසම්පූර්ණ වෙන්නේ. කැබිනට්ටුව මල් හතයි කියන්න පුළුවන්. දැන් බලන්න, මහින්ද රාජපක්ෂ මැතිතුමා විශ්‍රාම සුවයෙන් ‘අපට ඇත්තටම මොකද වුණේ?’ කියා නිදහසේ සිතිය යුතු කාලයනේ. දැන් ‘අනේ නැගිටිමු!’ කියන්න රට වටේ රැගෙන යනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාට දැන් මතකත් නැහැ, ‘කවුද ජනාධිපති, ගෝඨාභය ද ජනාධිපති’ කියා. එයා කියනවා, ‘ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ සමග ඉදිරියට යමු’ කියා අනෙක් පැත්තෙන් මතක් කරනවා, ‘රනිල්, රනිල්’ කියා. මහින්ද රාජපක්ෂ කියන්නේ මෙහෙම කරන්න ඕනේ මනුස්සයෙක් ද? තවමත් ඒ පවුලේ අයට මහින්ද රාජපක්ෂ කියන්නේ ‘ප්‍රයෝජ්‍යතාවාදීව බලන ප්‍රපංචයක්’ පමණයි. බේබිලා බලන්නේ, මැරෙන්න ඔන්න මෙන්න තියලා හරි තාත්තාව ඉස්සරහට දාලා මොකක් හරි මැච් එකක් ගහගන්නයි. බේබිලා නිසයි ඒ තත්ත්වයට වැටුණේ .

තුන පහ වීම

අපි නුගේගොඩින් 2015 පෙබරවාරි 18 වැනිදා ‘මහින්ද සුළඟ’ පටන් ගත්තේ පරාජයෙන් මොළේට ලාභයක් කරගෙන ඇති කියලයි. 2015දී පරාජය කළේ පවුල් පාලනය කියන චෝදනාව යටතේ. නැවත බලයට ආපුවාම ඒ චෝදනාවෙන්නේ ගැලවිය යුත්තේ. බලන්න වුණේ ‘ගැලවෙන එකද ඇලවෙන එකද’ කියා. කලින් කැබිනෙට්ටුවේ හිටියේ රාජපක්ෂලා තුනයි. මෙන්න බොලේ මේ පාර පහක් ඉන්නවා. ලැජ්ජාව, බය ගෑවිලාවත් තිබුණානම් ඒක තුනේ තියාගන්නවානේ. මාතරටත් දැම්මා නේද හිච්චි එකෙක්? එයා බැසිල්ට උදේට, දවල්ට බත් මුට්ටිය අල්ලපු කෙනාලු. ඒක පවුල් පෙරේතකම. අන්තිමට ඉතිං බැසිල්ට ඇමරිකාවට තොලොන්චි වන තැනට වැඩ සිද්ධ වුණා. අපි ඉන්නවා ලංකාවේ.

හයිටියේ ඉරණම කරා…

දැන් මේ අරවා, මේවා නැගිට්ටවලා වැඩක් නැහැ. රටයි නැගිට්ටවන්න ඕනේ. මේ රටේ ලාංකීය ජාතියයි නැගිට්ටවන්න ඕනේ. මේ රාජ්‍යය අද ඇදගෙන යන්නේ එහි ගෙල සිඳලන දිසාවට. අපේ රටට හයිටියේ ඉරණම උරුම කර දීමටයි මේ සැරසෙන්නේ. හයිටියේ අද නීත්‍යනුකූල මධ්‍යගත පාලනයක් නැහැ. එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව තමයි හයිටිය පාලනය කරන්නේ. එක එක පාතාල කල්ලි ද ක්‍රියාත්මකයි. බහුජාතික සමාගමකට ඉඩමක් ඕනෑනම් ජනතාව එලවන කොන්ත්‍රාත් එක ඒ පාතාල කල්ලියකට බාරදෙනවා. IMF වට්ටෝරුව ගිල්වමින් මේ අපේ රටත් රැගෙන යන්නේ ප්‍රඥාව අහිමි කරලා, ආවේගය උච්චතම තැනට ගෙනල්ලා, ඒ අවස්ථාවම යොදාගෙන, විදේශ සාම සාධක හමුදා බින්න බස්සවන තැනටයි. ඒක වළක්වමු! අපි මහ මැතිවරණයක් ලබාගනිමු! මහ මැතිවරණයකින් ව්‍යවස්ථානුකූලව මෙම පවතින පාලනය පෙරළමු! ඉන්පසුව මහජනයා සමඟ බද්ධ වුණු වැඩපිළිවෙළකින් මේ අර්බුදයෙන් එළියට එමු! IMF එකෙන් ලැබෙන තෙල් නැව් පහක් විතර ගෙන්වීමට පමණක් ප්‍රමාණවත් ඩොලර් බිලියන 2.9කින් මේ රට ගොඩදැමීමට බැරි බව තේරුම් ගනිමු.

මහ බැංකු අධිපතිගේ බැඳියාවේ ගැටුම

ඔය මූල්‍ය අරමුදල කියන වට්ටෝරුවට වැඩ කරන්න නම් මූල්‍ය අරමුදලේ කෙනෙක් ජනාධිපති කරගත්තාම ප්‍රමාණවත්නෙ. මම දන්න විදියට වත්මන් මහ බැංකු අධිපතිතුමා මූල්‍ය අරමුදලේ සේවය කරලා විශ්‍රාම වැටුපක් ලබා ගන්නා කෙනෙක්. එවිට බැඳියාවන් අතර ගැටුමක් එනවා, ‘IMF එකෙන් ලැබෙන විශ්‍රාම වැටුපට ද සේවය කරන්නේ? ලංකාවේ මහ බැංකු අධිපති ලෙස ලැබෙන වැටුපට ද සේවය කරන්නේ?’ කියා. දැන් IMF එක කියනවා, මහ බැංකු අධිපතිව, මුදල් අමාත්‍යංශයේ ලේකම්ව වෙනස් කරන්න එපා, කියා. ඇමරිකානු තානාපතිනිය ද එයම කියනවා. අපි දැන් තියාගෙන ඉන්නේ එයාලාට ඕනෙ අයවයි. ඔවුන්ගේ ජයග්‍රහණ පිණිස සියල්ල සිදු කරවා ගැනීමේ න්‍යාය පත්‍රයයි මේ ක්‍රියාත්මක වන්නේ.

ඒ නිසා අන් කවරදාටත් වඩා රුහුණේ ඔබගෙන් ප්‍රඥාවන්ත මැදිහත්වීමක් බලාපොරොත්තු වෙනවා. රුහුණේ ඔබට ඉතිහාසය බලකොට කියා සිටිනවා, ‘අන් පළාත්වලට ද ආදර්ශයක් වන පරිදි සංවිධානය වෙමු! බලමුළු හදමු! මේ අර්බුදයෙන් ගොඩඒමට පෙරට එමු!’ කියා. ඒ සඳහා උත්තර ලංකා සභාගය ඔබට නායකත්වය දීමට සූදානම්”

මෙම උත්තර ලංකා සභාගයේ “මාතර සම්ප්‍රාප්තිය” අමතා එහි ජාතික සංවිධායක වාසුදේව නානායක්කාර, නියෝජ්‍ය සභාපති මහාචාර්ය තිස්ස විතාරණ යන හිටපු අමාත්‍යවරු ද අනුශාසක, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි, ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ, විධායක සභිකවරු වන තිළිණ පීරිස්, වීරසුමන වීරසිංහ යන මහත්වරු ද අදහස් දැක්වූහ.

මෙම අවස්ථාවට ‘නිදහස’ ජනතා සභාවේ සභාපති, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ යන මහත්වරු ඇතුළු මහජන නියෝජිතයෝ පිරිසක් ද එක්ව සිටියහ.

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka