gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අපි දන්නෙ නෑනෙ ලෝකයා අපි ගැන කතා කරන්නෙ මොනවද කියලා දැනගන්න මේ ලිපිය කියවන්න...

වසර දෙකකට අධික දීර්ඝ කාලයක් පුරා ලොව මිනිසුන් මිලියන ගණනාවකගේ රීරි මාංශ උලා කමින් තමන්ගේ වාසභවනට ගෙන්වා ගත් කොරෝනා යක්ෂයාගේ කැලෑවැදීම සිදුවී දැනට හය මාසයකටත් අධිකය. එනම් කොරෝනා මාරයාගේ බලතල බොහෝ දුරට හීනවී ගියේ පසුගිය 2021 වසරේ අවසාන කාලයේදීය. 

අදටත් මෙම මාරයා තමන්ගේ බලය පෙන්වන්නට උත්සාහ කළද එය බොහෝ විට සිදුවන්නේ ඇල්මැරුණු ස්වරූපයකිනි. 2022 වසරේ මුල් කාලය වන විට කොරෝනා යක්ෂයාගේ සහෝදරයකු වන ‘ඔමික්‍රෝන්’ මාරයාද කරළියට පැමිණියත් ඔහුට හිතූ තරම් ජය කෙහෙළි නංවන්නට නොහැකි විය. මිනිසුන්ගේ ශ්වාස නාළ පද්ධතියේ ඉහළ කොටසේදී ගණන්කාරකම් කරන්නට මෙම ඔමික්‍රෝන් මාරයාට හැකි වුවද ඔහුට මිනිසුන්ගේ පෙණහැලිවලට බැස ගැනීමේ හැකියාවක් නොවීය. මේ නිසාම මාස කිහිපයකින් මුළු ලොවෙන්ම ඔමික්‍රෝන් බලයද සිඳී ගියේය. කෙසේ වෙතත් කොරෝනා යක්ෂයා තවම සම්පූර්ණයෙන්ම කැලෑවැදී නැත. එහෙත් ඔහු කැලෑව තුළට ගොස් නැවත ආපසු හැරී බලන තත්ත්වයක පසුවෙයි.

මුළු ලොවක් මහා විනාශයකට පත් කළ කොරෝනා වසංගතයේ වත්මන් තත්ත්වය මෙය වෙයි. කොරෝනා වසංගතය ලොවෙන් 85%කටත් අධික ප්‍රමාණයකින් තුරන්ව ඇති මෙම කාලයේ ලොව බොහෝ රටවල මිනිසුන් ඉතා සතුටින් ජීවත් වෙයි. බොහෝ රටවල මිනිසුන් තම එදිනෙදා කටයුතු ඉතා සාර්ථකව සිදුකරන අතර විටෙක කොරෝනා වසංගතයක් මෙලොව තිබුණේ දැයි කිසිවකුටත් මතකයක්ද නැත. පසුගිය දිනක ඇමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික හිතවතකු දුරකතනයෙන් කතා කරමින් සිටියදී අපූරු කතාවක් පවසා සිටියේය.

‘තව දවස් දෙකකින් ඇමෙරිකාවේ ජාතික දිනය පැවැත්වෙනවා. මෙහේ මිනිසුන් මිලියන ගානක් මේ උත්සවයට පාරට බැහැලා සතුටු වෙමින් විවිධ උත්සව පවත්වනවා. වෙලාවකට පාරක බැහැල යන්න බැහැ. ඒ තරමට මිනිසුන් එකතු වෙලා හරියට සතුටු වෙනවා. මෙහේ මිනිසුන්ට පසුගිය කාලයේ තිබුණෙ කොරෝනා ප්‍රශ්නය විතරයි. දැන් ඒකත් නැහැ. වෙන මුකුත් ප්‍රශ්න මේ මිනිසුන්ට නැහැ. හරිම සතුටකින් මේ අය ජීවත් වෙනවා…’ යැයි මෙම හිතවතා පවසා සිටියේය. ඔහු මා වෙත තවත් අතිශය කනගාටුවට පත් වෙමින් දීර්ඝ ලෙස කියා සිටියේ ශ්‍රී ලංකාවේ මිනිසුන්ට දැන් උදාවී ඇති තත්ත්වය ගැනය.

මෙලෙස ශ්‍රී ලංකාව තුළද කොරෝනා වසංගතය බොහෝ දුරට විශාල ප්‍රමාණයකින් අඩු වූයේ මෙම 2022 වසරේ ආරම්භයේ සිටමය. මෙය කෙතරම් වාසනාවක්ද? එහෙත් එම කරුමය නිමවී යනවාත් සමගම කොරෝනාවලටද වඩා භයානක ආර්ථික විනාශ කරුමය පටන් ගත්තේය. මෙරට සිටින අමනෝඥ පාලකයන්ගේ අදූරදර්ශී ක්‍රියාකලාපය හේතුවෙන් මෙම විනාශය ඇති වූයේය. මෙම දේශපාලකයන් පසුගිය කාලයක් පුරා තමන්ගේ සුබසාධනය සෙව්වා මිස ජනතාවගේ සුබසාධනය කුමක්දැයි සොයා බැලුවේ නැත. මේ භයානක ආර්ථික සහ මූල්‍ය විනාශය සිදුවන්නට පටන් ගෙන තවද හරියටම ගතවී ඇත්තේ මාස 06ක පමණ කෙටි කාලයකි. ඉන් පෙරද වසරක පමණ කාලයක සිට මෙරට ආර්ථිකය ඇදවැටෙමින් තිබුණත් මෙහි අතිශය බියකරු පැත්ත ඇතිවූයේ හරියටම මාස 06ක පමණ කෙටි කාලයක් තුළදීය. කොරෝනා වසංගතයද බොහෝ දුරට සමනය වී තිබුණද මෙම සමයේදී යම් හෙයකින් මෙවැනි විනාශයක් නොතිබුණේ නම් මේ රට කෙතරම් සශ්‍රීක තත්ත්වයක තිබෙනවාද? මිනිසුන් කෙතරම් සතුටකින් සිටිනවාද? මේ මහා විනාශයට මුළුමනින්ම වගකිව යුත්තේ වත්මන් රජයේ හිටපු සහ දැනට සිටින අමනෝඥ දේශපාලකයන්ය.

මෙවැනි අතිශය ඛේදනීය වටපිටාවක් යටතේ අද ශ්‍රී ලංකාව පත්ව ඇති දුක්ඛිත තත්ත්වය ගැන ලොව විවිධ ප්‍රකට මාධ්‍ය සහ ජාත්‍යන්තර සංවිධාන තම අදහස් ප්‍රකාශ කර ඇත්තේ මෙසේය. මෙහිදී පසුගියදා එක්තරා සුවිශේෂ විද්වතකු විසින් සිදුකර ඇති විශේෂ ප්‍රකාශයක් ගැන දැඩි අවධානය යොමුකළ යුතුය. මොහු නම් ලොව සිටින ඉතා ප්‍රකට ආර්ථික විශේෂඥයකු ලෙස සැලකෙන ඇමෙරිකානු ජාතික ස්ටීව් හෑන්ක්ය (Steve Hanke). 79 වැනි වියෙහි පසුවන ඔහු දැනට ඇමෙරිකාවේ මේරිලන්ඩ්හි පිහිටා තිබෙන ඉතා පැරැණි පර්යේෂ විශ්වවිද්‍යාලයක් වන ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ අංශ භාර මහාචාර්යවරයකු ලෙස සේවය කරයි. එසේම ඔහු එම විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කරයි. ස්ටීව් හෑන්ක් මහාචාර්යවරයාගේ විශේෂත්වය වන්නේ ඔහු පසුගිය කාලයක් පුරා ලෝකයේ ආර්ථික අර්බුදයෙන් කඩාවැටුණු රටවල් රැසක් ගැන දැඩි අධ්‍යයනයක නිරත වීමය. මෙහිදී ඔහු ශ්‍රී ලංකාවේ අර්බුදය ගැනද දැඩි ලෙස අවධානය යොමු කළ ආර්ථික විශේෂඥයකු වූ අතර ඒ අනුව ඔහු ශ්‍රී ලංකාවට අදාළව ආර්ථික විශ්ලේෂණ රැසක්ම ඉදිරිපත් කර ඇත. මහාචාර්ය ස්ටීව් හෑන්ක් යනු ඇමෙරිකාවේ හිටපු ජනාධිපති රොනල්ඩ් රේගන්ගේ ප්‍රධාන මූල්‍ය උපදේශකවරයාද වෙයි. මෙම විද්වතා පසුගිය දා ශ්‍රී ලංකාවේ අර්බුදය ගැන මෙසේ ප්‍රකාශ කර ඇත.

‘දැන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය මුළුමනින්ම මරණයට ගොදුරු වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ වාර්ෂික ආර්ථික උද්ධමනය 122%කටත් වඩා උච්ච අගයක් ගන්නවා. ලෝකයේ ආර්ථික උද්ධමනය වැඩි රටවල් අතරින් දෙවැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්වෙලා තිබෙනවා. පළමු වැනි තැන ඉන්නේ සිම්බාබ්වේ රාජ්‍යයයි. මේ අතර ශ්‍රී ලංකාවේ නිල උද්ධමනය 50%කටත් වඩා ඉහළ ගොස් තිබෙනවා. පසුගිය කාලයේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් 16කට සම්බන්ධ වී තිබුණත් ඉන් එකක් හෝ සාර්ථක වී නැහැ. මේ තත්ත්වය යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ණය ලබාදීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. පසුගිය ජුනි මාසයේ දින 30ක කාලය තුළදී වැඩිම උද්ධමනයක් වාර්තා වී ඇති සිම්බාබ්වේ රාජ්‍යයට අනුව අවම දියුණුවක් ඇති වැඩිම උද්ධමන වේගයක් ඇති රට ලෙස ශ්‍රී ලංකාව වාර්තා වෙනවා. අයි.එම්.එෆ්. සංවිධානය ශ්‍රී ලංකාවට ණය ලබාදීම ප්‍රතික්ෂේප කිරීම මගින් තවත් ඒ රටට නරක තත්ත්වයක් උදාවිය හැකියි. එය හොඳ කරුණක් නෙවෙයි…’ යැයි මහාචාර්යවරයා ප්‍රකාශ කර ඇත.

මේ අතර ලෝකයේ තවත් මාධ්‍ය ආයතන සහ විවිධ පිළිගත් සංවිධාන රැසක් ශ්‍රී ලංකාව ගැන මත පළකර ඇත.

බි‍්‍රතාන්‍යයේ බී.බී.සී. පුවත් සේවය හෙවත් බි‍්‍රතාන්‍ය ගුවන්විදුලි සංස්ථාව – British Broadcasting Corporation
‘ශ්‍රී ලංකාවේ අර්බුදය විසඳීම සඳහා ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (අයි.එම්.එෆ්.) ඩොලර් බිලියන 03ක ණය මුදලක් මූලික වශයෙන් ඉල්ලා තිබුණා. එහෙත් දැනට පෙනෙන කරුණුවලට අනුව එම ණය මුදල ශ්‍රී ලංකාවට ලැබෙන එකක් නැහැ. සාකච්ඡා වාර ගණනාවක් තිබුණත් මෙතෙක් මේ කිසිම දෙයකින් සාධනීය ප්‍රතිචාර සහ ප්‍රතිඵල හිමිවෙලා නැහැ. අද ශ්‍රී ලංකාව තුළ එදිනෙදා අත්‍යාවශ්‍ය කටයුතු සඳහා භාවිත කිරීමට ඉන්ධන කිසිවක් නැහැ. ඉන්ධන ගෙන්වීම සඳහා රජය සතුව විදේශ විනිමය කිසිවක් නැහැ. මේ යටතේ දැන් සාමාන්‍ය ජනතාවට ඉන්ධන අලෙවිය පවා තහනම් කරලා තිබෙන්නේ. පාසල් සියල්ලම මේ වන විට වසාදමලා තිබෙනවා. රජයේ බොහෝ සේවකයන්ට වැඩට එන්න එපා කියලා තියෙනවා. මේ අතර විදුලි කප්පාදුව දිනපතාම සිදුවෙනවා. ශ්‍රී ලකාවේ ඉතිහාසයේ ප්‍රථම වතාවටයි පසුගිය 2022 මැයි මාසයේදී විදේශ ණය ගෙවීම නවතා දැමුවේ. දැන් ශ්‍රී ලංකාව විදේශ ණය පැහැර හරින රටක් බවට අසාදු ලේඛනගත වුණා. ශ්‍රී ලංකාවේ වැරැදි දේශපාලනික ආර්ථික කළමනාකරණය මෙයට වගකිව යුතුයි…’

‘ද ගර්ඩියන්’ – The Guardian මාධ්‍ය ආයතනය, මහා බි‍්‍රතාන්‍යය
‘ශ්‍රී ලංකාවේ ආර්ථිකය මුළුමනින්ම කඩාවැටී ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ණය බරින් පිරුණු වත්මන් ආර්ථිකය මාස ගණනාවක ආහාර, ඉන්ධන සහ විදුලි හිඟයෙන් පසු බිඳවැටී ඇතැයිද අගමැතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. එහෙත් අගමැතිවරයා මෙම තත්ත්වයට කිසිදු නිශ්චිත විසඳුමක් හෝ සාධකයක් හෝ ඉදිරිපත් කර නැහැ. තමන්ට ඉක්මනින් නිවැරැදි කළ නොහැකි දුෂ්කර කාර්යයක් උරුම වී ඇති බැව් විවේචකයන්ට සහ විපක්ෂ නීති සම්පාදකයන්ට අවධාරණය කිරීමටයි ඔහු උත්සාහ කර ඇත්තේ. ලංකා ඛනිජ තෙල් සංස්ථාව මේ වන විට ඩොලර් මිලියන 700ක් ණය වී තිබෙනවා. මේ නිසා ඉදිරියටත් ශ්‍රී ලංකාවට ණයට ඉන්ධන ලැබෙන්නේ නැහැ. මෙතෙක් කලක් ශ්‍රී ලංකාවේ මධ්‍යම පාන්තික පවුල් සාමාන්‍යයෙන් හොඳ ආර්ථික සුරක්ෂිතතාවක් භුක්ති වින්දා. එහෙත් අද දිනෙකට ආහාර වේල් තුන තබා දෙකක්වත් නිසි ලෙස කළමනාකරණය කරන්නේ කෙසේදැයි ඔවුන් සිතනවා. මේ වන විට ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය 57%ක් ලෙස වාර්තා වනවා…’

ඇමෙරිකාවේ CNN (Cable News Network) International මාධ්‍ය සේවය
‘ශ්‍රී ලංකා රජය අයි.එම්.එෆ්. සංවිධානයෙන් සහ වෙනත් ගෝලීය හවුල්කරුවන්ගෙන් උදව් ඉල්ලා තිබෙනවා. දශක 07කට පසුව ප්‍රථම වතාවටයි ශ්‍රී ලංකාව මෙවැනි අර්බුදයකට මුහුණ දී සිටින්නේ. මේ ප්‍රශ්නය විසඳීමට මෙතෙක් රජය නිසි පියවරක් ගෙන නැහැ. දැන් ශ්‍රී ලංකාවේ දවසේ පැය 24 පුරාම දකින්නට තිබෙන්නේ පෝලිම් පමණයි. මේ පෝලිම්වල සිටින මිනිසුන් මැරිලා වැටෙන තත්ත්වයකටද පත්වෙලා තිබෙනවා. මේ අතර පෝලිම්වල සිටින මිනිසුන් පොලිසිය හා යුද හමුදාව සමගද ගැටුම් ඇතිකර ගන්නවා. ඉන්ධන සහ ඖෂධ ප්‍රශ්නය නිසා රෝහල් කටයුතු සම්පූර්ණයෙන්ම අඩාළ වෙලා. ආසියානු ජනතාවගේ ප්‍රධාන ආහාරය වන සහල් අද ශ්‍රී ලංකාවේ වෙළෙඳසල්වල රාක්කවලින් අතුරුදන් වෙලා. හරිම දරුණු ආහාර හිඟයකට සහ උච්චතම උද්ධමනයකට රට පත්වෙලා. යාබද ඉන්දියාවෙන් මේ වන විට ඩොලර් බිලියන 04ක පමණ ණයක් ලැබිලා එයින් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ගෙනාවා. ඒත් දැන් ඒකත් ඉවරයි. එහෙත් ඉන්දියාවට මේ ණය සැමදා දෙන්න බැහැ. පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ ඉන්ධන පෝලිම්වල සිටි පුද්ගලයන් 12 දෙනකු මරණයට පත්වී තිබෙනවා. මෙය හරිම අවාසනාවන්ත ඛේදනීය තත්ත්වයක්…’

කටාර් රාජ්‍යයේ සිට විකාශය වන අල් ජසීරා ඉන්ටර්නැෂනල් මාධ්‍ය සේවය – AL Jazeera International
‘ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය අවසන් වී යම් පමණකට රට ස්ථාවරත්වයකට පත්වීමට තවත් මාස 18ක කාලයක්වත් (වසර එකහමාරක්) ගතවන බැව් ශ්‍රී ලංකාවේ අගමැති රනිල් වික්‍රමසිංහ අපගේ අල් ජසීරා පුවත් සේවය සමග සිදුකර ඇති සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබුණා. කෙසේ හෝ මේ වන විට ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය 60%කටත් වඩා ඉහළ ගොස් තිබෙනවා. එසේම පසුගිය 2022 මාර්තු මාසයේ සිට ශ්‍රී ලංකා රුපියල කඩාවැටීම 80%කටත් වඩා සිදුවෙලා තිබෙනවා. දැනට තිබෙන විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කරන ලෙස විරුද්ධ පක්ෂ සහ අරගලකරුවෝ ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකාවේ තුන්වැනි විශාලතම ණය දෙන්නා වන චීනය මේ වන විට රට තුළ ඇති අර්බුදයට ප්‍රතිචාර දැක්වීම ඉතා ප්‍රමාද කර තිබෙනවා. ඔවුන් පවසන්නේ පසුගිය වසරේදී රාජපක්ෂ රජය විසින් චීන රජයේ සමාගම්වල යටිතල පහසුකම් අවලංගු කිරීම නිසා එසේ ප්‍රතිචාර දැක්වීම සිදුවී ඇති බවයි. එම තත්ත්වය චීන රජය සමග අමනාපයක් බවට පත්වී ඇත….’

ඇමෙරිකාවේ රොයිටර්ස් (Reuters) ජාත්‍යන්තර මාධ්‍ය ආයතනය
‘ශ්‍රී ලංකාවේ ආර්ථික සහ මූල්‍ය අර්බුදය යම් පමණකට හෝ විසඳීමට නම් අඩුම තරමේ ඩොලර් මිලියන 05ක මුදලක්වත් ඉක්මනින් අවශ්‍ය බැව් රාජ්‍ය මූල්‍ය පාර්ශ්ව ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ හෝ පසුගිය කාලයේ ඉන්දියාව ඩොලර් මිලියන 04ක පමණ ණය ආධාර ශ්‍රී ලංකාවට ලබා දුන්නා. ඒ අතරම පසුගියදා ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් පැමිණි ඉහළ නියෝජිත පිරිස ප්‍රකාශ කර ඇත්තේ තමන් තවත් ආධාර ශ්‍රී ලංකාවට ලබාදීමට බලාපොරොත්තු වෙනවා කියලායි. ඉන්ධන සඳහා ඉක්මනින්ම ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක් පමණ අත්‍යාවශ්‍යයි. එහෙත් එවැන්නක් සොයාගැනීමට මෙතෙක් ක්‍රමයක් නැහැ. ශ්‍රී ලංකාව තුළ ආහාරවල මිල ගණන් ජනතාවට දරාගන්න බැහැ. මේ නිසා අද බොහෝ ගෙවල්වල ආහාර ගැනීම යම් පමණකින් සීමාකර තිබෙනවා. බොහෝ දරුවන්ට නිසි පරිදි කිරි වේලක් ලබාදෙන්නට එම මවුපියන්ට හැකියාවක් නැහැ. ඉන්ධන නොමැති වීම නිසා දැනට එදිනෙදා රැකියාව කර ජීවත් වන මිනිසුන් මුළුමනින්ම හිඟන්නන් බවට පත්වෙලා. රට තුළ සිටින ආර්ථික විශේෂඥයන් කියන්නේ මේ තත්ත්වයට පාලකයන්ට කළ හැකි කිසිවක් නැති බවයි. පාලකයන් රටේ අනාගතය ගැන කිසිවක් සිතුවේ නැතැයි ඔවුන් දෝෂාරෝපණය කරනවා…’

The World Bank – ලෝක බැංකුව සඳහා වන ඇමෙරිකානු මූලස්ථානය
‘මූල්‍ය හා බාහිර අසමතුලිතතා හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික දැක්ම බෙහෙවින්ම අවිනිශ්චිතය. ඉහළ මට්ටමේ ණය සහ ණය සේවාවලට විසඳුම් සෙවීම, මූල්‍ය හිඟය අඩු කිරීම, බාහිර ස්ථාවරත්වය යථා තත්ත්වයට පත්කිරීම, දිළිඳු හා අවදානමට ලක්වූවන් කෙරෙහි අහිතකර බලපෑම අවම කිරීම ආදී කටයුතු සඳහා හදිසි, ක්‍රමවත් ප්‍රතිපත්තියක් අවශ්‍ය බව ලෝක බැංකුව මින් පෙර ශ්‍රී ලංකාවට උපදෙස් ලබාදී තිබුණා. මේ තත්ත්වය ගැන ලෝක බැංකුව දැඩි කනස්සල්ලට පත්වී සිටියි. කෙසේ හෝ ශ්‍රී ලංකාවේ ජනතාවගේ යහපැවැත්ම උදෙසා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ලෝක බැංකුව බලාපොරොත්තු වෙනවා. ලෝක බැංකුව ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර කරන බවට පසුගියදා ප්‍රකාශ වුණත්, එය සාවද්‍ය ප්‍රකාශයක්. ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ගැන ලෝක බැංකුව සැලකිලිමත් වුවත් මෙතෙක් ලෝක බැංකුව ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර ලබාදීමට කැමැත්ත ප්‍රකාශ කර නැහැ…’

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් – Amnesty International ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය
‘වර්තමානයේදී ශ්‍රී ලංකාවේ ජනතාව ඉතාමත් ව්‍යසනකාරී ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින බැවින් රජය සෑම පුරවැසියකුගේම මානව හිමිකම් අදහස් ප්‍රකාශ කිරීමට හැකි පරිසරයක් සහතික කළ යුතුය. මේ අතර ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවගේ සහාය ලබාදෙන ලෙසට අප සංවිධානය ඉල්ලා සිටිනවා. ණය සහන සහ වෙනත් ආධාර වැනි අවශ්‍ය මූල්‍ය හා තාක්ෂණික සහාය ශ්‍රී ලංකාවට ලබාදීමට පියවර ගන්නා ලෙස එම ජාත්‍යන්තර සංවිධානවලින් ඉල්ලා සිටිනවා…’

TIME (ටයිම් සඟරාව) ඇමෙරිකාවෙන් ප්‍රකාශිත ලොව පුරා පළවන ඉතා ප්‍රකට ප්‍රකාශනයකි.
‘ශ්‍රී ලංකාව කියන්නේ දුප්පත් රටක් නෙවෙයි. එම දේශය පසුගිය කාලයක් පුරාම ඉතාමත් සශ්‍රීකව තිබුණා. එහි දළ දේශීය නිෂ්පාදිතය ලෝකයේ අනෙක් ප්‍රකට රටවල් වන දකුණු අප්‍රිකාව, ඊජිප්තුව, ඉන්දුනීසියාව, පේරු වැනි රටවලටත් වඩා වැඩියි. ශ්‍රී ලංකාව විනාශ වී තිබෙන්නේ පවුල් දේශපාලනය නිසයි. ප්‍රකට රාජපක්ෂ පවුලේ අය අතරේ වැදගත් තනතුරු සියල්ල බෙදාගත්තා. එසේම රාජපක්ෂ පවුලේ සාමාජිකයන් විසින් බොහෝ විශාල දූෂණ වංචා රැසක්ම සිදුකර තිබෙනවා. මේ නිසා අද ශ්‍රී ලංකාව මහා විනාශයකට වැටිලා ඉවරයි…’

ප්‍රියන්ත හෙට්ටිගේ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka