gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ‍්‍රී ලංකා රාජ්‍ය බිද වට්ටන මෙහෙයුමට NED වෙතින් යූටියුබර්ස්ලාට මුදල් - විමල්ගෙන් හෙළිදරවුවක්

තමන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ සාධාරණ ආවේගයන්ට සහ අව්‍යාජ තරුණ දූදරුවන්ගේ අරගලයට කිසිවිටෙක ගරහන්නේ නොමැති බවත් පවසන ජානිපෙ නායක විමල් වීරවංශ මහතා, තමන්ට කොතරම් මානසික බාධා පැනවූවත් අරගලකරුවන් සේ පෙනී සිටින ‘අරාජිකකරුවන්ගේ’ ශ්‍රී ලංකා රාජ්‍යය බිඳවැට්ටවීමේ අපරාධයට කිසිසේත්ම ඉඩ නොතබන බවට අවධාරණය කළේය.

27 පාර්ලිමේන්තුවේ පැවති හදිසි නීති විවාදයේදී අදහස් දක්වමින් ඒ මහතා මෙසේ අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය.

“ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අප මේ හදිසි නීතිය පිළිබඳ විවාදය පවත්වන්නේ අපේ රට ඉතාම තීරණාත්මක සහ අඳුරු ඉරණමකට මුහුණ පා ඇති අවස්ථාවකයි. පාර්ලිමේන්තුව තුළ පැවැති ජනාධිපතිවරණයේදී අප ඇතුළු විපක්ෂයේ කණ්ඩායම් ඩලස් අලහප්පෙරුම මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළත් ඉන් ජය ගනු ලැබුවේ රනිල් වික්‍රමසිංහ මහතායි. අපි බලාපොරොත්තු වුණේ ඩලස් අලහප්පෙරුම මහතාගේ ජයග්‍රහණයෙන් අනතුරුව සර්වපාක්ෂික සුජාතභාවයකින් යුත් පාලනයක් මගින් මේ අන්තර් කාලය පසුකිරීම. අපි හිතුවා එය තමයි සුදුසුම උත්තරය කියා. මෙය අපි මුලින්ම යෝජනා කළේ හිටපු ජනාධිපතිතුමන්ට පසුගිය අප්‍රේල් 08 වැනිදා ලිඛිතව. නමුත් එතුමා එය සුදුසු පරිදි පිළිගත්තේ නැහැ.

‘මේක මළ කෝලමක්නේ’

මේ වගේ තත්ත්වයක් පාලනය කළ හැක්කේ සුජාතභාවයකින් යුත් පාලනයකටයි. මම හිතන්නේ නැහැ, මේ ඇති කරගෙන තිබෙන පාලනයට ඒ සුජාතභාවය නියමිත ප්‍රමාණයට සමාජය තුළ තිබෙනවා, කියා. හැබැයි නියමිත පරිදි සුජාතභාවය තිබුණත් නැතත් මේක නීත්‍යනුකූල පාලනයක්, ව්‍යවස්ථානුකූල පාලනයක්. අපි කැමති වුණත් නැතත් ඒ පාලනතන්ත්‍රය තමයි මේ රට පාලනය කරන්නේ. දරුණු ආර්ථික පීඩනය මත, එමගින් ඇති වූ ආවේගය මත මහා ජන සන්නිපාතයක් කොළඹට ඇවිල්ලා, මහ සටනක් කළාම හිටපු ජනාධිපතිතුමා සාමකාමීව ධුරය අත්හැර ඉල්ලා අස්වුණා. මේ සටන පටන් ගත්තේ ‘ගෝඨා ගෝ හෝම්’ කියලයි. ඉහත කී පීඩාකාරී තත්ත්වය මත ‘ගෝඨා ගෝ හෝම්’ කියන සටනට සමාජය තුළ යම් අනුමැතියක් තිබුණා. අපි හිතුවේ ‘ගෝඨා ගෝ හෝම්’ අරගලය දැන් ඉවර වේවි, කියලයි. බැලුවාම එහෙම නැහැ. මට කලින් අදහස් දක්වපු සරත් ෆොන්සේකා මහතා පැවසුවා, ඊළඟ 09 වැනිදා තව කෙනෙක් ගෙදර යවන්න පිරිසක් කොළඹට එන බව. එයා ගෙදර ගියාම දිනේෂ්ට සිදුවේවිලු ජනාධිපති වෙන්න. මේක මළ කෝලමක්නෙ. ගෝඨා ගෝ හෝම්, රනිල් ගෝ හෝම්, ඊළඟට දිනේෂ් ගෝ හෝම් කියනවාට වඩා ලේසියිනෙ ‘කවුද ඕනෙ?’ කියලා කියන එක. එහෙම කිව්වාම අපි එයා ජනාධිපති කරන්නම්කෝ මේ කරදරෙන් බේරෙන්න.

‘අව්‍යාජ අරගලයට ගරහන්නේ නැහැ’

මේ රටට සාමයෙන් හුස්ම කරන්න ඕනේ නැද්ද? දැන්වත් මේ රටට ආර්ථික අර්බුදයට විරුද්ධව සටන් කරන්න ඉඩ දෙන්නේ නැද්ද? අපිටත් මේ පාලනතන්ත්‍රය ගැන ගැටලු තිබෙනවා, එකඟ වීමට බැරි තැන් තිබෙනවා. අපි ඒක වෙනම බේරාගත යුතුයි. මේ රටේ මිනිස්සු යොදවාගෙන මේ රට ලිබියාව, හයිටිය වැනි රටක් බවට ජාත්‍යන්තර නාලිකාවල ප්‍රවෘත්ති පළ කරවමින් එවැනි ප්‍රතිරූපයක් හැදීම ද අරගලය කියන්නේ? ඒ අරගලයට ද අර සුජාතභාවය දෙන්න හදන්නේ? ලක්ෂ සංඛ්‍යාත ජනකායකගේ සාධාරණ ආවේගයන්ට මම කවදාවත් ගරහන්නේ නැහැ. එතැන හිටපු අව්‍යාජ තරුණ දූදරුවන්ගේ අව්‍යාජ අරගලයට මම කවදාවත් ගරහන්නේ නැහැ. තේරුම්ගන්න මෙතැන තිබෙන්නේ රාජ්‍යය බිඳවැට්ටවීම. ඒකට ඉඩ දීමට බැහැ. මම විපක්ෂයේ හිටියත්, ආණ්ඩුවේ හිටියත් ඒකට ඉඩ දෙන්න කියා කියන්නේ නැහැ. ඒක කරනවා නම් පාපයක්. මට රනිල් වික්‍රමසිංහගෙන් ඇමතිකම් ඕනෙ නැහැ. ඒත් මට මගේ රාජ්‍යය ඕනේ. අපි මේ ආර්ථික අර්බුදයෙන් බැට කාලා ගොඩ එන දවසට අපේ රාජ්‍යය තිබෙන්න ඕනේ.

‘ලෝකයේ හොඳම හමුදාවක්’

ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය ඇල්ලුවා. මේ විදිහට රාජ්‍ය දේපළ අත්පත් කර ගැනීම සාමකාමී ද? පාර්ලිමේන්තුව අල්ලාගන්නත් ආවා. එදා ඒ ආරක්ෂක අංශ සුදුසු පරිදි බලය පාවිච්චි නොකළා නම් මොකද වෙන්නේ? එතැනදී හමුදා සෙබළකුගේ ඔළුවට යකඩ පොලුවලින් ගහද්දිත් වෙඩි තැබුවේ නැහැ. ඒ තමයි අපේ හමුදාවේ ඉවසිල්ල. මේක ලෝකයේ ඉන්න හොඳම හමුදාවක්. එක්සත් ජාතීන්ගේ හමුදාවේ ප්‍රධානීන්ගෙන් විමසුවොත් පවසාවි, ශ්‍රී ලංකා හමුදාව මොන තරම් දියුණු හමුදාවක් ද කියා. ඒත් ‘දියුණුකම’ නිවටකම කියා හිතන්න එපා.

‘මානසික බැරියර්’ දැමීම

මුල සිට හිතන්න. මැයි 09 වැනිදා රාත්‍රියේ දේශපාලනඥයින් 73කගේ නිවාසවලට ගිනි තබා ඔවුන්ට ‘මානසික බැරියර්’ දැම්මා. පසුව මහා සංඝරත්නයට එක එක තර්ජන කතා මඟින් මානසික බාධා පමුණුවනු ලැබුවා. ඊළඟට කලාකරුවන්ට මානසික බාධා පමුණුවනු ලැබුවා. පොලීසියටත් එවැනිම බාධා පැනෙව්වා. සාධාරණ චෝදනාවක් යටතේ අත්අඩංගුවට ගෙන සැකකරුවකු අධිකරණයට ඉදිරිපත් කළාම නීතිඥවරුන් 200ක් පමණ පෙනී සිටිනවා. එවිට විනිසුරුවරයාටත් හිතෙනවා ‘මේකාට ඇප නොදුන්නොත් අපේ ගෙයත් ගිනි තියාවි’ කියා. මේ විදියට සියලු අයට මානසික බාධා පමුණුවමින් ඇවිත් එදා රෑ පාර්ලිමේන්තුවත් අල්ලා ගත්තා නම් අද රාජ්‍යයක් පවතීද? ඊට පස්සේ අල්ලාගන්න තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලයි, ජාතික රූපවාහිනිය හා ස්වාධීන රූපවාහිනියයිනේ. ඊට පසුව කියාවි, ‘ඔන්න දැන් අපේ අතට රට ආවා. උඹලා අපිට ඕනේ විදිහට හිටපල්ලා’ කියා. අපට මේක ද අද උවමනා?

රුසියාවෙන් තෙල් ගෙන ඒමට මැදිහත්වීම

අපට ආර්ථික අර්බුදය හේතුවෙන් දැඩි පීඩනයක් තිබෙන බව ඇත්ත. ඒ ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්නයි ඕනේ. මෙහිදී පැවසිය යුතුයි, අප විපක්ෂයේ සිටියත් ඒ වෙනුවෙන් කළ හැකි සියල්ල කරන බව. හිටපු ජනාධිපතිතුමන්ගේ කාලයේදීම තමයි අපි රුසියාවෙන් මෙරටට තෙල් ගෙන ඒම සඳහා මැදිහත් වූයේ. ඒ අනුව අපි රුසියානු රාජ්‍ය තෙල් සමාගමක සභාපතිවරයා සහ ප්‍රධාන විධායකවරයා ශ්‍රී ලංකාවට කැඳවාගෙන ආවා. ඊට පස්සේ ඔවුනට එවකට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ මහබැංකු අධිපතිවරයා හමුවීමට අවස්ථාව සලසා දෙනු ලැබුවා. ඔවුන් මෙරටින් පිටව ගියේ ජූලි 09 වැනිදා. ජනාධිපති මන්දිරයේ පිහිනුම් තටාකයේ පිරිස් නාන දර්ශන දුටු ඒ සභාපතිවරයා මට කතාකර කියනවා, ‘ඔබලාගේ රටේ මිනිසුන්ගේ ආකල්ප එමගින් අපට තේරුම් ගියා’ යනුවෙන්. මම ඒකට උත්තර දෙන්න ගියේ නැහැ. කොහොම නමුත් ඒක තමයි ජාත්‍යන්තරයට යන චිත්‍රය.

‘තෙල් පෝලිම් නතර කළ හැකියි’

දැන් ඒ රුසියානු රාජ්‍ය තෙල් සමාගම අපට අවබෝධතා ගිවිසුමක් එවා තිබෙනවා. ඒකට එකඟ වූ පසුව මෙහෙයුම් ගිවිසුම සහ ‘ගැරන්ටිය’ ඔවුන් එවනවා. දැන් මේ අවබෝධතා ගිවිසුමට එකඟද නැද්ද කියා රජය පැවසිය යුතුයි. මෙමගින් ඩොලර් මිලියන 300ක බොරතෙල් හැම මාසයකදීම ලැබෙනවා. මාසයකට අප මිලදී ගන්නා තෙල් සඳහා ගෙවිය යුතු ඇත්තේ ඊළඟ වසරේ ඒ අදාළ මාසයේදී. අපට මෙම බොර තෙල් ප්‍රමාණය ලැබෙන්නෙත් ලෝක වෙළෙඳපොළෙහි තිබෙන මිලට වඩා 15% – 35% අතර ප්‍රමාණයක අඩු මිලටයි.

නමුත් අද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නීති අංශයේ නිලධාරිනියක් ලිඛිතව දැනුම් දෙනවා, ‘අදාළ සමාගමේ නීත්‍යනුකූලභාවය පිරික්සා බැලීමෙන් තොරව මෙවැනි ගිවිසුමකට එකඟතාව ලබාදීම භයානකයි’ කියා. ඒක රුසියානු රජයේ සමාගමක්. ඔවුන් අපට ණයක් දෙන්නේ. එවැන්නක පැටිකිරිය හොයමින් තවදුරටත් තෙල් පෝලිම්වල මිනිසුන් මියයෑමට ඉඩ දී කල් මරන්නේ ඇයි? මෙම වැඩසටහනට එකඟ වුවහොත් අපට ලැබෙන්නේ බොර තෙල් නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු ද යළි ඇරඹීමට හැකියාව තිබෙනවා. අවුරුදු 02කට තෙල් ප්‍රශ්නය විසඳිය හැකි වැඩසටහනක් මේක. වසර දෙක තුළ වැඩසටහන සාර්ථක නම් එය ඉදිරියට යනවා. ‘මේ විදිහට තෙල් ප්‍රශ්නය ගොඩ ගියාම ආණ්ඩුව ස්ථාවර වෙයි. එතකොට අපට මැච් එක ගහන්න විදියක් නැහැනේ’ ආදී වශයෙන් වැඩිදෙනෙකු හිතන විදිහට අපි හිතන්නේ නැහැ. එහෙම හිතන්නේ නැහැ කියන්නේ අපි මේ රාජ්‍යය බිඳවැට්ටවීමට විරුද්ධයි කියන එකයි. අද මේ රාජ්‍යය බිඳවැට්ටවීමට තෙල් පෝලිමේ ඉන්න ජනතාවගේ පීඩනයත් යොදා ගන්නවා. ඔවුන් ඉක්මනින් ගෙදර යවන්න මේ වැඩේ කරන්න, කියා අපි පවසන්නේ ඒකයි. මේ පිළිබඳව මම වත්මන් ජනාධිපතිතුමාටත් පැවසුවා. නමුත් තෙල් මාෆියාවක් තිබෙනවානේ. ඔවුන් එක එක නිලධාරීන්ගේ ලියුම් මගින් මේක නතර කර ගන්නයි හදන්නේ. ඒක අතුරු කතාවක්.

‘ජාතික රාජ්‍යයේ වැදගත්කම’

අපේ මේ ආර්ථික අර්බුදය, බාහිර පාර්ශ්ව විසින් ඉතා දැනුවත්ව යොදා ගනිමින් සිටිනවා රාජ්‍යය බිඳවැට්ටවීමට. මේක තේරුම් ගන්න. මහජනයාගේ සාධාරණ පීඩනය, සාධාරණ දුක්ගැනවිල්ල ඉතා බරපතළ විදියට අවභාවිතා කරනු ලබනවා. ජාතික රාජ්‍යය කියන එක අපට හොඳට නරකට දෙකටම බලපාලා ඇති. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවය අපට ජාතික රාජ්‍යයෙන් ලැබුණු හොඳ දේවල්. කොහොම නමුත් හොඳට හෝ නරකට මේ ජාතික රාජ්‍යය පවතින්න ඕනෙ. ජාතික රාජ්‍යය බිඳවැට්ටවීමට ඉඩදීම තරම් පාපයක් තවත් නැහැ. සියෙරා ලියෝන්, හයිටිය ඒක කළා. මම දැක්කා, අරගලයට සම්බන්ධ එක කණ්ඩායමක් එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලය ඉදිරියට ගිහිල්ලා ‘ජාත්‍යන්තර මැදිහත්වීමක්’ ඉල්ලනවා. ඒ වගේම දෙමළ ජාතික සන්ධානයේ ශ්‍රී ධරන් මන්ත්‍රීතුමා පිටරටකට ගිහිල්ලා කියනවා, උතුරු නැගෙනහිරට විදේශීය හමුදාවක් උවමනයි’ කියා.

‘කඳවුරු ගලවන් යන්න කියාවි’

මේවාට ඉඩ දුන්නොත් තව ටික දවසකින් උතුරේ හමුදා කඳවුරු ගාවට එනවා. ඇවිල්ලා කියනවා ‘ගලවාගෙන පලයල්ලා’ කියලා. කූරගල වැනි ආගමික සිද්ධස්ථාන ගාවට එනවා. ඇවිත් කියනවා ‘යන්න’ කියලා. එතකොට යන්න වෙනවා. රටක් මෙහෙම අරාජික, අපාලිත වීමට ඉඩ දී බලා සිටීම නොවෙයි සිදුවිය යුත්තේ. පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා මරා දැමුවා. වෙල්ගම මන්ත්‍රීතුමාට පහර දුන්නා. ඒ ඔවුන් කුමන වරදක් කළාට ද? මිනිස්සුන්ගේ පීඩනය අපි දන්නා හින්දා අපට ඒ හැම දෙයක්ම දරා ගැනීමට පුළුවන්. ඒත් මේ රාජ්‍යය බිඳවැට්ටවීමට ඉඩ දෙන්න බැහැ.

‘CIA අනුබද්ධ NED මගින් මුදල් ලැබුණු හැටි’

තායිලන්තයේ, එක්තරා කාලයක තිබුණා ‘කහ කමිසකරුවන්ගේ සටන’ කියා එකක්. එහෙත් සිටියා නීතිඥ කණ්ඩායමක්. ඒ සටනට මූල්‍යාධාර ලබා දුන්නේ එම නීතිඥ කණ්ඩායම හරහා. ඇමරිකාවේ මධ්‍යම රහස් ඔත්තු සේවාවට(CIA) අනුබද්ධ සංවිධානයක් තිබෙනවා NED(NATIONAL ENDOWMENT FOR DEMOCRACY -ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික උරුමය) කියා. මෙය 1983දී ආරම්භ කරන ලද්දක්. මේ වන විට එය රටවල් 100ක පමණ ක්‍රියාත්මකයි. මේ බලන්න 2020 වසරේදී පමණක් ශ්‍රී ලංකාවේ ‘නීතිය හා සමාජයීය පදනමට’ මෙමගින් ඩොලර් එක්ලක්ෂ හැත්තෑදෙදහස් හයසිය හැත්තෑවක්(ඩොලර් 1,72, 670) ලබාදී තිබෙනවා. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයට 2020 වසරේදී පමණක් ඩොලර් දෙලක්ෂ අසූපන්දහසක්(ඩොලර් 2,85,000) ලබාදී තිබෙනවා. මීට අමතරව USAID CSI.ROL ව්‍යාපෘතිය ‘ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය ප්‍රවර්ධනය කිරීම සඳහා සිවිල් සමාජ මුල පිරීම්’ සඳහා 2013 – 2017 කාලය තුළ ඩොලර් මිලියන 3.9ක් වැයකර තිබෙනවා. මෙම අරමුදල් වැය කිරීම ශ්‍රී ලංකා රජයේ ‘නීතිඥ සංගමය’ හරහා සිදුකර තිබෙනවා. මම මෙම ලේඛනය සභාගත කරනවා. දැන් බලන්න අපට මානසික බාධා පනවනවා, ‘මේවා හෙළිදරව් කළොත් ගහයිද දන්නේ නැහැ. ගේ ගිනි තියයි ද දන්නේ නැහැ’යනුවෙන්. ඒවාට යටත් වීමට බැහැ.

‘හමුදාවටත් මානසික බැරියර්’

වීඩියෝ එකක තිබෙනවා, එක කොලු ගැටයෙක් හමුදා සෙබළුන් අසලට ගොස් ‘තොපි යුද අපරාධ කළා. උඹලාට වඩා ප්‍රභාකරන් හොඳයි යකෝ’ යනුවෙන් කියනවා. මේ හමුදාවට එහෙම කියන්න පුළුවන් කාට ද? මේ හමුදාව හැම විපතකදීම ජනතාව ළඟ ඉන්න හමුදාවක්. ඒ වගේම මම දැක්කා, සමාජ මාධ්‍යවල ‘කැවුතු ආච්චි’ නමින් හඳුන්වනු ලබන කාන්තාව හමුදා සෙබළුන් අසල සිට කියනවා ‘මුන්ගෙ ගෙවල් හොයාගෙන ගිහින් ගිනි තියන්න ඕනේ’ කියා. දැන් මේවා දකින හමුදා නිලධාරීන්ගේ බිරින්දෑවරු කියනවා ‘අනේ ඔයා නම් ඕවාට පැටලෙන්න එපා!’කියා. අන්න මානසික බැරියර් දාන හැටි. මේ සියල්ලම සැලසුම් සහගතව ශ්‍රී ලංකා රාජ්‍යය බිඳවැට්ටවීමටයි කරන්නේ. දැන් බලන්න සරත් ෆොන්සේකා මහත්තයා දැන් මෙතැනදී හමුදාවට ‘නියෝග’ කළා, ‘ඔයගොල්ලෝ පහර දෙන්න, වෙඩි තියන්න මොකුත් කරන්න එපා!’ කියා. ඒ කියන්නේ ‘ශාන්ත දාන්ත තීන්ත කූඩු’ වගේ බලා ඉන්නලු. ඒ කියන්නේ ‘පාර්ලිමේන්තුව ඇල්ලුවත් බලා හිටපන්’ කියලයි.

‘අරගලකරුවන් නොවෙයි අරාජිකකරුවන්’

මේක අරාජිකත්වය. මේ අරගලකරුවන් නොවෙයි අරාජිකකරුවන්, මේ රට අරාජිකත්වයෙන් අරාජිකත්වයට ඇදවට්ටන්නන්. මේ තත්ත්වයට ශක්තිමත්ව මුහුණ දීම අත්‍යවශ්‍යයි. නමුත් ඒ සඳහා පනවන හදිසි නීතිය යොදාගෙන සාමාන්‍ය සිවිල් ජන සමාජයේ යුක්තිසහගත අයිතීන් පොඩිපට්ටම් කළොත් ලබන මාසයේ හදිසි නීති විවාදයේදී අපි මේකට විරුද්ධ වෙනවා. අපේ ඡන්දෙ ටික හදිසි නීතිය සම්මත කර ගැනීමට තීරණාත්මක නැහැ. නමුත් සාමාන්‍ය සිවිල් ජන සමාජයේ යුක්තිසහගත අයිතීන් පොඩිපට්ටම් කළොත් අපට බැහැ හදිසි නීතියට පක්ෂ වෙන්න. නමුත් මේ අරාජිකවාදීන්ගේ රාජ්‍යය බිඳවැට්ටවීමේ මහා අපරාධය නතර කරන්න ඕනේ. ඒකත් එක්ක හුරතල් වෙන්න ඔය ඇතැම් දේශපාලනඥයන් හිටියාට අපි නම් ඒ අපරාධයට අකුරකින් හෝ වචනයකින් හෝ දායක වන්නේ නැහැ.

‘සියල්ලට ඉහළින් ඉන්න ජූලියා නෝනා’

මම ඉහතදී සභාගත කළ ලේඛනය හැන්සාඩ්ගත කරන ලෙසත් ඉල්ලා සිටිනවා. NED මගින් ලැබුණු මුදල් තමයි ඔය යූටියුබර්ස්ලා ඇතුළු බොහෝ පිරිස් අතට අද ගොස් තිබෙන්නේ. මා පෙර කී රුසියානු තෙල් සමාගමේ ප්‍රධානීන් සමග ගාලුමුවදොර අසලින් වාහනයකින් යන විට ඔවුන් කියනවා, ‘යුක්‍රේනයේත් මෙහෙමයි වුණේ. එදා රුසියාවට පක්ෂපාත යුක්‍රේන ජනාධිපති එළවන්න පාක් එකකට සෙනඟ ආවා. එහෙම ආපු පුද්ගලයකුට එහි ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් දිනකට අමෙරිකන් ඩොලර් 03 බැගින් වියදම් කළා.’ කියා. ඒ වගේම ඔවුන් පැවසුවා, ‘අපට නම් පෙනෙන්නේ ඔබලාගේ රට පාලනය කරන්නේ ජනාධිපති නොවෙයි. ඔවුන්ට ඉහළින් ඇමරිකානු තානාපති ඉන්නා බවයි පෙනෙන්නේ’ කියා. කතාව ඇත්ත. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා සතියකට තුන් වතාවක් පමණ මෙරට ඇමරිකානු තානාපතිනිය හමු වෙනවා . එවිට ඒ ජූලියා නෝනා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට හොඳට මානසික බැරියර් හදනවා. ඒ නිසා ජනතාව වෙනුවෙන්, රට වෙනුවෙන් ගතයුතු තීරණ ගැනෙන්නේ නැහැ. එවිට අර්බුදය උත්සන්න වෙනවා. නමුත් එහෙම කළා කියල අවසානයේ එතුමාට කවර රටකින් හෝ පිහිටක් ලැබුණේ නැහැ.

‘අපේ අවම යුතුකම’

මේක අපේ තීරණාත්මක මොහොත . අපි අතර කවර වාදභේද තිබුණත් මේ රාජ්‍යය බිඳවැට්ටවීමේ මෙහෙයුමෙන් අපි මේ රාජ්‍යය බේරාගන්න ඕනේ. ඒක අපේ අවම යුතුකම. එහෙම වුණාට තමුන්නාන්සේලා හදිසි නීතිය දාගත්තාට පස්සේ ‘ආ එන්න මේ කන්දත් අපේ තමයි – අර කන්දත් අපේ තමයි’ කියලා මෝඩ චූන් දාන්න නම් ලෑස්ති වෙන්න එපා! එවිටයි මේ රටේ මිනිස්සුන්ට යකා වැහෙන්නේ, ‘මුන් තාම පාඩමක් ඉගෙන ගත්තේ නැහැනේ’ කියා. නමුත් මේ රටේ අතිමහත් බහුතරයට එන හැමකෙනාටම ‘ගෝ හෝම්’ කියන්න වුවමනාවක් නැහැ. අර සල්ලි හම්බ වෙන කට්ටිය විතරයි ඒක ෆෝම් කරන්නේ. ඒ නිසා අපි හිතනවා, තමුන්නාන්සේලාගේ පාලනයට ලැබී නැති සුජාතභාවය ඉක්මනින් ඇතිකර ගත යුතුයි, කියා. ඒ සඳහා සර්වපාක්ෂික ජාතික එකඟතා පාලනයක් පිහිටුවීමට කටයුතු කළ යුතුයි. ඉදිරියේදී අපේ පක්ෂය විදිහට ඒ සඳහා වන අපේ යෝජනා මාලාව, වැඩපිළිවෙළ විවෘතව ඉදිරිපත් කරනවා. අපි කවුරුත් මේ වෙලාවේ වගකීමෙන් කටයුතු කළ යුතුයි. අපට තිබෙන දේශපාලන කෝන්තර පිරිමහගන්න ගිහිල්ලා අවසානේ මේ රට සියෙරා ලියෝන් එකක්, අප්‍රිකාවේ හයිටියක්, ලිබියාවක් බවට පත්වීමට ඉඩ නොතැබිය යුතුයි. අපේ දරුවෝ මේ රාජ්‍යය තුළ හැදී වැඩී ජීවත් වෙන්න ඕනේ නම් මේ අරාජිකවාදීන්ට ඉඩ නොතැබිය යුතුයි.

‘වරදවා වටහාගන්න එපා!’

දැන් මෙහිදී කිව්වා, අර ජාතික රූපවාහිනියට කඩා පැන්න පුද්ගලයා ප්ලේන් එකෙන් ඇදගෙන ආපු විදිහ කැතයි, කියා. ඔහු රූපවාහිනියට කඩා පැනපු විදිය හොඳයි ද? මට එහෙම අහන්න හිතුනා. බාධා කිරීමට හොඳ නැති නිසා නිහඬව සිටියා. එයා රූපවාහිනියට කඩා පැනලා ‘අපි තමයි අරගලය’ කියලා පෝදා වැඩසටහන් නතර කළා. එයා දරුවෙක් ද? එයාගෙ අප්පච්චිද මේ කතා කළේ? දරුවෙක් වගේ නෙවෙයි, ඔහු මරුවෙක් වගේනෙ හැසිරුනේ. තිබුණු පීඩනය නිසා ආපු අවංක තරුණ දූදරුවන් ගැන නොවෙයි මා කියන්නේ, ඒ සැලසුමේ පිටපත ලියලා ඒ අනුව කටයුතු කරන කට්ටිය ගැනයි. අවංක දරුවන් මා ගැන වරදවා වටහාගන්න එපා! දැන් අර එක පක්ෂයක නායකයකු කියනවා, ‘ව්‍යවස්ථාවෙන් පිට බලය පිහිටුවන්න ඕනෙ’ කියලා. හොඳට තියෙයි. මේ තමයි යට තිබෙන ‘ඇජෙන්ඩා එක’. රාජ්‍යය බිඳවැටෙනවා. අනීතික බලයක් පිහිටුවනවා. රට සීසීකඩ වෙනවා. උතුරු නැගෙනහිර වෙන් වෙනවා. මේක තමයි ප්ලෑන් එක. ඒ ප්ලෑන් ඒකට ඉඩ නොදිය යුතුයි. ඒ සඳහා එකමුතුව, කැපවීමෙන් කටයුතු කළ යුතුයි. ආරක්ෂක හමුදාවන්ට, පොලීසියට අපි කියනවා, ‘අපිව රකින්න ඕනේ නැහැ, නමුත් ඔබ ශ්‍රී ලංකා රාජ්‍යය රැකගන්න, ඔබ ඉන්නේ ඒකට. රාජ්‍යය බිඳවැට්ටවීමේ පාපතර මෙහෙයුම පරදවන්න. ඒ වෙනුවෙන් අපත් ඉන්නවා ඔබ සමග” කියා.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka