gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලසන්තව ඝාතනය කරපු හැටි, පරීක්ෂණ යට ගිය හැටි, ගෝඨා බලයට එනකොටම රටින් පැනල ගිය රහස් පොලීසියේ IPනිශාන්ත ජාත්‍යන්තර අධිකරණයේදී විශේෂ හෙළිදරව්වක් කරයි

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය වී මේ වන විට වසර ගණනාවක් ගතව ඇතත් එම ඝාතනය සිදුකළ පුද්ගලයන් අනාවරණය කරගැනීමට මෙතෙක් පැවැති කිසිදු රජයකට හැකියාව ලැබුණේ නැහැ. එවක පැවැති රජයේ ඉහළ ධුරයන් හෙබවූ පුද්ගලයන් අදාළ ඝාතනයට සම්බන්ධ බවට විවිධ පාර්ශ්ව චෝදනා කළත් එම චෝදනාවන්ද නිසි විමර්ශනයකින් හෝ අධිකරණමය ක්‍රියාවලියකින් තහවුරු කිරීමට හැකි වුණේද නැහැ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ නිශාන්ත සිල්වා මහතා, ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් සුවිශේෂ හෙළිදරව්වක් පසුගියදා සිදුකළේ එවන් පසුබිමක් තුළයි. එල්ල වූ ජීවිත තර්ජන හේතුවෙන් දේශපාලන රැකවර පතා මේ වන විට ස්විට්සර්ලන්තයට ගොස් සිටින නිශාන්ත සිල්වා, ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණය හමුවේ කරුණු රැසක් හෙළිදරව් කිරීමට පසුගියදා කටයුතු කළා. එහිදී ඔහු ලබාදුන් දීර්ඝ ප්‍රකාශය මෙරට දේශපාලන ක්ෂේත්‍රය තුළ කැලඹීමක් ඇතිකිරීමට සමත් වූවක්. නිශාන්ත සිල්වාගේ එම සාක්ෂි ඇතුළත් වීඩියෝව The life Traveler යූටියුබ් චැනලයෙන් උපුටාගෙන, පාඨක ඔබ වෙනුවෙන් අප මෙලෙස ඉදිරිපත් කරනවා.
මෙහිදී නිශාන්ත සිල්වා විසින් සිය කතාවේදී ආරක්ෂක අංශවලට සම්බන්ධව සිටි නිලධාරීන් රැසකගේම නම්ගම් හෙළිකිරීමට කටයුතු කර තිබුණා. නමුත් අප එම නම්ගම් කිසිවක් මෙහි අන්තර්ගත නොකිරීමට වගබලා ගත්තා. ඒ, මාධ්‍ය සදාචාරයට අනුව ඔවුන් තවමත් සැකකරුවන් බවට පමණක් පත්ව සිටින නිසා. ඒ වගේම නිශාන්ත සිල්වා, කීත් නොයාර් මහතාට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන්ද නම්ගම් සහිතව විශේෂ හෙළිදරව්වක් කරනු ලැබුවා. අප එම කොටස මෙම ලිපියෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කළා. ඕනෑම කෙනකුට නිශාන්ත සිල්වාගේ නමින් අන්තර්ජාලයට ගියහොත් මේ වීඩියෝව සම්පූර්ණයෙන්ම නරඹන්න පුළුවන්.

එම විමර්ශන කටයුතු සිදුකිරීමේ හේතුව මත මට එල්ල වූ මරණ තර්ජන හේතුවෙන් මාගේ පවුලේ සාමාජිකයන් සමග ජීවිතාරක්ෂාව සඳහා ස්විට්සර්ලන්තයට මා පැමිණියා. මේ විමර්ශන සිදුකිරීමේදී මා සිදුකළ, අද මෙම නඩු කටයුත්තට භාජනය වුණු මාධ්‍යවේදී ලසන්ත මනිලාල් වික්‍රමතුංග මහතාගේ විමර්ශනය, මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ විමර්ශනය, පුද්ගලයන් 11 දෙනකු පැහැරගෙන ගොස් නාවික හමුදා බුද්ධි නිලධාරීන් විසින් ඝාතනය කිරීම සහ කප්පම් ලබාගැනීමට අදාළ පරීක්ෂණය, නාවික හමුදාව විසින් තවත් පුද්ගලයන් දෙදෙනකු පැහැරගෙන ගොස් ඔවුන්ගේ වාහනය කෑලි 70කට කපා ඔවුන්ව අතුරුදන් කිරීමේ සිද්ධිය, යාපනය ප්‍රදේශයේ පාසල් දැරියක් වූ ශිවලෝගනාදන් විද්‍යා නමැති තරුණිය පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක්කොට මරාදැමීමේ සිද්ධිය, ප්‍රදීප් එක්නැලිගොඩ මාධ්‍යවේදියා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය, මාධ්‍යවේදීන් වන උපාලි තෙන්නකෝන්, නාමල් පෙරේරා මහත්වරුන්ගේ සිද්ධිය, විශේෂ ගණයේ අපරාධ සම්බන්ධයෙන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සම්බන්ධ විමර්ශන කටයුතු මාගේ අපරාධ පරීක්ෂණ කාලය තුළදී මා විසින් සිදුකරනු ලැබුවා.

මගේ මතකයේ හැටියට 2015 සැප්තැම්බර් මාසෙ 17 වැනිදා එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කළ එස්.එස්.පී. නාගහමුල්ල මහතා මට දුරකතනයෙන් දැනුම් දුන්නා මෙම විමර්ශන කටයුතු එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ Special Investigation Unit 03 වලින් කරගෙන තිබුණෙ. ඒ විමර්ශනවල මන්දගාමී බවක් තියෙනවා කියලා එවක සහකාර පොලිස් අධිකාරී බී.එස්. තිසේරා මහතා සමග එකතු වෙලා මේ විමර්ශන කටයුතු භාරගන්න කියලා මට කිව්වා. එතකොට ඒ මහතාට කිව්වා මට ඒක භාරගන්න බෑ, මොකද ඒ වෙද්දී මම කලින් සඳහන් කළ විමර්ශන කටයුතුවල නියැළිලා හිටියෙ. අධ්‍යක්ෂතුමා එතකොට කිව්වා එහෙම බෑ, ඔබ මේක භාරගන්න ඕනෙ කියලා. ඒ විදියට තමයි මම මේ විමර්ශනය භාරගත්තේ.

2009 ජනවාරි මාසෙ 08 වැනි දින අත්තිඩිය මලගල ප්‍රාථමික විද්‍යාලය අසල කාර් රථයකින් ගමන් කරමින් සිටි ලසන්ත මනිලාල් වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධ විමර්ශන කටයුතු ගල්කිස්ස පොලිස් බලප්‍රදේශයේ සිදුවූ බැවින් ගල්කිස්ස පොලිස් ස්ථානය විසින් එය සිදුකළා. ඉන් පසුව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට 92/2009 යටතේ ඒ විමර්ශන කටයුතුවල ප්‍රගතිය වාර්තා කළා. ඉන් අනතුරුව ගල්කිස්ස පොලිසිය සිදුකළ විමර්ශනවලදී ප්‍රගතියක් නොමැති බව අගතියට පත් පාර්ශ්වය විසින් ගල්කිස්ස අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව, අධිකරණය විසින් පොලිස්පති හරහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත 2009.11.25 මේ කේස් එක (පරීක්ෂණ කටයුතු) භාර කෙරුවා. එතකොට විමර්ශන කටයුතු කළේ විශේෂ විමර්ශන අංශ 3 මගින්. එම විමර්ශන ආරම්භ කරලා මාස 2ක් ඇතුළත නැවත (2010 පෙබරවාරි හෝ මාර්තු) එම විමර්ශන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත මාරුකළා. ඉන් අනතුරුව 2015දී නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශ 3ට යොමු කළා. එසේ තිබියදී මා එවක රාජකාරි කළේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති ලෙස. මගේ අධීක්ෂණ නිලධාරියා තමයි දැනට විශ්‍රාම ගොස් සිටින ශානි අබේසේකර මහතා. නමුත් මේ විමර්ශනය සිදුකළ විශේෂ විමර්ශන අංශ 3 මගින් ප්‍රගතියක් නොමැති බවට දැනුම් දීමෙන් පසු මා කලින් සඳහන් කළ පරිදි අධ්‍යක්ෂ නාගහමුල්ල මහතා මා හට සහ සහකාර පොලිස් අධිකාරි තිසේරා මහතාට මෙම විමර්ශන කටයුතු සඳහා සහාය වන ලෙස දැනුම් දුන්නා. මමයි, සහකාර පොලිස් අධිකාරිතුමයි වෙනම අංශයක, මේ විමර්ශන කරන්නේ වෙනම අංශයක, එම කටයුතු විමර්ශනයට සහ පරිපාලනමය ප්‍රශ්නයක් බැවින් එවක අධ්‍යක්ෂ ධුරය දැරූ ශානි අබේසේකර මහතාට දැනුම් දීමෙන් අනතුරුව එම විමර්ශනය සමූහ මංකොල්ල විමර්ශන අංශයට භාරදුන්නා. ඒ විදියට තමයි ඒ කටයුතු සිදුවුණේ. ගල්කිස්ස පොලිස් ස්ථානය, සී.අයි.ඩී. එක, ත්‍රස්ත විමර්ශන අංශයේ සියලු විමර්ශන සිදුකිරීමට පෙර අප භාරයේ සිටි විමර්ශන කණ්ඩායමේ නිලධාරීන් විසින් සියලු උධෘත අධ්‍යයනය කරනු ලැබුවා.

