ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුගාමිකයන් කැඳවා සාමකාමී සහ සාධාරණ අරගලයක නිරත පිරිසකට පහර දීමට ප්‍රකෝප කළ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ සමන්ලාල් ප්‍රනාන්දු ඇතුළු පිරිස වහා ම අත්අඩංගුවට ගත යුතු යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ප්‍රහාරයට පැමිණි පිරිස සැලසුම් කර බස්රථවලින් පොලු මුගුරු රැගෙනවිත් ඇතැයි ද ගාලු මුවදොර සාමකාමී අරගලකරුවන් ළඟ හෝ ඒ ආසන්නයේ කොතනැක හෝ තිබූ පොලු මුගුරුවලින් මැර පිරිස අරගලකරුවන්ට පහර දීමෙන් එය සැලසුම්ගත ප්‍රහාරයක් බව පෙනී යන බව ඔහු පැවසීය.
පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂ සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඊයේ පැවත්වූ මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේ ය.
මැතිවරණවලදී පවා ප්‍රචණ්ඩත්වය පැතිරවූ මැති ඇමතිවරුන් අරලියගහ මන්දිරයේ සිට ගාලු මුවදොරට ගිය බව ත් මානව හිමිකම් කඩ කිරීම පැත්තෙන් ආණ්ඩුව සිරවිය යුතු තැන සිරවී අවසන් බව ත් හිටපු ජනාධිපතිවරයා කීවේ ය.
මෙවැනි තත්ත්වයක් ඇති වේ යැයි මීට මාස 6කට පෙර තමන් කී බව ත් නමුත් රජය එය ගණන් නොගත් බව ත් කී සිරිසේන මහතා බැරිම තැන ස්වාධීන වී කරුණු 11ක් සහිත යෝජනාවලියක් භාර දුන් අවස්ථාවේ පවා එය ගණන් නොගත් බව ද ප්‍රකාශ කළේ ය.
එම යෝජනා පිළි ගත්තේ නම් මීට සති දෙකකට පෙර ආණ්ඩුවක් පිහිටු වන බව ත් එසේ කළේ නම් මේ ම්ලේච්ඡ ප්‍රහාරය වැළකෙන බව ත් ඔහු කීය.
පාර්ලිමේන්තුව වහා කැඳවන ලෙස කතානායකතුමන්ගෙන් ඉල්ලා සිටින බව ද එහිදී පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ඇති පුද්ගලයෙකු අගමැති ලෙස පත්කර අන්තර් පාලනයක් ඇති කළ යුතු බව ත් වහා රටේ සාමය ස්ථාපනය කිරීමට කටයුතු කළ යුතු බව ත් හෙතෙම තවදුරට ත් කියා සිටියේ ය.
