නිරි සතුන් බඳු කාලකණ්ණි අපරාධකාරයෙක් විසින් රෝගීව වැතිර සිටිය දී පොරෝ පහර ගසා එක් දළයක් කපා ගත් මහේශාඛ්‍ය හස්ථියා ඊයේ රාත්‍රියේ මිය ගියේය.
පසුගිය 08 වැනිදා තවත් හස්ථියෙක් සමග ඇති වූ ගැටුමකින් අනතුරුව තුවාල වී දුර්වල වූ මෙම ඇතාගේ ජීවිතය ආරක්ෂා කරගැනීම සඳහා වනජීවී නිලධාරීන්, පශු වෛද්‍ය නිලධාරීන්, අවසන් කුංචනාදයට පෙර සංවිධානය ඇතුළු කණ්ඩායමක් විශාල වෙහෙසක් ගෙන තිබිණි.
එහි ප්‍රතිඵලයක් ලෙස ඇතාගේ සියලුම තුවාල හොඳ වී තිබුණ ද ඇත් ගැටුමේ දී ඇතාගේ හදවත ආශ්‍රිත ප්‍රදේශයට එල්ල වුණු දල ප්‍රහාරයක් හේතුවෙන් ඔහු දුර්වල වී සිට ඇත.
එබැවින් වැතිරී සිට යළි නැගී සිටීමට ආයාසකර උත්සාහයක් දැරීමට ඇතාට සිදු වී තිබේ. ජීවත් වීමට උත්සාහ කරමින් වැටී සිටි ඇතාගේ දළ කපා ගැනීමට තිරිසන් අමනුෂ්‍යයෙක් කටයුතු කර ඇත්තේ ඒ අතරය.
මෙම නින්දිත අපරාධය ගැන සෙවීමට කැබිතිගොල්ලෑව පොලිසිය ඊයේ පරීක්ෂණ ආරම්භ කළේය. ඊයේ රාත්‍රියේ ඒ අසරණ හස්ථියා ජීවිතයෙන් සමු ගත්තේය.
පසුගිය 12 වැනිදා සිට මේ හස්ථියා නිරික්ෂණය කරමින් එම සතාගේ ජීවිතය වෙනුවෙන් අසීමිත කැප කිරීමක් කළ අවසන් කුංචනාදයට පෙර සංවිධානයේ සාමාජිකයෙක් වන ප්‍රියන්ජන දිල්මිත් ලංකාසරට අදහස් දක්වමින් පැවසුවේ මේ හස්ථියා තවත් කාලයක් ජීවත් වීමට ඉඩකඩ තිබුණු බවය.
“ මේ ඇත්තු දෙන්න අතර ගැටුම ඇතිවෙලා මහේශාඛ්‍ය ඇතා තුවාල ලැබුවේ පසුගිය 08 වැනිදා. අපි 12 වැනිදා ඉඳලා වනජීවී නිලධාරීන් එක්ක මේ ඇතාව නිරික්ෂණය කළා. පශු වෛද්‍ය නිලධාරීන් ඇතාට ප්‍රතිකාර කළා. අපි එකතුවෙලා අවශ්‍ය වෙලාවෙදි ආහාර ලබා දුන්නා. පිටත තුවාල හොඳ වෙලා තිබුණට ඇතා දුර්වල වෙලා හිටියෙ. එයා වැතිරුණාම යළි නැගිටින්න අමාරුයි. “
“පසුගිය 05 වැනිදත් එයා වැතිරිලා ඉන්න තැනට අපිත් ගියා. වනජීවී නිලධාරීන් සතාව නිරීකෂණය කළා. අපි ඇවිත් ගිය අතර කාලයෙදි තමයි කවුරුන් හෝ මේ අපරාධය කරන්න ඇති කියලා අපට හිතෙන්නෙ.
අද පැවැත්වෙන පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තොරතුරු හෙළි වේවි. “
ඔහු පැවසුවේය. මෙහි පලවන සියලුම ඡායාරූප ප්‍රියන්ජන දිල්මිත්ගේය. එම ඡායාරූප අයිතිය ඔහු සතුය.