එහිදී අපි ඉස්සෙල්ලාම බැලුවා ලසන්ත වික්‍රමතුංග කියන්නේ කවුද කියලා. ඔහු ‘සන්ඩේ ලීඩර්’ පුවත්පතේ ප්‍රධාන කර්තෘ. ඔහු තිදරු පියෙක්. ඔහුගේ මුද්‍රණාලයට දෙපාරක් ගිනිතැබීමෙන් අලාභ හානි සිදුව තිබුණා. එක් අවස්ථාවක ඔහුගෙ නිවෙසට වෙඩි තිබ්බා. ලසන්ත වික්‍රමතුංග මහතා මියයෑමට මත්තෙන් ගල්කිස්ස දිසා අධිකරණයේදී එවක ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ විසින් වාරණ නියෝගයක් ලබාගැනීමක් අපට නිරීක්ෂණය වුණා. ඒ අතරවාරයේ තමයි 2009 ජනවාරි 08 වැනි දින ලසන්ත වික්‍රමතුංග මහතාව යතුරුපැදිවලින් ආපු කණ්ඩායමක් විසින් ඝාතනය කළා කියලා ගරු අධිකරණයට ඉදිරිපත් කළ සහ ගල්කිස්ස පොලිස් ස්ථානය විසින් ඉදිරිපත් කරපු ලේඛන උධෘත විශ්ලේෂණය කිරීමේදී මා හට දැනගන්න ලැබුණේ. ගල්කිස්ස පොලිස් ස්ථානය මගින් සිදුකළ විමර්ශන බැලීමේදී මෙම ඝාතන සිද්ධිය සම්බන්ධ සාක්ෂිකරුවන් තිදෙනෙක් සහ ඇසින් දුටු සාක්ෂිකරුවෙක් හඳුනාගෙන තිබෙනවා. ඊට අමතරව ලසන්තගේ කාර් රථයේ තිබූ ඔහුගේ ලිපි ලේඛන නඩු භාණ්ඩ ලෙස ලබාගෙන තිබුණා. ඊට අමතරව ලසන්ත වික්‍රමතුංග මහතා පරිහරණය කළ ජංගම දුරකතනය වෙනත් පුද්ගලයකු ළඟ තිබිලා පසුව සොයාගැනීමක් සම්බන්ධයෙන් පසුව දැනගන්න ලැබුණා. ඒ පිළිබඳ විමර්ශනය කිරීමේදී දැනගන්න ලැබුණේ ලසන්ත වික්‍රමතුංග මහතා ප්‍රහාරයට ලක්වීමෙන් පසුව මාර්ගයේ ගමන් කළ මගීන් තමයි ඔහුව කළුබෝවිල රෝහලට ගෙනිහින් තියෙන්නේ කියලා. ඒ මගීන් අතර සිටි පුද්ගලයෙක් ලසන්තගේ දුරකතනය සොරාගෙන ගොස් තියෙන්නේ. ඊට අමතරව ගල්කිස්ස පොලිස් ස්ථානය මගින් ලසන්ත වික්‍රමතුංග මහතාගේ පවුලේ අයගෙන් සහ ලසන්ත වික්‍රමතුංග මහතාගේ තොරතුරු දන්නා අයගෙන් සාක්ෂි ලබාගෙන තිබුණා. එම අපරාධ ස්ථානයට රජයේ රසපරීක්ෂවරයා ගෙන්වා, පරීක්ෂණ කටයුතු සිදුකර තිබුණා. මරණ පරීක්ෂණ කටයුතු අධිකරණ වෛද්‍ය නිලධාරි සුනිල් කුමාර මහතා විසින් සිදුකර තිබුණා. එම වාර්තාව අනුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරලා තිබුණා මෙම මරණය වෙඩිතැබීමකින් සිදුවූ මරණයක් බවට. ඊට පසුව මෙම මරණය සිදුවූ ස්ථානයට කිලෝමීටර් 2-3ක් පමණ දුරින්, (2009 ජනවාරි 27 වැනිදා) ගල්කිස්ස පොලිස් බලප්‍රදේශයේ ඇති ඇළක තිබිලා යතුරුපැදියක් ගොඩඅරන් තිබුණා ගල්කිස්ස පොලිස් ස්ථානය මගින්. එම යතුරුපැදිය සම්බන්ධයෙන් විමර්ශන කිරීමේදී වවුනියාව ප්‍රදේශයේ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ හෝ හදිසි නීතිය යටතේ ඔහුව රඳවාගෙන ගල්කිස්ස පොලිසිය විමර්ශනයක් කරලා තියෙනවා.

මම මේ ගරු අධිකරණයට කියන සියලු කරුණු ගල්කිස්ස පොලිස් ස්ථානයේ උධෘත විශ්ලේෂණය කිරීමෙන් මා ලබාගත්, මේ වන විටත් මගේ මතකයේ ඇති කරුණු බව පැහැදිලිව කියනවා.

ඊට පස්සේ ගල්කිස්ස පොලිසියේ එම විමර්ශනය ඉන් එහාට ගිය බවක් අපට දකින්න ලැබුණෙ නෑ එම උධෘත විශ්ලේෂණය කිරීමේදී. ඒ අනුව ගල්කිස්ස පොලිසියේ විමර්ශනවල ප්‍රගතියක් නැති නිසා ලසන්ත වික්‍රමතුංග පාර්ශ්වය අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව මෙම විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට 2009 නොවැම්බර් මාසෙ 25 වැනිදා භාරදෙන්නේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ විමර්ශනය භාර කෙරුණට පස්සේ මා පෙර සඳහන් කළ පරිදි Special Investigation Unit 01 එකෙන් තමයි මේ විමර්ශන යටයුතු සිදුකළේ. ඒ කටයුතු සිදුකරනකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගල්කිස්ස පොලිසිය විසින් සිදුකරන සියලු එක්ස්ට්‍රැක්ට් ඒගොල්ලො අරගෙන තිබුණා. එතකොට ලසන්ත වික්‍රමතුංග මහතාගේ දුරකතන අංකයෙ විස්තර සහ අනෙක් ප්‍රකාශවල උධෘත අරගෙන සිදුකළ විමර්ශනයේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ නිවෙසේ සිට ඔහුගෙ සේවා ස්ථානය පිහිටි අත්තිඩිය ප්‍රදේශය දක්වා ගමන් මාර්ගයේ ඇති සියලු දුරකතන සංඥා කුලුනුවලින් තොරතුරු අරගෙන තිබුණා. ඔහුගේ නිවෙසේ සිට මරණය සිදුවූ ස්ථානය දක්වා කුලුනු වාර්තාවක් අරගෙන තිබුණා. ඒක ඇත්තටම අරගෙන තිබුණේ මිරිහාන විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති. නමුත් වාසනාවකට ඒක ගල්කිස්ස පොලිස් ස්ථානය හෝ මිරිහාන පොලිස් ස්ථානය විසින් විශ්ලේෂණයට ලක්කර තිබුණේ නෑ. එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමයි පළමුවෙන්ම විමර්ශනයට භාජනය කළේ. එමගින් හඳුනාගන්න ලැබුණා ලසන්ත වික්‍රමතුංග මහතාගේ නිවෙසේ සිට ඝාතනය සිදුවූ ස්ථානය දක්වා ඔහු ගමන් කළ මාර්ගයේ ආගන්තුක දුරකතන අංක පහකුත් ගමන් කරන බව. එම දුරකතන අංක පහේ හිමිකරු වශයෙන් නුවරඑළිය මාගස්තොට පදිංචි පිච්චෙයි ජේසුදාසන් නමැති පුද්ගලයෙක් ගැන උධෘතවල ඇති කරුණු අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 2009 දෙසැ. 10 වැනි දින අනාවරණයක් කරනවා.

පසුව විමර්ශන කටයුතු කරගෙන යද්දී 2010 ජනවාරි මාසෙ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයක් තිබුණා. ඒකෙ එක් අපේක්ෂකයකු ලෙස මහින්ද රාජපක්ෂ හිටියා. අනෙක් පාර්ශ්වයෙන් හිටියේ සරත් ෆොන්සේකා මහතා. එම මැතිවරණයෙන් මහින්ද රාපජක්ෂ බලයට පත්වීමෙන් අනතුරුව සී.අයි.ඩී. එකේ පරිපාලනයට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කීර්ති ගජනායක මහතා පැමිණියා. ඉන් පසුව මෙම විමර්ශන මා සහ මගේ කණ්ඩායම විසින් පරිශීලනය කිරීමේදී ඊට අදාළ වටිනා සාධකයක් හඳුනාගෙන සිටියදී විමර්ශන කටයුතු එවක හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය මහතාගේ නියෝගය මත බව සඳහන් කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කීර්ති ගජනායක මහතා විසින් මෙම විමර්ශනය, ත්‍රස්ත විමර්ශන අංශයට මාරුකරනු ලැබුවා. ගරු අධිකරණයේ අවධානය යොමු කරනවා සාමාන්‍යයෙන් සී.අයි.ඩී. එකෙන් කේස් එකක් ට්‍රාන්සර් කරන්නේ නෑ. මේකෙ වුණේ ඒකෙ අනෙක් පැත්ත. ඉන් පස්සේ මම එම නියෝගය පිළිබඳ සොයාබැලීමේදී මට තවත් දෙයක් නිරීක්ෂණය වුණා. ඒ කේස් එකත් එක්කම 2008 මැයි 23 වැනිදා පැහැරගෙන ගොස් පහරදීමට ලක්වූ ‘ද නේෂන්’ පුවත්පතේ කර්තෘ කීත් නොයාර් මහතාට අදාළ පරීක්ෂණය, 2009 ජනවාරි 23 පහරකෑමට ලක්වූ උපාලි තෙන්නකෝන් මහතාට අදාළ විමර්ශනය කියන විමර්ශන තුනම ත්‍රස්ත විමර්ශන අංශයට මාරුකරලා තියෙන බවත් නිරීක්ෂණය වුණා.

එතකොට අපේ කණ්ඩායමට ප්‍රශ්නයක් වුණා ඒ වෙනකොටත් සී.අයි.ඩී. එකේ සාමාන්‍ය විමර්ශන බොහෝ තිබුණත් මේ විමර්ශන තුන විතරක් මාරු කරන්න හේතුව මොකක් කියලා. අපි බැලුවා ටී.අයි.ඩී. එකට භාරදීමෙන් අනතුරුව ටී.අයි.ඩී. එක කොහොමද ඒ කටයුතු කරලා තියෙන්නේ කියලා.

සී.අයි.ඩී. එකෙන් අත්අඩංගුවට ගැනීමක් සිදුවුණේ නෑ. ඒක තමයි මම කිව්වේ සී.අයි.ඩී. එකට හොඳ ප්‍රගතියක් ගන්න තිබුණු අවස්ථාව වළක්වලා මේක ටී.අයි.ඩී. එකට ට්‍රාන්සර් කළා කියලා.

ටී.අයි.ඩී. එකේ මේ විමර්ශන උධෘත මාගේ සහ මගේ විමර්ශන කණ්ඩායමේ නිරීක්ෂණයට ලක්වීමේදී එහිදී දැනගත් කරුණු මා අධිකරණයට පැහැදිලි කරන්නම්. ටී.අයි.ඩී. එකේ එවක අධ්‍යක්ෂ ලෙස සිටි නිලධාරියා මේ අවධියේ අල්ලස් කොමිසමේ නිලධාරියකු ලෙස සේවය කරනවා.

මා කලින් සඳහන් කළ පරිදි ලසන්තගේ දුරකතනයට සමීපව ගමන් කළ ආගන්තුක සහ සැකකටයුතු දුරකතන අංක පහේ හිමිකරු පිච්චෙයි ජේසුදාසන් යන අයව 2010 පෙබරවාරි හෝ මාර්තු මාසේදී අත්අඩංගුවට ගනු ලබනවා. ඉන් මට නිරීක්ෂණ වුණා යුද හමුදා බුද්ධි සාමාජිකයෙකුත් අත්අඩංගුවට ගැනීමක් කරලා, රඳවාගැනීමේ නියෝග මත ඔවුන්ව ටී.අයි.ඩී. එකේ රඳවාගෙන විමර්ශන කර ඇති බව. 2010 පෙබරවාරි මාසෙ දින දෙකක් තුළදී කොහුවල යුද හමුදා බුද්ධි අනුකණ්ඩයට අයත් සාමාජිකයන් 17 දෙනකු අත්අඩංගුවට ගෙන තියෙනවා. ඉන් අනතුරුව මෙම සිදුවීම පිළිබඳ ගල්කිස්ස අධිකරණයට කරුණු වාර්තා කර නැති බවට විශ්ලේෂණ උධෘතවලින් අනාවරණ වුණා. ඒ ගැන වෙනමම අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබුණා. ඊට අමතරව මෙම 17 දෙනා හදිසි නීතිය යටතේ රඳවා ගෙන විමර්ශන කරලා තිබුණා. ඉන් අනතුරුව ඔවුන්ව අවස්ථා දෙකකදී දින 5-6ක් රඳවා තබාගෙන ප්‍රකාශ සටහන් කරලා මුදාහැර තිබුණා. ඒ වෙද්දී ගල්කිස්ස පොලිසිය මගින් ඇසින් දුටු සාක්ෂිකරුවෙක් හඳුනාගෙන තිබුණා. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් මෙම සැකකරුවන් කිසිම අවස්ථාවකදී ගල්කිස්ස පොලිසියට ඉදිරිපත් කරලා, හඳුනාගැනීමේ පෙරට්ටුවට දාලා තිබුණෙ නෑ. ඒ බවත් අපට දැනගන්න ලැබුණා.

ඊට අමතරව කීත් නොයාර් සහ උපාලි තෙන්නකෝන් යන අයට පහරදීමේ සිදුවීම්වලට අදාළ විමර්ශන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් සිදුකළ බවක් මට නිරීක්ෂණය වුණේ නැහැ. මොකද ඒ විමර්ශන කටයුතුවල කිසිදු කටයුත්තක් එම අංශය මගින් සිදුකර නොමැති බවට ලේඛන විශ්ලේෂණය කිරීමේදී මට අනාවරණය වුණා.

මෙම උධෘත විශ්ලේෂණ සහ මා පසුව කළ විමර්ශනවලදී අනාවරණ වුණා මෙම යුද හමුදා සෙබළු 17 දෙනා එවක යුද හමුදාපතිව සිට පසුව ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වූ සරත් ෆොන්සේකා මහතාගේ ආරක්ෂක අංශයට අයත් සර්වයිලන්ස් කණ්ඩායමක් ලෙස කටයුතු කරමින් සිටි කොහුවල යුද හමුදා බුද්ධි අනුකණ්ඩයට අයත් සාමාජිකයන් බව.

හමුදා බුද්ධි අංශ සාමාජිකයා අත්අඩංගුවට ගැනීමට හේතුව ලෙස ඔවුන් දක්වා තිබුණේ ජේසුදාසන්ගේ හැඳුනුම්පත භාවිත කර මේ දුරකතන පහ මිලට අරගෙන තිබීම. මොහු සහ ජේසුදාසන් වසරකට ආසන්න කාලයක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ රඳවා තබාගැනීමෙන් සහ රිමාන්ඩ් බන්ධනාගාරගතව තබාගැනීමෙන් විමර්ශන සිදුකර තිබුණා. නමුත් එම විමර්ශන කටයුතුවල තහවුරු කිරීම් කිසිවක් කර නැති බව මා විසින් විශ්ලේෂණය කරනු ලැබූ උධෘත නිරීක්ෂණය කිරීමේදී මට අනාවරණ වුණා.

පසුව කරපු විමර්ශනයේදී පිච්චෙයි ජේසුදාසන් නුවරඑළිය මාගස්තොට පදිංචිකරුවෙක්. ඔහු පදිංචි ස්ථානයේ මාර්ගයේ මෝටර් රථ කාර්මිකයකු ලෙස සේවය කරනවා. මේ ටි්‍රපෝලි අනුකණ්ඩයට අයත් බුද්ධි අංශ නිලධාරියා පදිංචිව සිටින්නෙත් නුවරඑළිය ප්‍රදේශයේ. ඔහු යුද හමුදාවෙන් වැඩ තහනමට ලක්ව හෝ ස්ථාන මාරුවක් ලබා සිටි කාලෙ (මගේ මතකයට අනුව) ලොරි රථ රියැදුරකු ලෙස සේවය කරලා තියෙනවා. ඒ වාහනේ අලුත්වැඩියාවක් සිදුකරන්න ගිහින් තමයි පිච්චෙයි ජේසුදාසන්ව හඳුනාගෙන තියෙන්නෙ. එම හඳුනාගැනීම මත තමයි ජේසුදාසන් සහ මේ නිලධාරියාගෙ සම්බන්ධය මීට අවුරුදු කිහිපයකට උඩදී ඇතිවෙලා තියෙන්නේ.

ත්‍රස්ත විමර්ශන අංශය මගින් ජේසුදාසන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මේ බුද්ධි අංශ සාමාජිකයාගෙ සම්බන්ධය අනාවරණ වුණු නිසා තමයි ඔහුව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත විමර්ශන කළේ. එය සාමාන්‍ය අන්දමේ විමර්ශනයක්. ඊට පස්සේ පිච්චෙයි ජේසුදාසන් බන්ධනාගාරගත වෙනවා. බුද්ධි අංශ සාමාජිකයාත් බන්ධනාගාරගත වෙනවා. ජේසුදාසන් බන්ධනාගාරය තුළදී මියයනවා. අනතුරුව මේ බුද්ධි අංශ සාමාජිකයා නීත්‍යනුකූල නොවන අන්දමෙන් රඳවා තබාගන්නවා කියලා අයිතිවාසිකම් නඩුවක් පවරනවා. එවක ත්‍රස්ත විමර්ශන අංශයේ ප්‍රධානියෙක් ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට එවක හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ නම සඳහන් කරන්න කිව්වා කියලා එයා අධිකරණයට ඉදිරිපත් කළ අභියාචනයේදී සඳහන් කර ඇති බව මට මතකයක් තිබෙනවා. එම හේතුව මත පිච්චෙයි ජේසුදාසන්ගේ මරණය සමග මේ බුද්ධි අංශ සාමාජිකයාත් මුදාහරිනවා. ඉන් පසුව වැඩිදුර විශ්ලේෂණය කිරීමේදී මේ බුද්ධි අංශ සාමාජිකයා අත්අඩංගුවේ සිටි වසරකට ආසන්න කාලය තුළ යුද හමුදා බුද්ධි අංශය මගින් ඔහුට වැටුප් සහ විශේෂ දීමනා සියල්ල ලබාදී ඇති බව ඔහුගේ වැටුප් විස්තර පිළිබඳ කළ විමර්ශනයේදී හෙළිවුණා. මේක අස්වාභාවික තත්ත්වයක්. මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් රඳවා තබා සිටි කෙනකුට කොහොමද වැටුප් දීමනා ලබාදෙන්නේ කියලා.

ඇත්තටම ජේසුදාසන්ගෙ මරණය සම්බන්ධයෙන් අපි පරීක්ෂණයක් කරන්න හිටියෙ. ඒකට අවස්ථාව මදි වුණා. නමුත් මම ටී.අයි.ඩී. එක ගැන විස්තරයක් සඳහන් කරන්න කැමැතියි. අපි බැලුවා පිච්චෙයි ජේසුදාසන්ගෙ මාර්ගයෙන් ඒ ලින්ක් එක ආවා, ඒක විමර්ශන නිලධාරියකුට සාධාරණ සැකයක් තියෙනවා ඔහුව අත්අඩංගුවට ගන්න. අපි බැලුවා කොහුවල යුද හමුදා අනුකණ්ඩයට අයත්ව සිටි සරත් ෆොන්සේකා මහතාගේ ආරක්ෂක සෙබළු 17 දෙනා සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ඇතිවූ සැකය මොකක්ද කියලා. මොකද මම නිරීක්ෂණ කරපු උධෘතවල එහෙම සැකකටයුතු දෙයක් තිබුණෙ නෑ. ඉන් පස්සේ තව දෙයක් නිරීක්ෂණය වුණා මෙම සැකකරුවන් 17 දෙනා අවස්ථා දෙකකදී අත්අඩංගුවට ගෙන තිබුණේ විමර්ශනවලට සම්බන්ධ නොවුණු නිලධාරීන් විසින්. ඔවුන්ව කැඳවා ලබාගත් ප්‍රකාශවලදී ඔවුන් සඳහන් කළා එවක ටී.අයි.ඩී. එකේ ප්‍රධානියෙක් කිව්වා කියලා මේ කට්ටිය සැකපිට අත්අඩංගුවට ගන්න, ඒ නිසා මම අත්අඩංගුවට ගත්තා කියලා. එහෙම තමයි අනෙක් නිලධාරියත් මට සඳහන් කළේ. නමුත් සාමාන්‍යයෙන් විය යුත්තේ විමර්ශනයකදී අත්අඩංගුවට ගන්නවා නම් කෙනෙක්ව, විමර්ශන නිලධාරියාට සාධාරණ සැකයක් තියෙන්න ඕනෙ ඔහු ගැන. නමුත් එහෙම කටයුත්තක් මට පෙනෙන්න නොතිබුණු නිසා මම ඒ අත්අඩංගුවට ගැනීම කරපු නිලධාරීන්ගෙන් විමසුවාම ඔවුන් කිව්වේ මට ඕ.අයි.සී. කිව්වා, ඒ නිසා මම අත්අඩංගුවට ගත්තා කියලා. ඒක අස්වාභාවික තත්ත්වයක්. එහෙම අත්අඩංගුවට ගන්න බෑ.

ඉන් පසුව මම ඒ ප්‍රධානියාව ගෙනල්ලා ප්‍රශ්න කළා. කොහොමද මොන විමර්ශනයේදීද මෙම 17 දෙනා ගැන හෙළිවුණේ, ඔවුන්ට එරෙහිව තියෙන සාක්ෂි මොනවද, ඒ ගැන ඇයි මේ උධෘතවල සඳහන් වෙලා නැත්තේ කියලා. ඔහු කිව්වා මේ 17 දෙනා වෙන නිලධාරියෙක් එව්වේ, ඔහුගෙ උපදෙස් මත තමයි අත්අඩංගුවට ගත්තේ කියලා. මම ඇහුවා එහෙම අත්අඩංගුවට ගන්න බෑ, මොකක්ද තියෙන සාධාරණ සැකය කියලා. ඔහු කිව්වා සැක පිට කියලා. එහෙම අත්අඩංගුවට ගන්නවා නම් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අනුව අනිවාර්යයෙන්ම සාක්ෂි තියෙන්න ඕනෙ. නමුත් අත්අඩංගුවට ගන්න තරම් සැකයක් ගැන සටහන් වෙලා තිබුණෙ නෑ. ඉන් පස්සේ විශේෂම කරුණ තමයි ගල්කිස්ස මහෙස්ත්‍රාත්ට මේ කරුණු ඉදිරිපත් නොකර අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම. ඒ අනුව මෙම සිදුවීම තුළ යම් පරස්පරතාවක් සහ ව්‍යාජ ක්‍රියාවලියක් සිදුවන බව මට නිරීක්ෂණය වුණා. ඉන්පසු මම අනෙක් ප්‍රධානියාව ගෙනල්ලා ප්‍රශ්න කළා. මේ 17 දෙනා කොහොමද මතුවුණේ කියලා. ඔවුන්ට විරුද්ධ සාක්ෂි මොනවද, සැකපිට නම් මොකක්ද සැකය. මේ දේවල් ගැන කරුණු වාර්තා කරන්න කියලා. ඔහු කිව්වා මේ 17 දෙනා ආරක්ෂක අමාත්‍යාංශයෙන් තමයි එව්වේ කියලා. එතකොට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් තමයි ගෝඨාභය රාජපක්ෂ. චීෆ් ඉන්ටලිජන්ස් ඔෆිසර් ලෙස කටයුතු කළේ විශ්‍රාමික මේජර් ජෙනරල්වරයෙක්. ඒ අය ආරක්ෂක අමාත්‍යාංශයෙන් තමයි එව්වේ කියලා. මම ඇහුවා ආරක්ෂක අමාත්‍යාංශයෙන් එවන්න ආරක්ෂක අමාත්‍යාංශයෙන් මේකෙ විමර්ශනයක් කළාද කියලා. හමුදා විමර්ශනයක් කරනවා නම් හමුදා උධෘත එක්ක තමයි මේ කට්ටිය සැකයි, විමර්ශනයක් කරන්න කියලා අභ්‍යන්තර විමර්ශනයක් කරලා එවන්න ඕනෙ. එහෙම උධෘතයක් මට නිරීක්ෂණය වුණේ නෑ. ඔහු කිව්වා ලොකු මහත්තයා තමයි එව්වේ කියලා. ඊට පස්සේ මේජර් ජෙනරල් (විශ්‍රාමික)ගෙන් මම විමසීමේදී ඔහු සඳහන් කළා (තවත් නමක් කියයි) මහත්තයා ඉල්ලුව නිසා තමයි මේ කට්ටිය දුන්නේ කියලා. මට දැනුණු දෙයක් තමයි ඒ ඔක්කොම බෝලෙ පාස් කර කර කියනවා මිසක් සාධාරණ හේතුවක් සඳහන් වුණේ නෑ. ඒ නිසා මම මේ අය සිදුකළ විමර්ශනවලදී දැකපු දෙයක් තියෙනවා. මේ අය මේ විමර්ශනවලදී තවත් පාර්ශ්වකරුවකුට මේ ඝාතනයේ වගකීම පවරන්න උත්සාහ දරපු බව මට නිරීක්ෂණය වුණා. අනෙක් කරුණ, සී.අයි.ඩී. එකෙන්, ටී.අයි.ඩී. එක පරීක්ෂණ භාරගත්තා නම් සී.අයි.ඩී. එකට වඩා හොඳට ඔවුන් පරීක්ෂණය කරන්න ඕනෙ. නමුත් එහෙම කෙරුණෙ නෑ.

ටි්‍රපෝලි ප්ලැටූන් එක ඒ දවස්වල පිහිටුවා තිබුණේ මරදාන ප්‍රදේශයේ. යුද හමුදාවට භාරගත් ගොඩනැගිල්ලක. මගේ විමර්ශන අනුව ටි්‍රපෝලි ප්ලැටූන් එකේ හිටි සාමාජිකයෙක් තමයි ඉහත කී බුද්ධි අංශ සාමාජිකයා. එහි අණදෙන නිලධාරියා ලෙස හිටියේ යුද හමුදා සන්නද්ධ බුද්ධි අංශයේ කෙනෙක්. ඔහු සහ බුද්ධි අංශ සාමාජිකයන් 25ක් පමණ සේවය කළා. මෙම විමර්ශනයේදී ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ මරණයට හේතුව වෙඩිතැබීමක් බවට ගල්කිස්ස පොලිසියේ උධෘත විශ්ලේෂණය කිරීමේදී සොයාගැනීමට හැකි වුණේ නෑ. අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය සුනිල් කුමාර මහතාගෙන් නැවත ප්‍රකාශයක් සටහන් කරගත්තා, මෙය වෙඩිතැබීමකින් සිදුවූ මරණයක් බවට සටහන් කිරීමට පාදකවූ කරුණු මොනවද කියා. ඔහුගෙන් විමසුවා, වෙඩි තැබීමක් සිදුවුණා නම් මෝටර් රථය තුළ වෙඩි උණ්ඩවල ශේෂ කොටස් තියෙන්න ඕනෙ, එවැනි කරුණු පදනම් කරගෙනද මෙම වාර්තාව නිකුත් කළේ කියලා. ඔහු කිව්වා එවැනි කරුණු පදනම් කරගෙන නෙවෙයි කියලා. මම ඇහුවා එහෙනම් කොහොමද වෙඩිතැබුවා කියලා කිව්වේ කියලා. ඔහු කිව්වා ඒ වෙලාවෙ ලසන්තට වෙඩිතිබ්බා කියලා තමයි කළුබෝවිල රෝහලෙන් කිව්වේ, ඒ තොරතුරු පදනම් කරගෙනයි එහෙම කිව්වේ කියලා. එය සැකයට භාජනය වෙච්ච කරුණක්.

රසපරීක්ෂක වාර්තාව අනුව කිසිදු වැඩිතැබීමක් සිදුව නැති බව සඳහන් වෙනවා. මෙම පරස්පරතාව අනුව ලසන්ත මැරුණෙ මොන හේතුවෙන්ද කියන සැකය විමර්ශන කණ්ඩායම වන අපට මතු වුණා. ඒ නිසා අධිකරණයට කරුණු වාර්තා කරලා, ලසන්තගේ මෘත ශරීරය නැවත ගොඩගෙන විශේෂඥ වෛද්‍යවරු තිදෙනකුට එය පරීක්ෂා කරන්න භාරදුන්නා. ඔවුන්ගේ පරීක්ෂණයෙන් අනාවරණ වුණා මොට ආයුධයකින් හිසට පහරදීම නිසා හිස් කබල කැඩී යෑමෙන් ඇතිවූ කම්පනයෙන් සිදුවූ මරණයක් බවට.

එතකොට ප්‍රශ්නයක් ආවා. වෛද්‍ය සුනිල් කුමාර ඒ වන විට මරණ පරීක්ෂණ 5000කට වඩා කරලා තිබුණා. එහෙනම් ඒ වගේ පරිණත නිලධාරියෙක් ඇයි මේ වගේ වැරැදි වාර්තාවක් දුන්නේ කියන ප්‍රශ්නය පැනනැගුණා.

මා විසින් සිදුකරනු ලැබූ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය විමර්ශනයේදී අනාවරණ වූ කරුණු අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, ගල්කිස්ස පොලිසියට සහ ටී.අයි.ඩී. එකට මෙම විමර්ශන කටයුතු සිදුකිරීමට නොව, විමර්ශන කල් මැරීමට සහ යටගැසීමට සිදුව ඇති බවට සාධාරණ සැක කළ හැකි කරුණු අනාවරණ වුණා. ඒ මන්ද යත්, පොලිසිය සහ සී.අයි.ඩී. එක අයිතිව තිබුණේ ආරක්ෂක අමාත්‍යාංශය යටතට. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ. ඔහුට විරුද්ධව තමයි ලසන්ත වික්‍රමතුංග මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් අක්‍රමිකතා චෝදනා එල්ල කරන්නේ. මෙම විමර්ශනය ප්‍රගතියක් ඇතිව සිදුකරන්න ලැබුණේ ඔහුගේ පාලනයෙන් අයින් වුණ දා සිටයි. ඒ කියන්නේ 2015 නව රජයක් පත්වුණාට පස්සේ තමයි මේ ඝාතන පරීක්ෂණය කිසිදු බාධාවකින් තොරව අඩක් කරගන්න ලැබුණේ. ඉන් පස්සේ ඔවුනුත් මට බාධා එල්ල කළා. එම වාතාවරණය හමුවේ අධිකරණයට ඍජුවම බලපෑමක් එල්ල කළාද යන වග මට අනාවරණ වෙලා නෑ. නමුත් දැන් තියෙන තත්ත්වය අනුව අධිකරණයට යම් බලපෑමක් තිබුණු බවට සාධාරණ ලෙස සැකකළ හැකි කරුණු ජනමාධ්‍ය ඔස්සේ මට අනාවරණ වෙනවා. ඒ ගැන බොහොම කනගාටුයි.

මේ අවස්ථාවේ කියන්න කැමැතියි සමස්ත යුද හමුදාවෙ සහ ත්‍රිවිධ හමුදාවට මෙම චෝදනාව එල්ල වෙන්නේ නැහැ. එම ආයතනවල බොහොම අවංකව සේවය කරන නිලධාරීන් ඉන්නවා. සුළු පිරිසක් තමයි මෙම ඝාතන ක්‍රියා කරලා තියෙන්නේ. මෙහිදී අනාවරණ වුණු කරුණු අනුව හමුදාවේ ඉහළ නිලධාරීන් සහ ලසන්ත ඝාතන විමර්ශනයේදී උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනකුට විරුද්ධව මම විමර්ශන කළා. එවැනි පීඩනයක් යටතේ මම රාජකාරි කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා සහ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විසින් මට පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ ආරක්ෂාව ලබාදී තිබුණා. මාව ඝාතනය කරන්න කුමන්ත්‍රණය කළා කියලා මට අනාවරණ වුණා. ඒකට වෙනම විමර්ශනයක් පැවැත්වෙනවා. ඊට අමතරව මෙම සිදුවීමත් එක්ක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මාව ස්ථාන මාරු කරනවා. ඔහුගේ පාලන කාලෙ අගමැති ලෙස කටයුතු කළේ මහින්ද රාජපක්ෂ. ඔවුන්ගේ මූලික ඉලක්කයක් බවට මා පත්ව සිටි බවට මා කළ විමර්ශනවලදී සාධාරණ ලෙස සැක කරන්න මට හේතු තිබුණා. ඒ එක්කම ගෝඨාභය රාජපක්ෂ 2019දී ජනාධිපති වීමෙන් අනතුරුව ලංකාවේ රැඳී සිටියොත් ඔහුගේ අනුදැනුම ඇතිව මාව පැහැරගෙන ගොස් හෝ යම් කිසි ලෙසකින් ඝාතනය කිරීමට ඇති අවදානම 100%ක්ම තිබුණු බැවින් මම රටින් පිටවෙලා ගියා. එහෙම නොවුණා නම් මේ විදියට අධිකරණයට මේ කරුණු වාර්තා කරන්න නිශාන්ත සිල්වා කෙනෙක් හොයාගන්නත් නැති වෙයි කියලා මම හිතනවා.

විශේෂ වාර්තාකරුවකු විසින්
උපුටා ගැනීම : මව්රට


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka