ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා එම ධූරයෙන් ඉවත් කිරීමට තීරණයක් ගෙන ඇත්නම් එම තීරණය ඉවත් කරගන්නා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරචිචි මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යවමින් ඉල්ලීමක් කළේය.
රජයට එරෙහිව විවිධ විරෝධතා මතුවී ඇති අවස්ථාවක එවැනි ක්‍රියාමාර්ගයක් ගතහොත් ආණ්ඩුවට එරෙහිව විරෝධය තවත් වැඩිවිය හැකි බවද ඔහු එම ලිපියෙන් පෙන්වා දෙයි.
මහ බැංකු අධිපතිවරයා ඉදිරි දිනවල එම තනතුරින් ඉවත් කිරීමට යන බවට ඇතැම් සමාජ මාධ්‍ය ජාලවල ප්‍රචාරය වෙමින් පවතින බවත් මෙවැනි ප්‍රචාර විශ්වාස කරමින් ජනතාව කලබල වුවහොත් රටේ ලොකු අවුලක් ඇති වනු ඇති බවත් ජගත් කුමාර මහතා සඳහන් කරයි.
නන්දලාල් වීරසිංහ මහතා මෙම තනතුර බාර ගත්තේ විශේෂ රාජකාරි කටයුතු කිහිපයක නියැලී සිටි අවස්ථාවක බවත් අසීරු අවස්ථාවක රට වෙනුවෙන් වගකීම බාර ගත් අවංක නිලධාරියකුගේ සේවය කොයි මොහොතේ නැති වේද යන සැකයෙන් රාජකාරි කිරීමට සිදු වුවහොත් ඔහුට එය ලොකු පීඩනයක් වනු ඇති බවත් මන්ත්‍රීවරයා එම ලිපියෙන් පෙන්වා දෙයි.
ආර්ථික අර්බුදය දේශපාලඥයන්,මහ බැංකු අධිපතිවරුන් සහ හිටපු ඇතැම් නිලධාරීන්ගේ අදූරදර්ශී තීරණ හා වැඩපිළිවෙළ නිසා සිදු වූ බවට ජනතාව තුළ විශාල කලකිරීමක් ඇතිවූයේ යැයි පවසන ජගත් කුමාර මහතා රටපුරා පසුගියදා විශාල කලබලකාරී තත්වයක් ඇතිවූයේද මෙම කලකිරීම නිසා බවත් ප්‍රකාශ කළේය.
