ආගමික ස්ථාන වල විදුලි බිල වැඩි කිරීමට විරෝධය පළ කරමින් එළඹෙන පුරපසළොස්වක පොහොය දින රට පුරා සියලු වෙහෙර විහාරස්ථානවල විදුලි පහන් නිවා දමා විරෝධය දැක්විය යුතු බවට මධ්‍යම පළාත් මහා සංඝ සභාවට යෝජනාවක් ඉදිරිපත් කර ඇත.
මේ සදහා දායක සභාවන්ද එක් කර ගත යුතු බවද ඉදිරිපත් වූ යෝජනාවේ සදහන් විය.
මද්‍යම පළාත් සංඝ සභාව ඊයේ දින රැස්වූ අවස්ථාවේ මෙම යෝජනාව ඉදිරිපත් වූ අතර ඒ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පූජ්‍ය ගලහ සිරිසාන්ත හිමියෝ මෙසේ පැවසූහ.
‘පන්සල්වල තිබුණ විදුලි බිල පස් හය ගුණයකින් ඉහළ ගොස් තියෙනවා. මගේ පන්සලේ විදුලි බිල මේ වෙද්දි රු 60,000ක් වෙලා තියෙනවා. විශේෂයෙන් ඉදිරියේ තියෙන්නේ කඨින චීවර පිංකම් කාලය. වෙසක් පොසොන් වගේ කාලවල පන්සල් අඳුරේ තැබීමේ කුමන්ත්‍රණයක් ද මේ ක්‍රියාත්මක වෙන්නේ කියන එක අපිට බලවත් සැකයක් තියෙනවා. පවතින තත්ත්වය උඩ ඉදිරියේ දී පන්සලක ලයිට් එකක් දාන්න වෙන්නේ නෑ. අද යෝජනාවක් කරනවා අපි ඉදිරියේ දී එන පොහොය දිනයේ දී අපි සියලුම පන්සල්වල විදුලිය නිවලා පන්සල් අඳුරේ තබලා දායකයන් සමග මෙයට විරෝධය පළ කරන්න කියලා අපි යෝජනා කරනවා. ඉදිරියේ දී රට පුරාම විශේෂ මැදිහත්වීමකින් මේ පිළිබඳ ක්‍රියාකරන්න බලාපොරොත්තු වෙනවා’
